Friday, 28 February 2020

හඳුරුක්කන්ද පාමුල දැරියකගේ මතක​



මොනදේ නැති වුනත්, කොච්චර ප්‍රශ්න, අභියෝග ආවත්  ඒවා  ජීවිතයේ අනිවාර්යදේ කියලා හිතාගෙන​ වැටුණ තැන ළතවෙවී නොහිට නැඟිටින්න කුඩා කාලෙත් මහා පුදුමාකාර ශක්තියක් මා ළඟ සැඟවෙලා තිබුණා. සමහර ප්‍රශ්න වලදී දවස්  සති  මාස ගණන් දුක්වුණා. ඇඬුවා. නොකා නොබී හිටියා. ප්‍රශ්න එතැනමයි. ඒවට විසඳුම් ලැබුණ බවක් පෙනුනෙනෑ. ජීවිතේම එපාවෙලා ඔහේ හිටියා. පැටලුන නූල්බෝලයක් වගේ හිත අවුල් ජාලයක් වෙලා. එකින් එක ගැටලු ඒ විදියෙන්, අර විදියෙන්, නැත්නම් මේ විදියෙන් විසඳෙයි කියලා හරියට මනෝමෙන් ගණිත ගැටලුවක් විසඳන්න මහන්සි ගන්නවා වගේ දහ අතේ කල්පනා කළා. ජීවිතේ ගැන ඇති වුණ තිත්තකම දරාගන්න බැරිතරම්. එහෙම වුණත් දවසක් හරි ජීවත් වෙනව කවදාහරි මේ අවුලෙන් නිදහස් වෙනතුරු කියල තමයි මං හිතුවෙ. කන කැස්බෑවා විය සිදුරෙන් පුරහඳ දකින්න ඉබාගතේ මූදේ පාවුණ විය දඬු කෑලි දෙක යාවෙනතුරු බලා හිටියා වගේ බලාපොරොත්තුව අතනෑර යමක් දැඩ්ව ග්‍රහණය කර ගෙන ඉවසුවා.  සමහර කැස්බෑ වෑයමකදී  වියදඬු යාවුණත් මම ඔහේ අහස බලාගෙන​. ප්‍රයත්නය නූලෙන් මිස් වෙලා ගියා. මෝඩ කමට බේත් තියේය කියල එන විදියට මුහුණ දෙන්න හිත හදාගත්තා. ඒකයි ඇත්ත​.
යොවුන් වියේ අපේ හිත්වල උපදින අසංකෙය්‍යක් සිතිවිලි උල්පත් වෙලා දෝර ගලා යනකොට හරියට ඔළුව ඇතුලේ අවුල් වුණ නූල් බෝලයක් වගේ දැනෙනව. අපේ අම්මට තිබුණෙ මහ පුදුමාකාර ඉවක් මගෙ හිතේ වඩදියද​, බාදියද වාරකන් කාලෙ ඇවිල්ලද කියල දැන ගන්න​. මොනව හරි පොඩ්ඩක් අප්සෙට් එකක් තිබුණොත් අම්මට තේරෙනව​. අම්මා අහනව​ හුඟක් වෙලාවට වචනෙන් නෙවෙයි ඇස් දෙකෙන්.
යෞවන කුණාටුවත් සමඟ සරුවට වැඩුණ පන් පඳුරක් වගේ මගේ හිත සසල වෙනව​. සොඳුරු ළමාවිය සෑම ළමයෙකුටම උරුමයක් නොවුණත් දුක්ඛිත ස්වභාවයක් සමඟ අත්වැල් බඳ ගත් මලානික බවකින් මගේ හිත මිරිකෙනව​. ඒ කුමක් නිසාසාදැයි මටම නිශ්චිතව හඳුනා ගත නොහැකි වුවත් ඒ මළානික බව ජීවිතය යයි සිතන්නට මං ඇබ්බැහි වුණා.
