Monday, 24 February 2020

සැමියෙකු බිරිඳට කී කවි

පිය සොඳුර අදත් අමතමි නුඹව සෙනෙහසින්
ඒත් වෙනදා වගේ නොව මදක් රළු  බසින් 
අපේ පෙම් කැදැල්ලේ පිරිතිරුණ මදහසින්
අතරමං කළේ කිම මා අමුත්තෙකු ලෙසින්?  

ගෙදර දොර එළිපත්ත ළඟ ඉඳන් හැඩිවෙලා
දැන  උගත් නුඹේ හිත දැන් කොලොප්පන් වෙලා 
ලොව හදන හැටි මිසක් තමුන් අමතක වෙලා
බුකි අඩවියේ කිරුළ උරුම රැජිණිය​ ​ වෙලා

ජාති ආගම් දේශපාලනයෙ පොඟවලා
මුහුණු පොත පුරහාමපඬිවදන් වපුරලා
පැරැණි තහනම් පෙමට හොටු කඳුළු වගුරලා
කුණු මාළු කෑල්ලක් වගේ නුඹ​ ලෙඩවෙලා

මකුළු දැල් බැඳි ගෙතුළ පුස් ගඳින් ඉතිරිලා
කුහුඹු කැරපොතු රෑන් පදිංචිය අරඹලා
මී උගුල් කුස්සියේ හැමතැනම අටවලා
වසුරු මළ කුණු වලින් ගේ සුවඳවත් වෙලා

දියසෙවෙළ කෑ මිරිස් ගල මැඳින් හෝදලා
තැළූ ලුණු මිරිස මත දොරු මැස්සො රජවෙලා
කිළුටු රෙදි ඇඳන් පුටු මත ඔහේ අතුරලා
නුඹෙ සොඳුරු සෙවන අම්බලමකට පෙරලිලා

හිතමිතුරු ලැයිස්තුව​ එළිපහලියට ඇවින්
බිත්තියේ කොටන එක පුරුද්දට ගිය බැවින් 
පොතක් කර ඇති හදිය උපහැරණයට ගනින්  
​අබිං තැවරුණ පිටුව ඉරා ආපසු වරෙන්!

මල්ලිකා එම් බණ්ඩාර​

23. 02. 2020

No comments:

Post a Comment