ඈත නිසසල කඳු වළල්ලක
සිරස මත වැහි වළාවක් වී
ඇද හැලෙන්නට පෙරුම් පුරනා
මහා මේඝය මං
පිපාසිත මුඩු බිම් තලා මත
මුදාහැර දිය දහර තුරුමත
දොවාලන්නට බලා හිඳිනා
නිසල අහසය මං
තුරුණු කෙණෙරක විලස ගැබ්බර
විලිරුදාවක වෙහෙස උහුලන
දරාගෙන සියොළඟම කකියන
මිහිමඬල වෙමි මං
විඩාබර ගත සිත නිවන්නට
අඳුරු සළුවෙන් ලොව ඔතාගෙන
බිඳුන ළය පිරිමඳින සනහන
නැවුම් අරුණෝදයට ඇරලන
සොඳුරු රැය වෙමි මං
රඟන තුරුලිය අතර දැවටුන
පිපුණ මල් වල සුවඳ අහුලන
නිදහසේ පාඩම කියාදෙන
මඳ පවන වෙමි මං
හුදකලාවූ රැයක තුන් යම
තොටමුණක් වී බිඳි විලාපෙක
වියෝවු දූ පුතුන් අමතන
ගීතිකාවය මං
බිළිඳු දෙතොලක සිනාවක් වී
ළමා ගීයක පද වැලක්වී
හිනා දාමය මං
මල්ලිකා එම් බණ්ඩාර
27. 09. 2019
No comments:
Post a Comment