Monday, 6 January 2020
මිහිකත උරණවී
ලැව්ගිනි ඇවිල ගව් සිය ගව් වටේයා
මැව් දුම් වළලු ඇවිදින් වට පිටේයා
අව්වැලි මකා යන එන මඟ තොටේයා
තව්වක් නැතුව හෙව්වා අප රටේයා
සුවහස් සතා සීපාවුන් දෙරණ හොවා
තණපත් වන වදුළු තුරු හිස් එකට දවා
මිහිකත උරණවී ගිනිසිළු දසත ලවා
පරලව හිඳී නෑරම නෙතු සඟල පවා
උස් මිටි බේද වත් පොහොසත්කම් දරනා
විස්මිත ලොවේ නෙක නව පෙලහර කරනා
හිත්පිත් නැතුව මහ පොළොවට විනකටිනා
ඇස් ඇර බලමු මිනිසුනි වැරැදුනෙ කොතනා
නිමැවුම්කරුට නිමවිය හැකිවා සේම
වැරැදුන තැනත් නිවැරැදි වියයුතු වේම
දසවධ දිදී වැනසූ මිහිකත කෝම
ඉවසන්නට ඇද්ද අපි කළ හැමදේම
මායිම් වැටට බිම් අඟලට පොර කෑව
යුද ගිනි මවා මිනිසත්කම වල ලෑව
දෙවනත් කළෙන් මිහි මඬළෙහි සිරියාව
මේ හැම විපතටම මුල වෙයි මිනිසාම
මල්ලිකා එම් බණ්ඩාර
6. 01. 2020
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment