කටු කම්බි දහඅට පොටක්
වට කරපු තහනම් වැටක්
නිම්නයේ හිරු නැඟී බසින මුත්
අනියතයි තව හෙටක්
ඒත් මේ බූස්සේ කඳවුර
දැන් අපේ නිවහනයි
හිරු බසින යාමයේ හිස් අහස් වියන යට
බැලූ අත බලාගෙන ගෙවුනු දින ගණිද්දී
අඳුරු ගුලකින් ඇදෙන කළු කූහුඹු රෑනක්ව
මතක පොදි දිගෑරී එක පෙළට ඇදෙනවා
කඳු මුදුනටත් උඩින් නිදහසේ පියාඹන
කුරුළු රෑනක් මගේ දෑස් ලුහුබඳිනවා
තරු කැකුළු පිපෙන විට පියාපත් ලැබ සිතට
කටු කම්බි වැටෙන් පැන
හුදකලා කන්දටත් උඩින් පියඹා ගිහින්
මුතු පබළු පිනි ඉහුන
පැළ ගොයම් වෙල් යාය පහුකරන්
ඇල වේල්ලට යාව ගුරු පාරදිගේ
නිදහසේ පියමැන හෙමින්
ගමේ ඉස්කෝලයේ උසස් පෙළපන්තියේ
සුදෝ සුදු නැවුම් රැළි ගවුම ඇඳ
නුඹ අසල මමත් හිඳ ගන්නවා
මුතු පබළු අකුරු වැල් අමුණාපු පද අතර
බක් මහේ දෙවෙනිදා සමුගත්ත විලසින්ම
මිතුදමක තෙතමනය තවරලා
ගිමන් කල වැහි වළාවක්වගේ
ලියමනක් එවන ලෙස යදිනවා
මල්ලිකා එම් බණ්ඩාර
29. 04. 2023