Friday, 21 February 2020

පළඟැටියෝ පියාඹති



ඕක් ගහයට විසල් ගණ නීල වියන යට​
අතුපතර සළිතකර මුමුණනා 
සිහිල්  සුළඟේ ළයට​ 
​උදාසීනව වුවත් 
සවන් දෙමි ​මොහොතකට​

බිඳුණ උරපතු වෙළුම් නොරිද්දා
අවදි වුණ​ මතක පළඟැටි රෑන
නිදහසේ ඉගිලයයි 
දුර ඈත කොදෙව්වට​

සග සැපතකැයි හඟින මහ මැදුරු තවානේ 
කුණු කාණු දිය අගල් උස් පවුරු පාමුලින්
පස්පියුම් සුවඳ දෙන​ ලිඡ්ඡවී පුරවරේ
සැරිසරා වෙහෙස වුණ​ දින​ ගණන මතක්වී
ඒ කාණු කටෙන් පැන පිහිනන්න වලිදරන​
මාළු කූරියෙකු සේ ගැහෙයි සිත​ ​

වීදියෙන් වීදියට පටු මගෙන් මහ මඟට
දිවා කල ගිනිගහන අව්කූටකේ ඇවිද​
බුන් පැතුම් සිතුවමක දළකඩක් දවටාන​​
දහදියෙන්  දොවනලද  මුහුණු හිත ඇඳෙනවා

නඳුන් උයනේ සරන  ළඳුන් මෙන් සුමටව​ 
පිරියමින් ඔපදැමූ  මුව මඬළ සරහාන
කුණුකාණු උඩින් පැන  ඇවිද යන 
පුරඟනන් ළඟ යදින ළපැටි යාචක පැටව්
දකින​ හිත අවලාද දෙස් දෙවෙල් නඟනවා

සුළං හමනා අතට ඉහිර යන දූවිල්ල
මතකයේ පිටු අතර  තවරාන​
ගෙන්දගම් සුවඳ මුසු මඳ සුළඟ​
මැඳුරුදොර කාණුවේ කුණු ගඳට මුසුවෙලා
කොළොම්තොට  පුරා සැරිසරනවා
එදාටත් වඩා අපුලව නැහැය විදිනවා

හෙට්ටුවෙන් වෙට්ටුවෙන් උනුන් පරයා ඇදෙන​
රථ පෙළට පියාපත් නැතිවදෝ​
නලා හඬ කන් බිහිරි කරනවා
අබිලි වේදිකාවේ පදිකයින් 
ආත-පාතක් නැතුව දුවනවා

කරදියෙන් කැකෑරුණ​ හැම මිනිස් හිතකම​
පොරබදන කටුක දුක
කියවන්ට බැරිව හිත තැවෙනවා 
පියාඹන කාලයට නොදන්වා
ලොව වෙනස් වූ නමුත්  
හිත් වෙනස්වී නැතැයි
මගේ හිත කොඳුරලා කියනවා

මල්ලිකා එම් බණ්ඩාර
​20.02. 2020

No comments:

Post a Comment