බක්
මහේ පුර පාළොස්සක හඳ මූදු
පත්ල යටින් මතුවී කර උස්සා බලා
දියෙන් ගොඩවී යාන්තම් ඇඟ හිරිකඩා ගෙන
විසල් රිදී තැටියක් වගේ පෙරදිග ආකාසේ මතුවුණා විතරයි. වළා රොදින් විනිර්මුක්තවූ ළානිල් අහස් තලය අනන්තාපරිමාණ දිගු දුරක වැතිරී නිසොල්මනේ බලා ඉන්නවා. හරියට සමීපතමයෙක් එනකම් මඟ බලාන ඉන්නවා
වගේ. හිස් අහසත් හඳපතත් දෙකම මට දැනෙන්නේ සමීපතම
නෑදෑයන් දෙදෙනෙකු ලෙසය. යාන්තමට මතුවී තුනීවී යන හීන් හිනාවක්
මගේ දෑස් මත දිළිසෙන්නට ඇත.
කුඩා දැරිවිය අවධියේ සිට අනවරත කාලයක් තිස්සේ චාරිත්‍රයක් ලෙස හැකි සෑම දිනකම හඳ දෙස බලා
සිටින්නට මාතුළ පැවතුනේ කිසියම් පැළපදියම්වූ උන්මාදයක් වැනි හැඟීමකි.
ඒ
උන්මාදය මාතුළ ඇති කළේ විවෘත අහසට මුහුණලා පැවති මගේ ළමා කාලයේ නිවස්නය මෙන්ම හඳ පෙන්වා එහි
අසිරිය ගැන කියූ අම්මාගේ ස්වභාව සෞන්දර්යය උකහා ගන්නට සමත් දෑස්වල අසිරිමත් බවද විය හැකිය. ගෙට පිටුපස කුඩා කඳුගැටය විවර කරගෙන හඳ එළිය තැවරෙන
කුඹුරුයාය, අවුරුද්දේ විවිධ කාලවලට ආවේණික වර්ණයන්ගේ සවභාව සෞන්දර්යය වෙල් එළිය මත චිත්‍රණය කරන්නේ
මනමෝහණීය දර්ශනයකි.
කුඹුරු
කොටන හාන පෝරුගාන කාලයට ඒ චිත්‍රයේ කිසියම්
ගොරහැඩි බවක්ද, පැලපත ගොයම මතුවෙන විට කොළපාටමැණික් අතුරපු විල්ලූද කළාලයක් ඇතිරුවා වගේ, ගොයම පීදෙන කාලයට බණ්ඩි ගොයම මත රැළි පිට
රැළි පෙරළෙන දිය පිරුණ වැව්
තටයක සිරියද, කරල්
පැහෙන කාලෙට රන්වන් ගොයම, රන්කහවනු සලන්නාක් මෙන් හීන් සිරි සිරියකින් ද සිත් සතන්
පැහැර ගන්නා සුළු අපූරු සුන්දර්ත්වයකින් විද්‍යමාන වෙයි. හීන් සුළඟේ එතී ඇදී එන වියැළෙන ගොයමේ
තාන් සුවඳ නැහැපුඩු තෙරපාගෙන හමා යන විට දැනෙන්නේ
ආහ්ලාද ජනක මිහිරියාවකි. ගමේ
ඉපිද එහිම හැදී වැඩී පෝෂණය වීම නිසාදෝ මේ
සියලු ආකාරවූ සොබා දහමේ අපූර්වත්වයන් මට දැනෙන්නේ මගේම
ජීවිතයෙන් විච්ඡේදනය කළ නොහෙන කොටස් වශයෙනි. ඉතින් කොහේ ගියත් මට දැනෙන්නේ හඳ
මා පසුපසම බවය. හඳ මා සමඟ
බවය. එය සමකය ආසන්නයේද
උත්තරද්‍රවයේද දක්‍ෂිණද්‍රැවයේද කියා වෙනසක් නැත.
මම
ඒ සඳට ආදරය කළෙමි. ප්‍රේම කළෙමි. නැත්නම් බොහෝසේ ස්නේහවන්ත වීමි. එය ප්‍රේමවන්තයෙකුට පුද කළ
හැකි ආලයට වඩා උත්තරීතර, අත්කර ගැනීමේ ලොල් බවකින් තොර විරාගික ඇල්මකි. දිගු කලක් පෙම්කර දිනා ගත් ප්‍රේමවන්තායා සමඟ දීග යන්නට ලැබෙන විට දැනෙන හද පතුළ ගිනිවෙළෙන
සරාගික බවින් තොර ප්‍රමුදිත හැඟීමකි.එය දරුවන්,
ළඟම නෑයන් වෙනුවෙන් උපදින වේදනාකාරී සංතුෂ්ටිය සමඟ කැකෑරුන ස්නේහය මෙන්, ඇළෙන- විඳවන ආදරයට නෑකම් කියන සමීපස්ථ බවක්ද නොවේ, එය මා නොදන්නා
අර්ථ විවරණය කළ නොහැකි සුවිශේෂී
ළබැඳියාවකි, නැත්නම් ලාලස බවකි. ඒ නිසා මම
සඳ පහන් රැය, සඳ මෝදුවෙන සැඳෑවත
හෝ සඳ මුදුන්වූ හුදකලා
රාත්‍රිය වුව මට සඳේ ආකශ්මික
සුන්දරත්වය උකහා ගන්නට බොහෝ වේලාවක්
ජනේල පියන්පත් අතරින් අහසට දෑස් යොමා බලා හිඳිමි. දුටු සැනින් සිනාසෙමි . නැත්නම් වට පිට මනුස්ස
පුළුටක් ඇස් මානෙක නොගැවසෙන බව සැකහැර දැන
බලා දොඩමළු වෙමි.
අදත්
ඒ වගේ දවසක් හඳ පායලා. බක්
මහේ පුර හඳ අහස් තලය
ඒකාලෝක කරමින් දිළිහෙනව. ඒ එකම හඳ
මේ දිනවල සැතපුම් දස දහස් ගණනක්
දුර ඈත, ඒ අහස යට
අතිරමණීයවූ සොඳුරු ගම්මානයක් සිහිපත් කරනවා. අහස්
නිල්ල කපා ගෙන බැන්ද වළාකුළු පාළමක් වගේ ගෙවී ගිය, අද වැනි දවස්
මගේ මතකය පීරා ගෙන දිගෑරෙනවා. හුදකලා නිවස තුළ ගෙවී යන දින සති
මාස වල, දිග පළල
නොතකා එදා අර ඈත ගම්මානයෙන්
පිටවී අන්තිම වරට ආ දවස් හොයන්නට
වළා කඳු පෙරළාගෙන පියාසර කරනව.
සොඳුරු
පිය දසුන් මැකීගිය හිස් බිම්කඩ දකින විට මගේ හිත පීරි ගාන්නා වගේ සිහින් කැබෙලි වලට කැඩී සුළඟේ පාවෙනව. ප්‍රිය මනාපයයි, ආදරණීය යයි සැබවින්ම දැනුණු මුහුණු තවදුරටත් එහි නැති බව හැඟෙන විට
අසංකෙය්‍යක් පැතුම් සුන්බුන්ව දියවී වැගිරෙන්ට පටන් ගන්නව. එහෙම වෙලාවට, ඒක ලෝක ධර්මතාව,
මම හිත හදා ගන්ට මටම කියා ගන්නව. මගේ දේවල්, මටම අයිති සදාකල් පැවතියයුතු දේවල් කියලා හිතා ගෙන, පොදි බැඳගත්තු දේවල් අහිමිවීමේ වේදනාව තික්ත බේතක් ගිලින්නා වගේ ගිල ගන්නව.
වියපත්
ගැහැණියක ලෙස ගෙවී ගිය දශක තුළ ගෙතී පැටළී පැවති නොමේරූ කළල අල්ලා බදාගෙන දරා ගෙන සිටීම මොනතරම්
ළාමක ව්‍යායාමයක්ද කියලා හැඟෙන
කොට සියුම් ලැජ්ජාවක් හිතට දැනෙනවා. ඇවැසි දේ පමණක් වැඩෙන්නට
ඇර අනවශ්‍ය සියළු, වල් පැළෑටි මුලින් උපුටා දමන්නට හැකිනම් මනස කොයිතරම් නම් නිරවුල්වත් සැහැල්ලුවත් පවතීද යන අදහස මා
සිතේ අනවරතයෙන්ම පැළපදියම්ව පවතී. ගොඩ ගසා ගත් මතක අතර දිරායන, දිරාගොස් පාංශු බවට පත් වෙන සිදුවීම් අතර නොදිරන අංශු කොටස් මෙන්, පළිප්පුවේ දමන දමන වරක් පාසා දිස්න දෙන රන් පළඳනාවක් මෙන් නවතාවෙන් පවතින බව මට දැනෙනව.හැඟෙනව. මගේ ජීවිතයට මහඟු පළඳනාවන් වූ එවන් ස්මරණීය අවස්ථා , වන්දනීය හැඟීමෙන් මතකයට නැඟෙන්නේ නිරායාසයෙනි.
“දෙපෝයට
සිල් සමාදන් වෙන්ට යනවද පුතේ?"
"සිල්
සමාදන් වෙන්ට යන්නෙ නෑ, නැන්දම්මා. පොඩිඋන්ට කටට රහට යමක් හදලා කැවිල්ලක් පෙවිල්ලක් එක්ක දෙන්ට එපායැ ,දොළොස් මහක් ගිහින් එන හෙට දවසේවත්"
අම්මා
එහෙම කියන්නේ රිටිගහගොඩ අත්තම්මාගේ එනම්, පන්සලේ ප්‍රධාන දායක භවතා ගේ බිරිඳවූ රිටිගහගොඩ
අත්තම්මා නැඟූ ප්‍රශ්නයටය. ඇය අම්මාගේ මාමාගේ
බිරින්ඳෑ වගේම කල්‍යාණ මිත්‍රතා පැවත්වූ විශ්වාසවන්තියද වූවාය. ඒ නිසා ඔවුන්
දෙදෙනා ගියේ ආවේ එකටය. අම්මාට යමක් කීවොත් කටේ කෙළ බිම එලන්නේ නැති බව දන්නා නිසා අත්තම්මා
කණට කර රහසක් කියන්නේත් අපේ අම්මාටය. මොන කාරණේදි වුණත්ඒදෙන්නා එකටය.
"හතළිහ
පහුවුණ ගමන්, අම්මා සිල් සමාදන් වෙන්ට යන්ට පටන් ගත්තේ ඇයි? අපි ගෙදර තනියෙන්නේ"?
මුල්ම
වතාවට අම්මා සිල් සමාදන් වෙන්ට රිටිගහගොඩ අත්තම්මත් එක්ක යන්ට යනව කීවම මම ඇහුව.
“දැන්
ඉතින් උඹලගේ තනි රැක්කා මදැයි. තනියම රැකිලා ජීවත් වෙන්ට ඉගෙන ගන්ට එපායැ ගෑණු ළමයි වුණාම".
අම්මා
ගේ දෑස් වල සෘජු අභියෝගයක්
සටහන්වී තිබුණි.
“මගෙත්
මේ සංසාර ගමන කෙලවර කර ගන්න එක
නරකද?”
කෙටි
නිහඬතාවකට පස්සේ අම්මා ආපිට මගෙන් ඇහුව. මොහොතක් නිරුත්තර වුණ මම අම්මාගෙ අභියෝගය භාර ගන්ට තරම් එඩිතර බව පෙන්වීමට මට හිතුණි. .
“මම
බයනෑ ගෙදර තනියෙන් ඉන්ට වුණත්. රෝවර් දන්නවා දෙවැට පන්නලා කවුරුහරි එනකොට. ඉතින් ඌ පඩිපෙළ මුදුනේ
රැකවල්ලා ගෙන ඉන්නෙ මං "උසි" කියනකම්'. උසි කීව ගමන් විදුලිය වගේ දිව්වා. එන මිනිහගෙ පපුවේ අත්දෙක තියාගෙන ඉන්නෙ මං කතා කරනකම්ම.
අම්මා
සිනාසුනාය. ඇය සිනාසුනේ, දහ හැවිරිදි දැරියක
ආත්ම ආරක්‍ෂාව තහවුරු කර ගන්නා ආකාරය
ගැන ඇය සෑහුණ නිසාදැයි මම
නොදනිමි. කෙසේ හෝ යොවුන් වියට
එළඹෙත්ම, ඉස්කෝලේ යන විටදී හැර
අන් හැම අවස්ථාවකදීම පාහේ පන්
මල්ලක නැත්නම්
ගවුමේ හොරසාක්කුවේ (සයිඩ්පොකට් එකේ) කුඩා පිහියක් දමා ගෙන යන්නට මා ඉගෙන ගත්තේ,
අම්මා පුරුද්දක් වශයෙන් හතරට නවන ලද තල කොළ
මලු පිටක් තුළ සඟවා ගෙන වත්තට
කුඹුරට යන ගමන් බිමන්
වලදී පිහියක් ගෙන යන බව දැනගත්
දා සිටය.
නමුත්
ඇයට මඟ තොටේදී කිසි
විටකත් තර්ජනයක් නොවූ බව, ඈ පසු පස
ඕනෑම තැනක හෙවැනැල්ල සේ ගිය මා
අවබෝධ කර ගෙන සිටියෙමි. ගමේ
කවුරුත් ඇගේ නෑදෑයින් ය. ඇය කාටත් ඇමතුවේ
නිශ්චිත නෑකමිනි. ඇයට, අනවශ්‍ය විහිළු තහළු කරන්නට කිසි කෙනෙකුත් නොපෙළඹුණි. ඒ ඇය ගමේ
වින්නඹු නෝනා වූ නිසා පමණක්ම
නොවේ. මනා ඇවතුම් පැවතුම් සහිත පෞරුෂයකින් හෙබි, දුටුවන කාගේත් ගෞරව ප්‍රසාදය දිනාගත් ඇයට කවුරුත් දැක්වූයේ ආචාරශීලී ප්‍රතිචාරයන් ය.
මා කුඩා කල පුරුද්දක් වශයෙන් අම්මා රාත්‍රී
ආහාරයෙන් පසු බුලත් විටක් හපමින් මිදුලේ ඒ මේ අත
සැරි සරන්නීය. ඇය පසු පසින් ගෙදර
හුරතල් බල්ලා රෝවර් එහාටත් මෙහාටත් ඇවිදින විට අතර වරින් වර අඳුර දෙසට බුරමින් තමන් ස්වාමිදුවට හොඳ ආරක්‍ෂකයෙකු බව තහවුරු කරන්නට මෙන් ගොරවන්නේය.
"මොනවා රකින්ට හෙවැනැල්ල වගේ අඩි කඩනවද මන්දා”.
එවන් විට, අම්මා
බල්ලාගේ ස්වභාවය ගැන ආඩපලි කීවේ තමන්ටමය.
“පෙර
ආත්මෙක මුරකාරයෙක්ද කොහෙද".
අම්මා බණ කතා ඇසුරෙන්
පුනරුත්පත්තිය නිර්වචනය කරන්නීය.
"අදනම්
කිරිසක වගේ හඳ පළුව".
අම්මා
තමාටම කියා ගන්නා මුත්, සැබවින්ම ඒ මා මිදුලට
ගෙන්වා ගෙන සඳපහන් රාත්‍රි යාමයේ සුන්දරත්වය මා සමඟ බෙදා
හදා ගන්නට ඇයට ඇවසිව ඇති බව මම දනිමි.
"කතාවටවත්
කවුරුවත් නැති එකේ අම්මට තනි ඇති". එවන් අවස්ථා වලදී අම්මා ගැන මාතුළ අනුපමේය අනුකම්පාවක් ජනිත වෙන්නට පටන් ගනියි.
මම
මිදුලට බසින විට රෝවර් මා අසලට විත්
දෙපයේ තැවරෙමින්, ඊ ළඟට ඌ
මගේ හෙවැනැල්ල බවට පත් වෙයි. මා මිදුලේ රැඳෙන
තාක් කල් ඌ, මා පසු පසින්
ඒ අතටත් මේ අතටත් ගමන්
කරන්නට පටන් ගනී. වැට අද්දර රෑකුමාරි පඳුරු වල මල් පිපී
පළාතම සුවඳින් වෙළගෙන ඇත. කොස් ගහේ දැවැන්ත බෙනය වසා වැවුණු කඩුපුල් මල් ගාල පුරා මල් පිපෙන්නේ මේ කාලයටය. බිමට
නැමුණු දිගු කඩුපුල් අතු වල මවිසින් දෙහිකටුවකින්
ලියන ලද සීගිරි කුරුටු
ගී, ධම්ම පද ගාථා සහ
ආප්තෝපදේශ සහ
මගේම කවි සහ වාක්‍ය වලින්
සැරැසී තිබුණි. එය එකල මගේ
විනෝදාංශයක් විය. පෙම්පත් නොලියූ බැවින් එකල යෞවනෝදයේ ආශ්වර්යය මටත් නොදැනීම විදාරණය කළේ ඒ අයුරුන් වන්නට ඇත. මගේ හුදකලා පරිසරය විසින් අප අපේ අභ්‍යන්තරයට
තල්ලු කරගෙන ගොස් එහි අප්‍රකාශිත අහුමුළු ස්පර්ශ කරන්නට අපව පොළඹවන විට, පොළොව අභ්‍යන්තරයේ පවතින ලාවා කඳු ගිනියම්ව ප්‍රසාරණය වන්නාක් මෙන්, මිනිසුන් තම සිතැඟි එළිදක්වන්නේ එලෙසින් විය යුතුය.
මේ සඳපහන් රාත්‍රීකාලයන් අම්මාත් මාත් මවක සහ දියණියක ලෙස සමීප සම්බන්ධතා ගොඩ නඟා ගන්නට උපකාරීවෙන ගුරුහරුකම් උපහැරණ චාරිත්‍රවාරිත්‍ර පිළිබඳ දොඩමළු වන, වාද විවාද ඇති කර ගන්නා ස්වර්ණමය අවස්ථාවන් වූ බව පසු කාලයේ මවිසින් අවබෝධ කර ගනු ලැබුවෙමි.ඇය කිසිවිටකත් යමක් තහවුරු කරන්නට උත්සාහ කළේ නැත. බොහෝ විට කතාන්තර කීවා පමණී. අතුරු ප්‍රශ්න නැඟුවේ මාය. දැරියකට වැට ඉණි පෙලක් මැද්දෙන් ජීවත් වෙන්නට සිදුව ඇතැයි මට වැටහුණේ ඒ අවධියේදීමය. මං ඒවාට එරෙහිව ප්‍රතිතර්ක ගොඩ නැඟුවෙමි. ඇතැම් විට අම්මා මගේ දඩබ්බර ප්‍රතිචාර වලට නිහඬතාවක් දැක්වූවා ය. නැත්නම් උපහාසාත්මකව මා දෙස බලා ඉවත බැලුවා මිස තරවටු කළේම නැත. ඒ උපහාසාත්මක සිනාව තුළ සැඟවී තිබුණේ,
" ඕවා තේරුම් ගන්ට උඹ තව මෝරලා මදි පුතේ" යන්න විය යුතුය. එදා අම්මා කී දේවල වචනාර්ථ මෙන්ම ව්‍යංගාර්ථ මට අවබෝධවූයේ පසු කාලීනවය. අදටත් ඇය කී දේවල් මහා දාර්ශනික ගැඹුරක පැවති බව මම හිතමි.
අවිධිමත් අධ්‍යාපනයෙන් ජීවිතය ඉගෙනගත්, ගමේ මතක අතර මේ
දිනවල මගේ මතකයේ ඉස්මත්තෙන්ම මතුවෙලා තියෙන්නේ මගේ කුඩා සන්දියේ ගමේ සිංහල අවුරුදු කාලය පිළිබඳ මතකයන් ය. මට අවුරුදු නවයේදී
අපි අලුත් ගෙදරකට ගෙවැදුනෙමු. ගෙදරක් කීවාට ඒක මන්දිරයක් නොවේ
ගමේ මහා මන්දිර තිබුණේ නැත. පොහොසතුන් යයි සැලකෙන පවුල් තිබුණි. සිංහල උළු සෙවිළිකළ ගෙවල්
ගණනාවක් ගම පුරා තිබුණ
අතර ඔවුන්ට කුඹුරු වතුපිටි යහමින් තිබුණි. අනික් සාමාන්‍යයයි සැලකෙන බොහෝ පවුල් වලටද ගඩොල් හෝ මැටියෙන් ඉදිකර
පොල් අතු සෙවිලි කර ගොම මැටිගා
පිරිසිදුව නඩත්තු කළ ගෙවල් තිබුණ
අතර, හේනක් කුඹුරක් සහ කුඹුරට යාව
ගෙවතු වගාව සඳහා වෙල් පිල්ලෑවක් මෙන්ම, කිරිඑළදෙනක් මීහරක් බානක් වගේම කුකුල් කූඩයක් බොහෝ ගෙවල් වල. නොවැරැදීම පැවතිනි. ඔවුනොවුන් උපයාගත් දෙයින් කාබී සෑහීමකට පත්වුණා මිස මහා මන්දිර හැදීමේ සංකල්පයක් තිබුණේම නැති තරම්. වී පොල් කෝපි
සහ ගම්මිරිස් වැනි භෝග වර්ග තිබුණත් ඒවා මිල කළ හැකිවූයේ ඉතා
අඩු මුදලකටය. හැටේ දශකය වන විටත් පොල්
ගෙඩිය සත පහත් දහයත්
අතර ගණනකට වික්කා මට මතකය.
එකල අප, හොරුන්
සහ ගැමි ව්‍යවහාරයේ වනචරයින් යයි සැලකෙන මිනිසුන් ගැන අසා තිබුණේම නැත. එබැවින් සවයම් පෝෂිත ගමක් මෙන්ම ගුණගරුක මිනිසුන් ගෙන් සමන්විත බෞද්ධ සහ ක්‍රිස්තියානි යන
ආගම් දෙකට අයත් ගැහැණුන් ගේ සහ ළමා ආරක්‍ෂාව පිළිබඳවත්, සහජීවනය පිළිබඳවත් පරමාදර්ශී ගමක් ලෙස පැවති බවට අදත් මට එකඟ විය හැකිය.
ගමේ
සෑම දරුවෙක්ම නිසි වයස් පිරුණු කළ හෝ ආසන්න කාලයේදි
ගමේ දෙකෙලවර පිහිටුවා තිබූ බෞද්ධ හෝ ක්‍රිස්තියානි පාසල්
දෙකෙන් එකක ඉගෙනීම ලබන්නට අවකාශ ලැබී තිබුණි. ගමේ,
පාසල් නොයන දරුවන් නොසිටි අතර කුමන හෝ හේතුවක් නිසා
පාසල් යන වයසේ ළමයෙක්
ගෙදර නවතා ගත හොත්, පාසලේ
ලොකු මහත්තයා ගෙවල් ගානේ ඇවිද ගොස් ළමුන් දක්කාගෙන ආවේ දෙමව්පියන්ට දෝෂාරෝපණය කරමිණි.
ගමේ යමක් කමක් තිබූ පවුල් වල දරුවන්, ඉංග්‍රීසි
අධ්‍යාපනය ලබන්නට කුරුණෑගල, මහනුවර හෝ මාතලේ කිතුණු
පාසල් වලට ගිය අතර, ඔවුන් තම තමන්ගේ
ගම් පළාතේ පාසල් වලට ගුරුවරුන් ලෙස පත්කර අනුයුක්ත කරන්නට යෙදුණි. එනිසා පාසල් දෙකේම ගුරුවරු ගමේ උපන් අය නිසා ඔවුන්
උනන්දුවෙන් තම යුතුකම ගැමි
දරුවන්ට ඉටු කරනු ලැබිණි. පාසල් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය ලත්, ගමේ තුන්වන පරපුර වන අප, පාසල් යන අවධිය වන
විට ගමේ හැම ගැමි දරුවෙක්ම පාසල් ගිය බව මට මතකය.
අපට අකුරු කියාදුන් ගමේ ආදීශිෂ්‍ය ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට මගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි. නිර්ව්‍යාජ ගැමි පරිසරය තුළ පිටතින් උකහාගත් දැනුම බෙදාදී, බෝතල් කටින්
පිටත ලෝකය දකින්නට අපේ දෑස් පෑදුවේ ඒ උත්තමයින් ය.
ගමේ
බෞද්ධ මිශ්‍ර පාසලින් අධ්‍යාපනය ලැබ, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම මධ්‍යමහා විද්‍යාල සංකල්පය යටතේ ගමෙන් පිට වීමෙන් පසු, ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී කරවූයේ නැති තරම් ය. ඉඩ ලැබුණේ, ගුරුවරුන් ගේ ළඟම නෑදෑයින් වන ඉතාමත්
අතළොස්සකට පමණි. එසේවූයේ, බුද්ධිගලනයේ වාසිය ගමෙන් පිට ඉස්කෝල වලට ගෞරවයක් වීම වෙනුවට, ගමේ පාසලේම ඉතා හොඳ අධ්‍යාපනයක් ගැමිදරුවන්ට දියයුතුයයි, ගමේ උගතුන් තීරණාය කළ නිසා වන්නට ඇත.
එහෙත් පන්තියේ පලවෙනියා හෝ දෙවෙනියා පවා
මඟ හැර අප පාසලේ ගුරුමණ්
ඩලයේ සේවය කළ ගුරුවරියකගේ ඥාති
දියණියක් වූ අප අතර
සිටි එක් ශිෂ්‍යාවක් පමණක් රහසිගතව ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි කර තිබූ අතර,
බොහෝ කලකට පසු අපට දැනගන්නට ලැබුණේ ඇයව පාසලින් අස්කර වෙනත් පාසලකට ඇතුළත් කළ බව පමණි.
ශිෂ්‍යත්වයක් ගැන හාකවිසියක්වත් අප දැන සිටියේ
නැත. දක්‍ෂ ළමුන් ගමේ පාසලෙන් ගිළිහී යාම ගමේ පාසල නඟාසිටුවීම කෙරෙහි ඇතිකරන බලපෑම හේතු පාදක කරගෙන, අප ශිෂ්‍යත්ව විභාගය
සඳහා සහභාගි කෙරෙව්වේ නැත.
ප්‍රාථමික
පාසලේ අපේ පන්තියේ ඉගෙන ගත් පණහකට
ආසන්න දක්‍ෂ සිසුන් අතරින් බොහෝ දෙනෙකුට තරඟ විභාගය සමත් විය හැකිව තිබුණි. එම අවස්ථාව නොලැබුණ අප ගමේ සොභාසෞන්දර්‍යය
විඳිමින් ශිල්ප උගත්තෙමු. ණැන ගුණ ලැබගත්තෙමු. එනයින් ලද පන්නරය සමඟ
අහස සෙලවීම කෙසේ වෙතත් වළාකුළු දෙබෑකරගෙන යන්නට සිහින දකින්නෝ වීමු. එහෙත් හැත්තෑවේ දශකය වනවිට අපේ පාසලේ ශිෂ්‍ය සංඛාව බෙහෙවින් ඉහල ගොස් තිබූ අතර පසු කාලයේ ගමේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අප විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබා විවිධ ක්‍ෂේත්‍ර වල වෘත්තීකයින් බවට
පත්විම ගමේ පාසලට ගෞරවයක් විය. ඇතම්
අවස්ථා වල කිඹුලියගේ කට
දෙපැත්තෙන් බේරී යන පැටව් වඩාත්
දරුණු ඝණයේ කිඹුල්ලුන් බවට පත් වන අවස්ථා තිබිය හැකි බව මම අදහමි. ගමේ අසිරිය උකහාගන්නට, විඳින්නට අවකාශ ලැබුණේ ගමේ පාසලේම අධ්‍යාපනය ලැබ, ගමෙන්ම පැන නැඟුණු ප්‍රඥාවේ උල්පත් වලින් මතුවුණ කරුණාවේ නැණ නුවණ අපේ සාපිපාසා නිවූ
නිසාමය. ගමේ කතාන්තරය මැනවින් දැනගන්නට අපට ලැබෙන්නේ ඔය අහම්භය නිසාය.
සිංහල
අවුරුදු කාලය, වෙසක්, වෙසක් කූඩු , ගමේ පන්සලේ පෙරහැර බලි තොවිල් නාඩගම්, ටීටර් මඬු, යාග පොලවල්, කුඹුරේ හීයේ අඬහැරය , නෙලුම් කයිය සහ කමත් සංස්කෘතිය
අපේ ජීවිත කොටස් වුණේ අප ගමේ රැඳුණ
හෝ රැඳෙන්නට සිදුවූ නිසාය. සොකරි, සර්වරාත්‍රික පිරිත් පිංකම්, ගැමි මඟුල් තුලා සහ සිරිත් විරිත්
ඇවතුම් පැවතුම් අපේ එදිනෙදා ජීවිතයේ කතා වස්තු විය.
ඉතින්
මේ මොහොතේ මට දැනෙන්නේ කැවුම්
කොසිස් අතිරස බැදෙන සුවඳය. ඒවායේ රසයය. ඒත් අම්මා හදපු රස කැවිලි පෙවිලි
හීනෙන් ගෑ දිව සුවඳක්
වගේ මතකය දිගේ පාවී එනව.ඉතින් හිච්චි කාලෙ අපි ළඟම නෑදෑයෝ නිසා , අවුරුදුදා අළුත්ම අවුරුදු ඇඳුම ඇඳගෙන, දහ පහළොස් ගාණක
රංචුවක් විදියට, ගෙවල් ගානේ ගිහින් දෙන හැම දේම කකා දවස පුරා ඇවිදිනව. කෙල්ලොද කොල්ලොද කියලා අපිට වෙනසක් දැනුනේ නෑ.
ඒ
දවස් වල ගමේ වැඩිහිටි
ගැහැණු, පදම් කරපු හරක් හම් ගහපු තඩි රබානක් රත් කරලා රබන් ගහනව. අපි කීවෙ "රබන් ගහනව" කියලා, දැන් කියන්නෙ "රබන් වයනව" කියලා. හොඳින් රත් කරලා පදම් කරගත් රබානක හඬ හරිම ලස්සනයි.
