හිමිකරුවෙකු නැති මිරිවැඩි
සඟළක්
රෝහල් පිවිසුම් ගේට්ටුවේ
තනිවම නැවතී සුසුම් හෙලනවා
හිමිකරු එනතුරු වාට්ටුවේ
හත් වසරක් දෑසින්වත් නුදුටුව
මද්දුම දෝණී ඇවිදිල්ලා
නෝට්ටු මිටියක් අතමිට මොළවා
ගියාලු පහනක් හිත දල්ලා
විරසක වී ගිය අම්මත් එක්කල
හැදුන දැරිවී අහසත් හොල්ලා
වළා පෙළින් බැස දිවමන් වූයේ
පිය ලේ සුවඳට ඉවල්ලා
තුන්තිස් යාමේ කකියන ළෙහි
දුක
දරාගන්න බැරිකම හින්දා
නාඬන යවටක් දියැවී හැලුනා
මතක පොතේ සිතුවම් අන් දා
ගව් සිය දහසක් දූ පියඹන්නැති
පිය සෙනෙහස විඳි මතක මැඳින්
අවසන් සුසුමත් තනිව හෙලන්නැති
ඉහිරුන සුළඟේ සුවඳ මැඳින්
මල්ලිකා එම් බණ්ඩාර
28. 02. 2024