මං දන්නවා නුඹ මෝඩ ගෑණී
නිතර රැවටෙනවා
ඉල්ලුවොත් යම් කෙනෙක් ඇවිදින්
නුඹේ හිත පිනවා
සත්තකයි ඉල ඇට කඩා හරි
හදවතත් දෙනවා
විනේ කටිනා වනේ හිවලුන්
හෙමින් ළං වෙනවා
චාටු බස් දී හිනා මල් දම්
නුඹට පළඳනවා
පිරුණ වස විස ගැන නොදන්නී
සුව අසුන් පනවා
මලේ රුසිරට ගෙලේ සරහා
නුඹ හිනා වෙනවා
නුඹේ හිත දාසියක
මුත්
ඈ නුඹට අණ දෙනවා
වසා මායම් දැලෙන්
දෙනුවන් නුඹව රවටනවා
සසල දියරල පමණි තනියට
නුඹ කඳුළු බොනවා
දෙපා යුග මුල හැලුණ මල් පෙති
නුඹට හිනහෙනවා
නෙත විලක් වී සිත දොලක් වී
නුඹත් වැළපෙනවා
මමත් නුඹ අතනෑර
සසරේ ඇවිදගෙන යනවා
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment