Tuesday, 23 August 2016

ගිම්හාන අකුණක්


දශක ගණනක් ගෙවී, එදා අන්තිම වරට
තාත්තා දුටුව දා මතකයට නැගෙනවිට
සිහිනයෙන් වතල සුවඳක් ලෙසින්
මගෙ මිලින ආත්මය ඉපිලය​යි සෙනෙහසින්

හිඩැස් පුරවනු පිණිස මැරුණු ඉතිහාසයේ
පන්හිඳක් තල් පතක් අතැතිව
මෙනෙහිකොට අතීතය​ පුරා ඇති මඟ නොමඟ, 
පශ්චාත්තාපයේ යාඥාවෙහි ගැලී
මරණ මංචකය මත වැදහෝන​
සිහ රජෙකු, ඇත් රජෙකු මසිත මුල වැඩහිඳී

මහමෙරක් තරම් බර තුලාවේ එක පසෙක​
දරාගෙන​ අවසාන නිමේසෙදි,
 "පීතු පාදං නමාමහං" යයි කියන්නට
සිතුන මුත් දෙපා සිඹ සමුගන්න
එවන් සමුගැන්මකට ඇයිද පසුබට වුණේ?
අදත් මට නොවැටහෙයි.
කොහේ හෝ තැනක ඉරණම් පොතේ
ඡේදයක් ලියවෙලා තිබුණාද තීන්දුව​
අපේ අවසන් හමුව එසේ යෙදෙතියි කියා ?
අදත් මට නොවැටහෙයි

කුර ගගා ලඟා වෙන, මරණයේ සීතලය
රැඳී තිබුණාද ඔබෙ නළල මත​ මටත් දැනෙනා පරිදි?
මරණයේ සෙවැනැල්ල හඹා මා පසුපසින්
මහ දැවැන්තයෙකුසේ දැවැටිණිද​ මගෙ ආත්මය​ අරා
තෙදිනකින් යළි ඇවිත්  ඔබ කැටුව යන පිණිස​
ගිවිසගෙන සමුදුනිමි කඩිනමින්.
සැනින් පිටවී යන්න හදිසි ඕනෑකමක්,
හැඟුනාද වහන්වී පළා යන්නට ඔබෙන්
නොතේරෙයි මට තවම​.

ජීවිතය පුරාවට අත් නොවිඳි, නිරාමිස සතුටකින්
දොවා හද සිඳු පතුළ පිරිතීරි යන්ට වන​
නිදි නොදලද රාත්‍රිය​ පහන්වෙන තුරාවට
තාත්තා නාභි ගතකර අපේ පවුල තුළ​
අතීතය නව පොතක ලියන්නට වෙහෙසෙද්දි
ජීවිතේ මුල්වරට, මෙන්ම අවසන් වරට
"තාත්තා "කියන ඒ අකුරු තුන
කොයි තරම් මිහිරිදැයි දැනුණි මට.

අසිරිමත් දවසකට පාවාඩ එලාගෙන​
නව ඉරක් පායලා පැතුම් පිරිවරාගෙන​
එදා මහ මඟ දෙපස දුටු නුදුටු සැමදෙයම
ජීවී අජීවී සියල්ලම​ ළගන්නාසුළුය​,
ප්‍රිය මනාපයසොඳුරුයයි සිතුනි මට.​ ​

පස් වණක් ප්‍රීතියෙන් නිමාකළ​
පිතෘ ප්‍රේමයේ මිණිකිරුළ​   
දෛවයේ රළු-පරළු කුරිරුවූ සරදමට​
නිමිත්තක්වී යළිත් අහිමිවී
එකම සිහිනයක් තුළ ගිළිහිලා ගිය සෙයකි!

සවන් යුග දෙදරවා, නුවන් යුග පුපුරවා
ගිම්හාන දිවාකල වැදුන අකුණක් ලෙසින්
තාත්තා මළ පුවත මා සවන් මත වැකුණි.
ජීවිතේ මුල්වරට, මෙන්ම අවසන් වරට
"තාත්තා "කියන ඒ අකුරු තුන
කොයි තරම් මිහිරිදැයි දැනෙයි මට.

(06.12.2005)


Monday, 22 August 2016




Hey! Would you like to enjoy a piece of music at Magpie Lounge this morning?
Do Try!

https://www.facebook.com/neighbourhoodNZ/videos/1187224354675013/

Tuesday, 16 August 2016

"​කාඩ්බෝඩ් පෙට්ටියක් දරුවකු බිහිකරයි..." - පුවතක්!


දෙව්‍ම් වෙහෙර දොරටුව​ ළඟ උදෑසන​
ඇත් පැටවෙකු වදා කෙණරක පලායත​
සතවෙත පතල මෙත් කරුණා දයාවෙන
වනයේ ගිහින් ළෙහි සෙනෙහස දරාගෙන​​
උක්දඬු සමඟ නෙක පලවැල නෙලාගෙන​
උහු රැක ගනු ලැබිණි මහ යතිවරාණන​

දරුවන් මඟ දමා යන ගැහැණුන්ගේම
එය පැතිකඩක් වී ඇත ලෝ දහමේම​ ​​
දින දහයකට මව් උණුසුම නැතුවාම
කඩදහි තොටිල්ලක තනිවම නිදි යෑම​
පුතුනේ ළපැටි ගත උහුලන්නේ කෝම​?
ලැව් ගිනි උකුළු ඕවිල්ලෙන් ජනිතකළ​
මව් තනපුඩු පහස නොලදිනි​ බිළිඳු තොල​
කිරිදරු පැටවෙකුව මහමඟ දමන කල​
අඳ නෙත නොදිටි ජීවිතයක නොනිමි මිල​

ලේ රහ වන තුරා හඬනා සිඟිති මුවින්
ලෝදා සසලවිණි ​කම්පිත සුසුම් වැලින් 
කිරි පීරක් ගලා නොඑනා සෙනෙහෙ දොලින්
අම්මාවරුණි තැනුණිද ළය මඬළ​ ගලින්?

අල්ලා දෙවිඳුන්ට යැද​  ඉකිගසන යුරෙන්
ඉල්ලා පිළිසරණ සවනක රැඳෙන සරෙන් 
දල්ලා මිනිස්කම ඇති හද වතක් කෙරෙන්
නුඹ ජීවිතය ගැලවුණමුත් වැටුණ නිරෙන්
ස​ල්ලාලයන් නෙරපාවා මිනිස් කුලෙන්!

මල්ලිකා එම් බණ්ඩාර​

03.08. 2016

Wednesday, 10 August 2016

ප්‍රවේණිදාස චින්තනය සහ අපි


නිදහසෙන් පස්සෙ බලයට පත්වුණ  ප්‍රධාන දෙශපාලන පක්‍ෂ රට පාලනය කළේ තට්ටු මාරු ක්‍රමයට. පොඩි වෙනසක් තිබුණෙ. හරියට කාසියේ දෙපැත්ත වාගෙ. දෙගොල්ලම කළේ තම තමන්ට උස් ආසන වල ඉඳගන්ට උදව් උපකාර කළ මහජනතාව අමතක කර තමන් අයත් පන්තියේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමටත් තහවුරු කර ගැනීමටත් ඇවැසි සියලුම ඉඩකඩ අත්පත් කර ගැනීමය​. මැතිවරණ කාලයට, ගෙන් ගෙට බඩගා මෙහෙම ඡන්ද හිඟාකන දේශපාලකයන් කළේ මැතිවර අවසන්වූ සැනෙන් තමන්ට උඩු මාලයට නඟින්නට උරදුන් ඉනිමඟට  පයින් පහරදී සැඟවී සිටීමයි.

ඉන්පසු ඔවුන් හමුවීමට හැකි වන්නේ දේශපාලකයා නාවර පෙරාගෙන ටික් බෝල ගැසූ කාලේ එකට​ හිටිය කොල්ලන්  මඩසෝදාගෙන​, අළු ගසා හැර දමා මුදලාලිලා වී ඇත්නම් ඔවුන් සමඟය​. ඔවුන් උගතුන්‍ යයි සම්මත තලයක නොසිටින ගැත්තන් ය​. මෙලෝ ආත්මයක් නැති මෙවැනි ගැත්තන් ගේ කොඳු නාරටිය දුර්වලය. කෙලින් තියා ගැනීමට අසීරුය​. අනික් අතට​ සෘජු කොඳු ඇට රෑන් ඇතියවුන් ගේ සමස්ත පද්ධතියම  කඩා තළා  දමනු ලබයි. ඉන්පසු ඔවුන් රූකඩ රඟදැක්වීමට සුදුසුකම් ලබයි. අවංක​, ප්‍රතිපත්ති ගරුක සාධාරණ මිනිසුන් pool එකේය​.

මෙහෙම වෙන්ට හේතු තියෙනව​. අපේ මිනිස්සු රදළ වැඩවසම් ක්‍රමයට කොහොමත් කැමැතිය​. රදළ සහ ධනවතුන්ගේ අත පල්ලෙන් වැටෙන දෙයක් ලෙවකා හෙළ සංස්කෘතියක් ගැන මවා පෑමට  කැමැතිය​. වැඩීහිටියන්ට ගරු කරනවායැයි ඉහල පෙලේ සහ දේශපාලන තකතිරුවන්ට දුන්නක් වගේ කොන්ද නමන්ට පුංචි ළමයින් ද කැමැත්තක් දක්වන බව පෙනේ. පිදිය යුත්තන්ට පුදාපල්ලා කියලා උගන්වන්ට තරම් සැබෑ උවමනාවක් ඇති අය ඉතාමත් විරලය​. අපි ප්‍රවේණිදාසයින් වගේ ජීවත් වෙනවා දකින්නට, පන්දම් අල්ලනවට​, එහෙම ඉන්න ගමන්  පෙරහැර සංදර්ශන වලට සහබාගි වෙනවට සුදු පිරුවටධාරීන් බොහොමයක් කැමතිය​​.

ඒකත් හරියට  මහනුවර ඇසළ පෙරහැරේ පන්දම් වලට කොප්පරා දීම වැනිය​.  ඉස්සරනම් විහාර ගම් පණත යටතේ අඳගොවියෝ තමයි ඔය පන්දම් කරගහගෙන ගියේ .  ඒක ලංකා  වැඩවසම් ක්‍රමයේ ලක්‍ෂණයක්. පහු කාලයේ පන්දම් කාරයෝ ටිකක් මැලිකම් කළා ඔය වැඩේට​.දෙනෝදහක් මැද්දේ පන්දම කර ගහගෙන යන්ට මදිකමක් වගේ. නිදහසෙන් පස්සෙ ළමා ළපැටින් අධ්‍යාපනය ලබලා අලුත් සමාජයක් නිර්මාණය වෙලා. හුඟක් පවුල් වලට සමාජ වටිනාකම් එකතුවෙලා. උගත් තරුණ දූ පුත්තු තමන් ගේ පවුල් වල අය පන්දම් අල්ලන්ට යනවට කැමති වුණේ නෑ. විහාර දේවාලගම් බුක්ති විඳිමින් හිටියට ඒ අයට අර පන්දම් අල්ලන වැඩේ කරන්ට ටිකක් අපහසු වුණා. ඒ නිසා පෙරහැර කාලෙට ඒ ඒ දේවාල වලටත් විහාර වලටත් කොප්පරා ගෝනියත් එක්ක සල්ලි යැවුවා කුලීකාරයෙකු යොදවන්ට. ඒ කාලයේ උගත් දූදරුවන් සමාජ වටිනාකම් අගය කළ හැටිය​. අද මෙන් නොව එදා දැන උගත් නව පරම්පරාව තම දෙමව්පියන් ප්‍රවේණි දාස භාවයෙන් මුදාගත යුතුය යන ස්ථාවරයේ හිටියා. 

ඒ නිසා පහු කාලීන පෙරහැරවල පන්දම් කාරයෝ  පරම්පරාගත  නින්දගම් වල  ජීවත් වෙලා ඒවා බුක්ති විඳින අය නෙවෙයි. නින්දගම් වල ජීවත්වන අය  එවන කොටහෙන් කුලියට  පන්දම් අල්ලන අය​. ඒකත් හරියට පෙරහැරට අලියෙක් සහබාගි කරනව  වගෙයි. දළදා මාළිගාවට අයත් පන්සල් වල සහ හතර මහා දේවාල වල  අයත් ඇතුන් ඇසළ පෙරහැරට අරන් එනව​.

වැඩවසම් යුගයේ පරිපාලන ක්‍ෂේත්‍රයේ අංගයක් වුණ රාජකාරි ක්‍රමය ක්‍රියාත්මක වුණේ වැටුප් ක්‍රමයට නෙවෙයි. හැම කෙනෙකුටම පැවරුන රාජකාරියක් තිබුණා. සරල උදාහරණයක් විදියට​ වැව් අමුණු ඇල වේලි නඩත්තු කළේ තමන් බුක්තිවිඳින රජ්‍ය දේපල වලට හිලව්වට කරන සේවාවක් විදියටයුරෝපා රටවල වගේ දැඩි ස්වාමි- ප්‍රවේණිදාස පීඩාකාරී පරතරයක් පුරාණලංකාවේ තිබුණ බවට ඓතිහාසික සාධක නෑ. නමුත් රජ වාසල හා සම්බන්ධ සේවා වලට අමතරව කුල ක්‍රමය යටතේ සමාජය ස්ථර කීපයක් ලෙස  සංවිධානය වෙලා තිබුණා. ඉහල යයි සම්මත කුල වල අයට අවශේෂ කුලවල අය යටහත් පහත්කම්, ගරු සැලකිලි දැක්වූ අතර එය ඔවුන්ගේ පෞරුෂ​ වර්ධනය කෙරෙහි සෘණ බලපෑමක් ඇති කළා. 

