දවසක් මම පින්ක්-සැමන් කරියක් කිරට හදන ගමන් ඒකේ සුවඳත් සමඟ මගෙ හිත ඉස්මත්තෙන් තටු ගසා නැඟිටින මතකයක් අතුපතරදා
ලියලන්ට පටන් ගත්ත. අමුමිරිස් රම්ප කරපිංචා සේර සුවඳත්
එක්ක මගේ හිත විදුලිවේගෙන් පියාඹලා
ගියා. හන්තාන කඳු වැටියටත් ඉහලින් ගිහින් ගිහින් ගිහින් නතර වුණේ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ, රාමනාදන් ශාලාවේ මුළුතැන් ගෙයි. මොහොතකින් මගේ මූණපුරා හීන්වට හිනාවක්
තුනීවෙලා යනව මට දැනුණ.
“ඇයි තනියම හිනා වෙන්නෙ?” මගෙ පුතා
මගෙන් අහනව.
"මේ කරිය දැක්කම, දැක්කම නෙවෙයි ඒකෙ සුවඳ දැනුනම, මට අපේ
කැම්පස් එකේ සිද්ධියක් මතක් වුණා".
තවත් වැඩිපුර හිනාවෙන ගමන් මං කාරණේ සංක්‍ෂිප්තව එයාටකීව.
තවත් වැඩිපුර හිනාවෙන ගමන් මං කාරණේ සංක්‍ෂිප්තව එයාටකීව.
ඒත් සවිස්තරාත්මක කතාව
මේකයි.
ඒ කාලෙ, ඒ කියන්නෙ 1974, වෙන කොට
විශ්ව විද්‍යාලයේ හොස්ටල් වල කෑම දුන්නෙ ටෝකන් එකකට. අපි පෝලිමේ ගිහින් කෑම පිඟාන
අරන් ඩයිනිං හෝල් එකෙ ඉඳගෙන කෑම කනව, නැත්නම් රූම් එකට අරන් යනව. සමහර වෙලාවට අපි
ටෝකන් එක දීල කෑම නිකුත් කරන කවුළුවේ ඉන්න සේවකයා හෝ සේවිකාවගේ විදිය අනුව වැඩිපුර
මාළු කෑල්ලක් ඉල්ලා ගන්න පුරුද්දක් තිබුණා.
අපි සේවිකාවන්ට කතා කළේ අක්කා කියලා. එතැන
හිටියා නන්දක්කා, පේමක්කා, සෝමක්කා, විමලක්කා
සහ ලුයිනක්කා වගේ අක්කලා. ඉතින් අපි ඒ අය සමඟ ඉඳ හිට විහිළු තහළුත් කළා. හැත්තෑව දශකය
වෙනකොට සාමාන්‍ය පන්තියේ දරු
දැරියන් විශ්ව විද්‍යාල අධ්‍යාපන වර ප්‍රසාදය
වැඩිපුර භුක්ති වින්ද අතර, පන්ති පරතරය ලිහිල් වෙමින් පැවතුනා. වැඩිහිටියන් වයසට අදාල නෑකමකින් ඇමතීම අපේ සංස්කෘතියේ මානුෂීය ලක්‍ෂණයක්
විදියට පිළිගත් නිසාදෝ, වැඩිහිටි තරුණ
සේවිකාවන්ට නමින් පමණක් ඇමතීම අපහසු බවක් දැන්නෙන්ට ඇති. අනික් අතට ඉවුම් පිහුම්
කළ කාන්තාවන් අතර විද්‍යා කලා විෂයයන් ගෙන් උසස් පෙළ සමත්, විශ්ව
විද්‍යාලයට නොතේරුණ අයත් හිටියා. ඒ අය බොහොම දුකෙන්, තමන්ට උසස් අධ්‍යාපන දොරටු
විවෘත නොවීම ගැන අපි එක්ක කතා කරනව. මේ කාරණා නිසා අපි තරමක මානුෂීය අවබෝධයකින් යුතුව සහසම්බන්ධතා පැවත්තුවා. මිත්‍රශීලීව කටයුතු
කළා.
මේ කියන දවසෙ ෆිෂ් කරි බෙදන්න හිටියෙ ලුයිනක්කා. ලුයින බොහොම නිශ්ශබ්ද චරිතයක්. එයා කතා කළේ මඳ වශයෙන් වගේම විහිළු තහළු වලට එතරම්
කැමැත්තක් දැක්වුවේත් නෑ.
එදා පිඟන් වලට බෙදලා
තිබුණ මාළු කෑලි ප්‍රමාණයෙන් පුංචියි. අපි
එකිනෙකා හෙමින් කතා කර ගත්තා.
“එක මාළු
කෑල්ලක් මදි. ඉල්ල ගමු තව එකක් !” කවුදො
යෝජනාවක් කළා.