"මොකද ඔය ඉළව් දරාගෙන ඉන්නෙ?
  වගෙ වෙලාවට අපෙ අම්මා මගෙන් අහනවා.
"ඉළව් දරාගෙන ඉන්නෙ මොන මළ ඉලව්වකටද​?
මමත් අම්මට උත්තර දෙනව ප්‍රශ්නෙකින්ම​.
කොහොම වුණත් දවස් ගණනකට පස්සෙ මගේ මනෝමය ගණිත විසඳුම් ක්‍රමයෙන් මට තීරණයක් ලැබෙනව​. ඊට පස්සෙ විශාල ජවයකින්, උද්‍යෝගයකින් නැඟිටිනව​. ජීවිතය ජය ගන්න විහින්ම උත්සාහ කළා මිස විසඳුම දෝතට ගෙනත් දෙන තුරු බලාගෙන හිටියෙ නෑ.
දැරිය නොහැකි තරම්වූත් අසරණවූත් හැඟීමකින් හිත තෙරපෙන වෙලාවට​ පිළිසරණක් සොයා ගුලට රිංගන මුහුදු බෙල්ලෙක් වගේ හිතිවිලි අතරේම එල්බගෙන ඉන්න මං පෙළඹෙනව​. එහෙම ඉන්න අතරෙ තමයි මට හුඟක් විට ප්‍රඥාව පහල වෙන්නෙ. ඒ නිසා ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දේවල් ජීවිතයට අදාල කරගන්නට පුළුවන් නේද​ කියන එක තේරුම් ගත්ත​. හයේ පන්තියේදි සුභාසිතය හැදෑරීම හරි ප්‍රයෝජනවත් කියල එහෙම වෙලාවට හිතෙනවා. ඒක අධිතක්සේරුවක් වුණත් මම මටම කියාගන්නව.
"කළල ගිලුණ මත වරනිදු ගොඩ ගනුත​
තුමුළ බල​'ති  ගිජිඳෙකු මිස අන් කෙවත​?"
ඉතින් මං තනිව නැඟීසිටීමේ සමීකරණය ඔය විදියට විසඳන්ට පුරුදු වුණා.
පහර පිට පහර වැදෙන කොට මං හරියට කළු ගල් පොත්තක් වගේ හැඟීමක් දැනීමක් නැතිව ඔහේ බලාගෙන හිටියා. ගත්ත හැම තීරණයක්ම 100% සාර්ථක නොවුණත් මං ගත්ත තීරණයේ වගකීමත් අලාභයත් බාර ගන්ට පැකිළුනේනෑ. තීරණයක් ගත්තට පස්සෙ ඒකේ දැඩිව එල්බ ගෙන යන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් ඔය විදියට​ යමක් හෝ යමෙක් දිහා බලල හැදෙන්ට පුරුදු වුණේ පුංචි කාලෙ ඉඳලමයි.
මගේ හිත ඕනවටත් වැඩිය සංවේදී වෙනව​. ශක්තිමත් පෞරුෂ වර්ධනයකට එක බාධාවක් වුණාද මන්දා. මං හිතන්නෙ නෑ චරිත වර්ධනයකට ඒක හානියක් වුණ කියල​. පුංචි දෙවල් වලින් සැළෙන අය දුර්වල චරිත ඇති අය කියලයි හුඟක් අය හිතන්නෙ. ඒ වුණාට මට හිතෙන්නෙ සංවේදී මනුස්සයෝ ඒ විදියට චංචල වෙනව කියල​.  

අපේ ගෙදර තිබුණෙ හුදකලා පරිසරයක​. ඒ කියන්නෙ, පුංචි කඳු ගැටයක හරි අඩක් විතර නැග්ගහම මිනිස් කට හඬ​ක් නෑසෙන මානෙක.  ගමේ අනිකුත් ගෙවල් වලින් දුරස්තව වත්ත මද්දෑවට වෙන්ට තමයි අපේ ගෙදර පිහිටලා තිබුණෙ. පොල්, කොස් , දෙල්, අඹ වගෙ  විශාල ගස් ගොම්මනේ තිබුණ කොකොවා, කෝපි ගම්මිරිස් වැනි යටිතල වගාවන්  නිසා තෙතෙමනය රැඳුන පොළොවේ කූඩැල්ලෝ නැංගුරම් දාගෙන බලාගෙන ඉන්නව කකුලට ගොඩවෙන්ට​. ​ ඒ වගේ පරිසරයක ජීවත් වුණ නිසාදෝ කලාතුරකින් මනුස්සාවාසයට යන්ට වුණ නිසාදෝ මං පුංචි කාලෙ කොහොමත් ටිකක් කුලෑටියි. පුංචි අපිව එළියට පහළියට අරන් ගියේ අත්‍යවශ්‍ය දේකට විතරයි.

මේ වකවානුවේ දෛනිකව ගමේ සිදුවුණ දේත් තිබුණා. මා කුඩා කාලයේ මුල්ම මතක අතර තාමත් නොමැකී පවතින සමාගම් මඩුව  පිළිබඳ මතකය එවැන්නකි.  සමාගම් මඩුව  යනු ගමේ ප්‍රජා ශාලාවය​.  මාතෘ සහ ළදරු සායන පැවැත්වීම,​ දරුවන්ට කොකු පණු බෙහෙත් දීම​, ප්‍රතිශක්තිකරණ එන්නත් දීම මෙන්ම කෙටි චිත්‍රපටි මඟින් සෞඛ්‍ය වැඩ සටහන් පෙන්වීම වැනි කටයුතු කෙරුනේ මේ සමාගම් මඩුවේදීය​. කෙටි චිත්‍රපටි අනුසාරයෙන් මැලේරියා නිවාරණ ප්‍රචාරක වැඩ සටහන් වලින් ගැමියන් දැනුවත් කෙරෙන්නේ ද මෙහිදීය​. සමහර දවස් වලට කුලඟන සමිතිය​, මරණාධාර සමිතිය මෙන්ම සමූපකාර සමිතියද රැස් වෙන්නේ මේ සමිති ශාලාවේදීය​.  ඉතින් සමාගම් මඩුව හෙවත් ප්‍රජා ශාලාව ගමේ බහුවිධ අවශ්‍යතා පිරිමසන ස්ථානයක් වූවා සේම මගේ පළමුවන පාඩම් පොතද වුණා යයි කිවහැකිය​.
නාම පුවරුවේ තිබුණට​ ඒක ගමේ ප්‍රජා ශාලාව කියල, ගමේ මිනිස්සු ඒකට කීවෙ “සමාගම්  මඩුව” කියල. අම්මලා ඒකට කීවෙ 'කිරිනෙට්' එක කියලා. ඇත්තටමනං ඒක 'ක්ලිනික්' කියන ඉංගිරීසි වචනෙ කටට හුරු කරගෙන තියෙන විදිය කියල මං දැන ගත්තෙත් ඉස්කෝලෙ යන්නට වුණාට පස්සෙ. "කිරිනෙට්" උප සංස්කෘතිය තුළින් මගේ සමාජගත වීම ආරම්භවන්නේ මේ සමාගම් මඩුව  හා සම්බන්ද​ දෛනික ගැමි ක්‍රියාකාරකම් ආශ්‍රිතව​ය.

හැම උදේකම අම්මා මාත් මල්ලිත් එක්ක ගමේ කුඹුරු යාය මැද්දෙන්  එහා ගොඩ සමාගම්  මඩුවට යනව. මල්ලී වම් උකුලේ, මම දකුණු අතේ ඇඟිලි හතරෙම හිර වෙලා. අම්මාගෙ කරේ හැවසක් එකක් එල්ලගෙන යනව​. ඒකේ වීදුරු බෝතලයක්, එනමල් ජොග්ගුවක් සහ මල්ලිට අවශ්‍ය අඩුම කුඩුම තිබුණ​. මල්ලිට කිරි පොවන්නේ සුප්පුවක් ගහපු බෝතලෙන්. සුදු පාට පුංචි තුවායකින් ඒක ඔතලා අම්මා අරන් යනවා යන යන තැන​. මටත් සුදු පාට එනමල් ජොග්ගුවක් තිබුණා, අම්මා ඒකත් අරන් යනවා මගේ කිරි කොටස ගන්ට​. අපිට පොවල ඉතුරු වෙන කිරි ටික දාගෙන එන්ට අමතර වීදුරු බෝතලය අරන් යනවා ​.
කිරිකාරයා එන්නෙ බයිසිකල් එකෙන්. බයිසිකල් ලගේජ් එකේ විසාල ඇලුමිනියම්  භාජන දෙකක් පුරවලා කිරි ගේනවා. ඒ කාලෙ ආන්ඩුවෙන්  ගම්වල දරුවන්ට කිරි මධ්‍යස්ථාන වලදී කිරි බෙදා දෙනව​. අවුරුදු පහට අඩු ළමයින්ට කිරි ජොග්ගුවක් දෙනව. ඒක එතැනදිම  පොවන්ට ඕන​. ඒවා ගෙදර ගෙනෙන්ට දෙන්නෙනෑ. ඒ නිසා අසනීප දරුවෝ පවා සමාගම් මඩුවට  අරන් එන්ට වෙනව​. අවුරුද්දේ හමාරේ දරුවන්ට මව් කිරිවලට අමතරව කිරි ජොග්ගුවක් ලැබුණම ඒකෙන් ටිකක් පොවල ඉතිරි ටික ගෙදර ගෙනෙන්ට පුළුවන්​.
කිරි කාරයා කිරි ගෙනාවහම සමාගම්  මඩුවේ තියෙන විසාල කල්දේරමකට ඒවා දාලා උණු කරනව​. ඒ වැඩේට ගෑණු කෙනෙක් හිටියා. බැලූ බැල්මටම​ එයා හරිම පිරිසිදුයි. හැමෝටම ප්‍රසන්න විදියට කතා කරනව​. පුංචි අපිටත් ආදරෙන් කතා කරන්නෙ. ඒ මනුස්සයා බොහොම උනන්දුවෙන් ඒ රජකාරිය ඉෂ්ඨ කළා. අනිකුත් ගැහැණුන් ඒ කාන්තාව ගැන කතාවුණ ඕපාදූප අසංවිධිතව මගේ මතකයේ ඉඳ හිට මතුවෙනව​.
"සුමනා ඉතින් මේ වැඩේ තමන් ගේ වැඩක් වගේ කරනව​".
"නිකං නෙවෙයි ඉතින්".
"ඒ වුණත්...පිරිසිදුවට පිළිවෙලකට​..."
"එයා තමයි මේ වැඩේට හොඳම මනුස්සයා. කැතක් කුණක් නෑ..."
ගැහැණියක් බලෙන්ම කතාව මැද්දට පැන්නාය​.
"දරුවෙක් මල්ලෙක් නෑ..." කීවාය​
"උඹ ඉතින් ඇදේටමයි කතාව​...මනුස්සයෙකුගෙ හොඳත් දැකපල්ලකො"."
මෙවැනි විවේචන එකම ගැහැණියම කේන්ද්‍ර කරගෙන නොයෙක් වර එල්ල විය​. මේ ගැහැණුන් ගෙන් වැඩිදෙනා මළපොතේ අකුරක් නොදත් අයවූ අතර ගෙදරදොර වැඩ කටයුතු වලට අමතරව ඕපාදූප අතරේ කල්මැරීම ඔවුන් ගේ දෛනික අංගයක්විය​. සාක්‍ෂරතාව ගම් නියම් ගම් කරා ළඟා නොවූ මේ වකවානුවේ ගැමි ජීවිතය විශේෂයෙන් කාන්තාවන් ගේ ජීවිතය ඉතාමත් දුක්ඛිතවූ එකක් විය​. ප්‍රාථමික විය​. සමහර මව්වරුන් තම දරුවන් සමාගම් මඩුවට ගෙනාවේ මුණ කට නොසෝදාම නිදි පැදුරේ සිටි වනමය.