ගමේ එහා කොනට ඇහෙනවා. එක
එක පවුල්වලට වෙන වෙන රබන් පද තියෙනව. ඒවා
අනික් අයට කියන්නෙ නෑ. අපේ අම්මලා, පුංචම්මලා, නැන්දලා රබන්
කප්පිත්තෝ. බාප්පලාගෙ ගෙදර තිබුණේ පාර අයිනේ. ඒ ගෙදරත් ලොකු
රබානක් තිබුණා. එහේ අක්කලත් එක්ක එකතුවෙලා ඒ දවස් වල
රබන් ගහපු හැටි තාමත් මතක් වෙනවා.
තව
කාණ්ඩයක් කළගෙඩි පිඹිනව. තරුණ කොල්ලෝ බීරංග සහ උණ බම්බු
වෙඩි පත්තු කරනව. ඒවයේ හඬ, හරියට කෝට්ටේ යුගයේ පෘතුගීසි කාලතුවක්කු වගේ. ඔය අතරේ ගමේ
ඉලන්දාරි කොල්ලෝ දහ දොළොස් දෙනෙනෙක්
විතර ගමපුරා ඇවිදල, කෙහෙල් පරඬැල් එකතු කරගෙන ඇවිත් පරැඬැල්ලෝ බඳිනව. හැත්තෑව දශකයෙන් පස්සේ පරැඬැල්ලෝ බඳිනව දැක්කෙම නැති තරම්.
මුළු ඇඟම වැහෙන්ට, හරියට දිග කලිසමක් වගේ, කලාත්මකව ඇඳුමක් ඇන්දා වගේ පරැඬැල් ඔතා ගන්ට ඒ කාලේ කොල්ලෝ
හරි දක්‍ෂයි. පරැඬැල් පෙඟෙන්ට එක එකාට වතුර
ඉහලා පුවක් කොළපතකින් ඇස් කට නහය විවෘතව
තියෙන්ට මූණක් කපලා බඳිනවා. පොල්ලක් අතට දීල අර රබන් ගහන,
සෙනඟ එක් රොක් වෙන ගෙදරකට ගිහින් විකාර රූපී නැටුම් නටනව, ඒ අයට රබනුත්
ගහන්ට ඉඩ දෙනව.
ඒවා දැන් නැතුව ඇති. මඬ නාගත්තු නැත්නම්
වතුර ඉහලා තෙතබරිවෙච්ච නැට්ටුක්කාරයෝ දැන් අය ඉවසයිද මන්දා.
අස්වනු එකතු කරලා ඉපැනැලි බේරුණ කුඹුරු වල නියර දිගේ
පරැඬැල්ලෝ දහ පාළොස්දෙනෙක් යෝධයෝ
වගේ ගිය හැටි මට තාමත් මතක්
වෙනවා. ඒකට කියන්නේ අතීත කාමය කියලද? මං දන්නෙ නෑ.
ඒක ගැමි සංස්කෘතියේ අහිංසක, ඒවගේම සෞන්දර්යාත්මක අංගයක් විදියට. මට හිතෙන්නෙ සරල
ගැමි ජන ජීවිතයේ නිර්ව්‍යාජ
බව කියල .
අවුරුදු
තිහකට ආසන්න කාලයක් මේ සංස්කෘතිය මගෙන්
ගිළිහිලා. තටු සිඳුන සමනලයෙක් වගේ මම. ඒ මතක හෙමින්
ස්පර්ශ කරනව, පරිස්සමෙන් ආවර්ජනය කරනව. ඒවා ඒතරම් සෞම්‍යයි, මෘදුයි, සමනල පිහාටු වගේ, ඒ රිද්මයේ සුමුදු
බව ගිළිහිලා යයි කියලා මට ලෝබයි වගෙත්!.
අද වගේම මතු වටත්, තිස්
දවසකට සැරයක් හඳ මේ වගේ
මෝරලා නැඟෙයි. තිස් අවුරුද්දක් සිද්ධවුණ දේම ආයෙ ආයෙත් සිද්ධ වෙයි. ඒත් මට තව කී
කාලයක් ඒ ආශ්චර්යය දකින්ට,
ස්මරණය කරන්ට පුළුවන් වෙයිද කියන්ට දන්නා කෙනෙක් නෑ. ඒක සවභාව ධර්මය
විසින් නිසි කලට සිදු කරාවි. ධර්මතාවට අනුකූල වීමට, අනුගත වීමට මම සූදානම්. ඔබ
හැම දෙනාට සුභ නව වසරක් වේවා!
මල්ලිකා
එම් බණ්ඩාර
14. 04. 2025