එහෙම කට්ටියම එකඟ
වෙලා අපි කවුන්ටර් එකට කිට්ටු කරන ගමන්, මං
ළඟින්ම හිටිය " අපාය සහාය " මිත්‍රයින් අතරෛන් කෙනෙකුට ඇහෙන්ට, " අපි මයිනගෙන් ළූණු" කෑල්ලක් ඉල්ලගමු!" කියල කීව,
මගේ ළඟ හිටිය කාණ්ඩෙ මහ හයියෙන් හිනාවුණා. ලුයින හිතුව අපි
හිනාවුණේ එයාට වෙන්ට ඇති කියලා. එයාට තරහ ගියා.
“බලාපල්ලකො එයැයිගෙ මූණ
නිකං කුණ්ඩි හට්ටිය වගේ”. පෝලිමේ හිටිය ගාල්ල පැත්තේ කෙනෙක් කොඳුරණවා ඇහුණා. ආයෙත් හැමෝම හිනාවුණා.
එතකොටම ලුයිනා, " මොකද්ද
මිසී විකාර කතා කියන්නෙ " කියලා මූණ පුළුටු කර ගෙන මට රැව්වා.
"
අයියෝ ලුයිනක්කා, ඔය තරම් තරහ ගන්නෙ ඇයි? මං කීවෙ,
ලුයිනගෙන් මාළු කෑල්ලක් ඉල්ලගන්නවා
කියලානෙ. කපා ගන්නවා කියලා නෙවෙයි නෙ”.
කියලා මමත් කීව.
“අනික් අතට මේගොල්ල
හිනා වුණේ මට. ඔයාට නෙවෙයි නෙ " මම හිනා වෙමින්ම කීව.
එදා වැඩේ අප්සෙට්! කොහොම
හරි ලුයිනා මාළු කෑල්ලක් දුන්නෙ නෑ. අපි පිඟානට බෙදලා තියෙන ප්‍රමාණයෙන් සෑහීමට
පත් වෙලා. ඩයිනිනං හෝල් එකට ගියා. ඔය යන අතරේ
එකෙක් කියනව ".
" මදැයි හැන්දෙන්ම ඔළුවට එකක් බෙදුවෙ නැතුව".
“මගෙ ඇඟේ මාළු
නැටූව". තව කෙනෙක් කීව.
“මටනං හිතුණා ලුයිනගෙන්
මාළු කෑල්ලක් කපාගෙනම එන්ට" ඔය අස්සෙ තව එකෙක්
කියනව.
එදා කෑම කන ගමන් මුළු
ඩයිනිං හෝල් එකම හෙල්ලෙන්ට අපි මාළු සම්බන්ධ කරලා විකාර කතා කිය කියා හිනාවුණා.
ඉන් පස්සෙ ලුයිනා කෑම කවුන්ටරයේ ඉන්න වෙලාවට අපි බොහොම පරිස්සම් වෙනව.
ඒවා ඉතාම සුළු සිද්ධීන්
වුණත් සරසවියෙන් ලද මිල කළ නොහැකි අත්දැකීම්. සමහර විට කොතරම් කටුක වුණත්, ආහ්ලාදජනක වුණත් ඒවායේ අපූර්ව සුන්දරත්වයක් තියෙන විත්තිය මට වරින් වර මතකයට නැගෙන එවන් සිදුවීම්
සිහිපත් කර දුන්නා.
ඒ නිසාම ඉතාමත් අභව්‍යයයි
සිතිය හැකි හීන දකින පුරුද්දක් මට තිබුණා. සරසවියෙන් පිට වුණාට පස්සෙ අපේ කණ්ඩායමේ
දහදෙනෙක්වත් මුණගැහුණෙ නැතිතරම්. ඒ වුණත් හැමෝගෙම තරුණ මුහුණු, මුලින් දුටුදා වගේම
මතකයේ කොණක සිතුවම් වෙලා තිබුණා. යම් සිද්ධියක් මතකයට ආවම ඒ හා සම්බන්ධ සගයින්
සජීවීව මතකයේ සැරිසරනවා. ඒ ළඟ මොහොතේ ආයෙත් ඒ අය බිතු සිතුවම්.
එහෙම වෙලාවට මට හිතුණා “අපිට
ආයෙත් මුළු බැච් එකම එකට එකතු වෙන්න ලැබුණොත්! “කියලත්. නොයෙක්
විට අනන්ත වාර
ගණනක් මම එහෙම හිතන්ට ඇති. සමහර වෙලාවට මගෙ මනඃකල්පිත දවල් හීන සැබෑවුණ අවස්ථාත්
තියෙනව. මේකනං එහෙම එකක් නෙවෙයි! ලුයිනා කීවා වගේ ඒකත් මගේ විකාරයක් මිසක් හීනෙන්වත්
අපේක්‍ෂා කළ හැකි දේවල් නෙවෙයි. වෙලාවකට මට හිතුණා.