කුණු කෙළ වයිරම් කම්මුල් දෙපැත්තේන් ගෙල දක්වා මිදී වියළී ගිය වනමය​. නාස් පුඩු අග තැවැරුන සොටු පෙන්ද දකින සමහර මව්වරු,
" මොකද ඊයේ උඹලගෙ කුකුල්ලු ලැග්ගේ කුකුල් කූඩුවේ නෙවෙයිද​'යි එක් ගැහැණියක් අසනවිට ​.
කොලු පැටියා ඇඹැරෙමින් නාසයට ඇඟිල්ල ගැසුව මට මතකය.
"ඕං ඉතින් කුකුල් කූඩුවට රිටි ගහන්නැහේ ඇඟිළි ගහන හැටි".
කියමින් දරුවාගේ මව ඇගේ රෙදි පොටෙන් දරුවාගේ නාසය පිහ දැම්මාය​.
බොහෝ කුඩා දරුවන් ගේ ඇඳුම් දුර්වර්ණය​. දුගඳය​. කිළුටු ඇඳුම් සහිත දරුවන් සමඟ සෙල්ලම් කිරීම මඟ හැරීමට මාත් නංඟීත් හැකිතාක් උත්සාහ කළෙමු.
සමාගම් මඩුවේ බංකු වල වාඩි වෙලා කෙරෙන මෙවැනි කසු කුසු වලින් එදිනෙදා ගමේ ප්‍රවෘත්ති  පෝෂණය විය​. එමෙන්ම​ සමාගම් මඩුවෙන් විකාශනය වන ප්‍රවෘත්ති ප්‍රචාරය ගම පුරාම සංන්නිවේදනය වීමට වැඩි වේලාවක් ගතවන්නේ නැත​. මේ කතාවල අදාලත්වය මෙන්ම ඒවායින් ගතයුතු යමක්වීදැයි එකල මට වැටහීමක් තිබුණේ නැත​. ඉඳහිට මේ  සංවාද සන්ඩු සරුවල් දක්වාද දිගුවක් වීම සාමාන්‍ය දෙයක් විය​. 
දිනක් කවුදෝ ගෑණු කෙනෙක් කිරි බෙදන කාන්තාව ඉලක්ක කරගෙන,
" බලාපල්ලකෝ හරියට රුක්මණීදෙවි වගේනෙ" කීවාය
"ගුණයහපත් කමත් එහෙම තමයි"  එතකොට තව​ කෙනෙක් එහෙම කීවා.
 මොන අඩුවක්ද සුමනට? රුවෙන්ද​ සල්ලිය බාගෙන්ද​?  ගැහැණියක් නැවතත් කීව.
ඒ මොනව තිබ්බත් පිරිමැහෙනවාය​ දරු පැටියෙක් නැතුව​? පළමු ගැහැණිය නැවතත් කීවාය.
ඉතින් උඹට තියෙන රුදාව මොකක්ද​?
' උඹට තියෙන රුදාව මොකක්ද​? සුමනා උන්දෑ කොච්චර කරුණාවන්ත වුණත් ඇති වැඩේ මොකක්ද​? හැබෑට​ දරු පුළුටක් නෑනෙ බොලං"
"ඔය කිරි බෙදිල්ලෙන්වත් පිනක් පිරෙන්නෙ නැතෑ"
තවත් ගැහැණියක් පත් උත්තර තියන්නීය​.
"මොන රුක්මනියක්ද​? ඒක අළුත් ආරංචියක් නිසාදෝ මොහොතක් ගතව ගිය පසුව තවත් ප්‍රශ්නයක්.
"බයිස්කෝප්කාරියක් ඉන්නවානෙ රුක්මණී කියල​." තවකෙනෙක් පැහැදිළි කිරීමකුත් සමඟ​ කතාවට එකතු වන්නීය​.
" මං දන්න මනියක් නෑ බොලව්" ඒ මල්ලු අත්තම්මය.
"උඹ දන්නෙ කොහොමද බයිස්කෝප් ගැන​. ඒව දන්නෙ ඉලන්දාරිනෙ"
 ඉතින් රටේම ඉලන්දාරි වහ වැටෙයි ඔය මනිට”. එහෙනං. පැණි හැලියට වහ වැටෙනා ඇඹ්ලයෝ වාගෙ"
ගැහැණුන්ගේ කොක් හඬ තැළීම් මැද කිරි උණු වෙයි.  වාද විවාද උණුසුම් වෙයි. යළි නිවී යයි. ඇතැම් අය නිවී යන ගිනි පුළිඟු වලට පිදුරු දමති. තවත් අය වතුර දමති.
අම්මාත් මලන්දෙණි නැන්දාත් පෝලිමේ ඉදිරියට ගමන් කළෝය​. දැවැන්ත කල්දේරම පුංචි පොකුණක් වැනිය​.  ළඟට යන කොට කිරි සුවඳ ඉහිලුම්  නොදෙයි. නැවුම් එළ කිරි සුවඳ නැහැ පුඩු තෙරපාගෙන යනු ද කටට කෙළ උනාගෙන එනුද දැනේ.
"හතර කෝරලේ ගෑණූ මහ කල්ලියෝ" මලන්දෙණි නැන්දා අම්මාගේ කණට කර කීවාය​.
රහස කාටවත් ඇහුනාදයි දැන ගන්නට මෙන් අම්මා වමටත් දකුණටත් ඇස් හරවා බලා  නිශ්ශබ්ද වූවාය​.
මිණීපිරියන්ට කිරිපොවන්නට අරන් එන ගෑණු අතරින් වාචාලම ගැහැණිය ඇය යයි ගමේ ගැහැණු කතා වෙති. මගේ පුංචි මතක අතරින් ඉතිරිව පවතින දෙබස් සිතට නගා ගන්නට මම වෙහෙසෙමි.
ගැහැණුන් සියක් හමාරක් මැද්දේ සිටියද​ අම්මා බොහෝ විට ශ්‍රාවිකාවකි. කතා කරන්නේ අවශ්‍යම වූ විටක පමණි. අම්මාගේ සහෝදරියන් දෙදෙනෙක්  විවාහවී ගමේම ජීවත්වු අතර ඔවුන් ද සමාගම් මඩුවට එන බැවින් බොහෝවිට අම්මා වැඩිමනත් කතා කළේ පුංචි අම්මලා දෙදෙනා සමඟය​. ඔවුන් දෙදෙනාටද මගේ වයස් වල  පුතෙකු සහ දියණියක සිටින බැවින් පසු කාලයේ සමාගම් මඩුවට යන ගමන බෙහෙවින් මා සිත් ගත් කාරණයක් විය​. උදේම මුහුණ කට සෝදා ඇඳුමක් ඇඳ ගමනට සූදානම් වීමට ප්‍රබෝධයක් ඇතිවීණි. ඒ නංඟී සහ මල්ලිලා සමඟ සෙල්ලම් කිරීමට ඉඩක් සැලැසෙන බැවිණි. සමහර දිනක ඒ ඒ ගෙවල් වල උදේට හැදෙන කෑමක් හුවමාරු වන බැවින් මේ ගමන බෙහෙවින් මා සිත් ගනු ලැබිණි. කෙසේ වුවද දරුවන් ඉදිරියේ ගැහැණික ගේ මුවින් අශෝබන යමක් ගිළිහෙතැයි අම්මා සහ පුංචි අම්මලා පරිස්සම් වූ සෙයකි.
අම්මා මගේ එනමල් ජොග්ගුව අතට ගන්නීය​. පළමු ජෝග්ගුව ගෙදරින් ගෙනා ලොකු බෝතලයට වත් කරන්නේ එක බිංදුවක් හෝ අපතේ නොයන්නට සීරුවටය​. මල්ලී උකුලේ සිටියදීම දෙවැනි ජොග්ගුව පුරවා ගන්නා අම්මා මාව බංකුවක වාඩි කරවන්නීය. කොටසක් මල්ලීගේ බෝතලයට දමා  අනතුරුව උණු කිරට කටින් පිඹ හෙමෙන් බොන්නට කියන්නීය​. ඉන් පසු ලොකු බෝතලයෙන් කිරි ටිකක් මල්ලීගේ බෝතලයට දමා පොවන්නීය.
කිරි කාරයා එනතුරුත්, කිරි උණුවෙන තුරුත් ගම්මැද්දේ ගෑණුන්ට කතා කරන්නට ඕනෑතරම් මාතෘකා තිබේ. සමාගම් මඩුවේ බංකු මත වාඩිවි සිටින ගැහැණුන් පෝලිමට එකතු වෙයි. දරුවන් දෙතුන් දෙනා සමඟ පැමිණි ගැහැණු මිටි බංකු මත දරුවන් වාඩි කර ගෙන තම වාරය එනතෙක් රැඳී සිටිති.
ඉතින් පිට තැනකට ගියාම මට හැම දෙයක්ම පෙණුනෙ අලුත් දෙයක්, නුහුරු දෙයක් වගෙ. මොකක් හෝ ආගන්තුක දෙයක් දැක්කම පුංචි ළමා මනස ඒ දේවල් දිහා බැලුවෙ කුතුහලයෙන්. සමහර දේවල් හරි ආසාවෙන් උකහා ගන්නට ඇති. තවත් සමහර දේ ඇදැහිය නොහැකි, ග්‍රහණය කරගත නොහැකි සංකල්ප වෙන්ට ඇති. නොඅනුමානවම​. කොහොමහරි ආගන්තුක සංකල්ප මහත් අභිරුචියෙන් ග්‍රහණය කර වැළැඳ ගැන්මේ දැඩි කැමැත්ත නිසාම පහු කාලයේ ඉස්කෝලේ, පොතපත හා දැණුම මෙන්ම අවබෝධය ලැබෙන ක්‍රම විවෘත වෙනකොට තෝරා බේරගෙන අවශ්‍ය දේ ළංකරගැනීමේ උවමනාවත් වැදගත්කමත් මා දුර ගමනකට සූදානම් කළා විය හැකියි​.
හිස හොඳින් පීරා පිළිවෙලට ඇඳුමක් ඇඳ සිටින කෙනෙක් දකින විට හැරිහැරී බැලීමේ පුරුද්දක් කුඩා සන්දියේ සිටම ඇතිවී තිබුණි. පසු කාලයේ අනුන් අඳින පලඳින විධි අනුකරණය කරන්නටත් මට සුදුසු සහ ලෙහෙසියෙන් සකසා ගත හැකි ඇඳුමක් පැළැඳුමක් මෝස්තරයක් පවත්වාගෙන යාමටත් හුරුව ලබාගත්තේ ඒ පුරුද්ද නිසාය​.