හිරහිදලන් අරන්, පවුල් පන්සල් වෙලා, දරුමල්ලොත්
එක්ක කුටුම්භයේ සිරගත වෙලා හිටියා මිසක්, උපන් ගම් රටවලින් පිටවුණාට පස්සෙ අපි
ආයෙත් හමුවුණේ නැති තරම්. එහෙම තිබියදීත්
නැවත හමුවීමේ නොසන්සිඳෙන ආසාවක් බලාපොරොත්තුවක් හැමදාමත් මගේ හිතේ
ගුලිවෙලා.
වෙන්වුණ අය නැවත එකතුවෙලා, " ඉතින් ඊට පස්සෙ ....?"කියලා අපි වෙන්වුණ තැන ඉඳලා කතා කරන්න, අපේ ජීවිත බෙදා හදාගන්න ඇත්නම්! එහෙම අහන එක මටනං මොනම විදියකින්වත් ඕපාදූප කතාවක් නෙවෙයි. මොකද දැන් අපි වියපත් ගැහැණු මිනිස්සු. තරුණ කාලෙ ජීවිතය තේරුම් ගන්ට උත්සාහ කරපු කෙල්ලො කොල්ලො වගේ නෙවෙයි. අනුන්ට හිනාවෙන්න නෙවෙයි දුක සැප බෙදාගන, ජීවිතවල සැඳෑ සමයට සැහැල්ලුවක් වෙන්න. ජීවිතයේ නානාප්‍රකාර දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරුණ සිත් වලට සැහැල්ලුවක් දෙන්න. සතුටක් නම් බෙදා හදාගන්න. අගය කරන්න. තනිවුණ අතරමං වුණ ජීවිත වලට නම් බලාපොරොත්තුවක ආලෝක පුංජයක් දල්වන්න. ඒක නේද අපේ මනුස්සකම, වියපත් බව කියන්නෙ? මං හිතුවෙ ඒ විදියට.

මගේ ජීවිතේ අවුරුදු දොළහකට ආසන්න කාලයක් පේරදෙණිය සරසවියට
නුදුරු ගන්නොරුව රණබිම ආසන්නයේ ජීවත් වුණා. පස්චාත් උපාධියක අධ්‍යයන කටයුතු සඳහා
දෙවන වරටත් සරසවි ආවා. රැකියාවට සම්බන්ධ අධ්‍යාපනික
උපදෙස් ලබා ගැනීම සඳහා අපට ඉගැන්වූ ආචාර්ය මහාචාර්යවරු හමුවෙන්න හෝ සරසවියේ වැඩකළ හෝ පදිංචි වෙලා සිටි ඇතැම් පුද්ගලයින්
හමුවෙන්නත් නිතර සරසවියට ආවා ගියා. වලේ නාට්‍ය නරඹන්න දරුමල්ලෝත් එක්ක එකතුවෙලා නොයෙක්
වර ආවා.
මහනුවර නගර මධ්‍යයේත්, ප්‍රිම්රොස් උද්‍යානයේ තවත් දශකයකුත් ජීවත්වුණා. මේසා දීර්ඝ කාලයක් තුළ සරසවි සමකාලීනයන් දැක ඇත්තේ කීයෙන් කීදෙනෙක් ද? ඒක හරියට ජීවිතයේ එක් අවධියක අකල් මරණයක් සිද්ධවුණා වගේ. නැවත හමුවීමක් නැති සදාකාලික නැවතීමක්, සමුගැනීමක් වගේ. අපි හැමෝම දහ අතේ විසිරිලා ගිහින්.
මොනතරම් වාද විවාද විරසකවීම් වෙලා තිබුණත්, හිත් රිදීම් පෑරීම් තිබුණත් ආයෙත් එකම එක වරක් අපට මුණගැහෙන්න ඇත්නම්! ආයෙත් වරක් අර අපි එකතු වුණ විසිරුණ දවස් සිහිකරන්න ඇත්නම්! ජීවිතයේ මතක ලෙනේ විශාල කුහරයක් ඉතුරුවෙලා! ඉතින් අපි එකින් එකා දැන් වියපත් වෙලා. යළි හමු වීමක් නැතුවම, නුදුරු දිනක අපිට අවසාන සමුගැනීමට සිදුවුණොත්? ඒ හැඟීම කොතරම් ඛේදජනකද? ඉතින් ඒ වගේ දෙගිඩියාවකින් තවත් අවුරුදු ගණනක් ගෙවිලා ගියා....

මල්ලිකා එම් බණ්ඩාර
06. 09. 2014.
(ඊළඟ කොටස “MAGPIE LOUNGE” එකේදී අහමු)
No comments:
Post a Comment