පන්තිය නියෝජනය කරන ඇඳුම් මොනවාද​, පැළැඳුම් මොනවාද යන්න පිළිබඳ මනා අවබෝධයක් හා දැනුමක් ලබා ගැනීම මිනිසුන් අධ්‍යයනය තුළින් මිස පන්ති සහ සහතික වලින් ලබා ගත්තේ නැත​. පාර තොටක ගමන් කළත් කොච්චර දෙවල් තියෙනවද කුඩා ළමයෙකුට දැන ඉගෙන ගන්ට​. ඇල නියර දිගේ යනකොට පිරිසිදු පැහැදිළි  වතුර ගලායන හැටි මොහොතක් නතර වෙලා බලා ගෙන ඉන්ට හිතෙනව​. වැලි කූරියො, දියබරි, ගැරැඬි, කටුස්සො, හිකනැල්ලු පවා දැනුමේ මූලයක් විදියට ළමා මනසට සමීප මතක​, සිතිවිලි සහ අත්දැකීම් බවට පත් වෙනවා. කටුස්සෙකු පාට වෙනස් කරන ආකාරය දිහා බලාගෙන හිටියෙ අසීමිත විශ්මෙයෙන්. මං හිතාන හිටියෙ කටුස්සෝ පාට වෙනස් කරන බව මුලින්ම සොයා ගත්තේ මම කියලා.
ස්වභාව සෞන්දර්‍යය මගේ ජීවිතයට කොයිතරම් සමීපද කීවොත් ගමපුරා ඇවිදින්නත් ගමේ සීමා මායිමේ සිට ගහ කොළ පල්ලි පන්සල් භෞතික පිහිටීම, ඒ අවට ජීවත් වෙන මිනිස්සු පවා මා ඉතා හොඳින් දැනගෙන හිටියා. අද තරම් සංකීර්ණ නොවූ සමාජයක අප ගතකළ ළමාවිය සුන්දරය​. අවිහිංසකය.​
කතා පොතක් අතේ ඇතිව හෝ නැතිව​ බොහෝ වේලාවක් මිදුලේ ගල් පොත්ත මතටවී ඔහේ බැලූ අත බලාගෙන ඉන්ට එක කාලයක් මං පුරුදු වෙලා තිබුණා.
"නරකද මේ පොල් ටිකක් එහෙම ගාන්ට පුරුදු වුණොත්" අම්මා අහනව​.
"හොඳයි! ඇයි අම්මා කීවෙ නැත්තෙ කලින්"
"අම්මලාට උදව් කරන්නෙ කීවොත් විතරද​?"
අම්මාගේ ප්‍රශ්නය මා වික්‍ෂිප්ත කරන්නට සමත් විය. සැබැවින්ම මා අම්මාට උදව් කළයුතු නේද යන්නට වඩා මට හිතුනේම​, අම්මා වැනි ඉහුම් පිහුම් වැඩ පල දන්නා කෙනෙකුගේ වැඩවලට අත පෙවීම නොහොබනාකමක් ලෙසය​. අනික් අතට මම ඒ තරම් සැලකියයුතු පුද්ගලයෙක්ද​? මගේ වටිනාකමක් ඇතැයි මට සිතන්නට පටන් ගත්තේ එතැන් සිටය​.  පසු කාලයකදී මම අම්මාගේ සෙවැනැල්ල මෙන් යන යන තැන යන්නටත් ඇය කරන හැම වැඩකටම හවුල් වීමටත් පුරුදු වීමි. මම අම්මා අනුකරණය කිරීමටත් සමසමව වැඩකරන්නටත් මහන්සි ගතිමි.
"වයසේ තරමට වැඩ කළාම ඇති. නැත්තන් ඇස්වහ කටවහ වැදෙයි බර වැඩ කරන්ට ගියාම".
 මද සිනාවකින් යුතුව අම්මා කීවාය​. එය සදය සිනාවක්දැයි මම විමසිල්ලෙන් බැලුවෙමි. එහි තුබුණේ අසිමිත දයාවකි අනුකම්පාවකි. ආඩම්ඹරය මුසු ප්‍රේමයකි.
අම්මට නොදැනෙන අයුරින් කරට කර සිටීමට දැරූ උත්සාහය ඇය අවබෝධකර ගෙන තිබිණි.


මල්ලිකා එම් බණ්ඩාර


No comments:

Post a Comment