යටත් විජිත යුගයේ  ලාංකික සමාජය උගත්-නූගත්, දේශීය සහ බටහිර වශයෙන් බෙදුන ජීවන ක්‍රම වලට ​ අනුකූල වුණා. නව පන්ති ක්‍රමයකට අනුගතවුණ ඉංග්‍රීසි අධ්‍යාපනයත්,  ධනවත්කමත් සමාජයේ විශාල බෙදීමක්  සනිටුහන් කළා. ඉංග්‍රීසි උගත් පන්තිය  අතට දේශපාලන බලතල මාරු වීමත්, වරප්‍රසාද​ හිමිවීමත්, සිංහල මාධ්‍යයෙන් උගත් ජන කොටස් වලට අඩු සමාජ​ වටිනාකමක් හිමිවීමත් පැහැදිළිව දකින්නට තිබුණා. පසු කාලයේ මේ ප්‍රවේණි දාසභාවය දේශපාලන දීන භාවයක් බවට පරිවර්තනය වෙලා. අද මේ තත්වය ඉතාමත් පහත් මට්ටමකට වැටිලා. අට සමත් නැති දේශපාලකයාට දණ බිම ඇන වන්දනා කොට තමත් ගේ උපාධි සහතිකයට අදාල ගුරු පත්වීම ලබා ගන්නට තරම් උපාධිධාරීන් දීන බවට පත් වෙලා.
වැඩිහිටියෙකුට වැඳ නමස්කාර කරන්ට සැලකියුතු වන්නේ උගත් නූගත් බවම නෙවෙයි, අඩු තරමින් ගුණ යහපත් කමවත් තිබිය යුතුයි නේද​?

මිනිස් ජීවිතය හරියට ගඟක් වගේ. අඛණ් ඩව ගලාගෙන යනව​. ගඟේ ඉවුරු පළල් වෙනව​. ඒ වගේම ගඟ අරන් යන ජල ධාරිතාව වැඩි වෙනව​. ගලාගෙන යාම හේතු කොට ගෙන වරුර පල් වෙන්නෙ නෑ, ඒ කියන්නෙ ගඟේ ජලය පිරිසිදුයි. ගඟ ඉහත්තාවේ වගේම පහලදීත් අවට ගම් බිම් පෝෂණය කරමින් ඉදිරියටම ඇදෙනව​. අන්තිමේදී සාගරයට එකතු වෙලා ඒසා විශාල සාගරයේ කොටසක් වෙනව​. අහම්බෙන් මේ ලෝකෙට ආව ජීවිතේ පළදායි විදියට ජීවත් කරලා විශාල සාගරයේ අංශුවක් වීම මොනතරම් අපූරුවක් ද​?

වර්තමාන තරුණ පරපුරවත් මේ එක තැන පල්වෙන මඩ ගොහොරුවෙන් මිදී  දෙගම් මැදි පොළොව සරු සාර කරගෙන ගඟක් වගේ ගලා ගෙන යන්ට (එහෙම යන්ට හිත හදාගන්ට) පුළුවන් නම්, ඒක අපේ චින්තනයේ නව නැම්මක්.  අපේ රට, සමාජය​, ගිලගෙන තිබෙන මේ දීන ප්‍රවේණිදාස චින්තනයෙන් මිඳෙන්ට නව පරපුරට සැබෑ ඕනෑකමක් තියේනම් මුලින්ම අපි හිතන විදිය වෙනස් කරන්ට වෙනව.​ එහෙම් නැත්නම් අපිට වගේම ඊළඟ පරම්පරාවටත් පෙරහැර බලන්නෝ වෙන්ට මිස පෙරහැරේ යන්නෝ වෙන්ට ලැබෙන එකක් නෑ
අපි වෙනස් විය යුතුයි.

මල්ලිකා එම් බ​ණ්ඩාර​

Dirty Roads


Roads are the backbone of the human movement
That connected the earth and the oceans
There are so many bridges that linking the routes
When the travellers set off their journeys
They bridge the possible gap between differences
This assists to bring together,
With known and unknown

The encounter of the travellers
Find the variances of human beings
They begin to detect the diversity
Through the belief, culture and colour

The vicious poisons of the human heart
Sprung in the form of jealousy, envoy and hatred
The lonely earth needed to bring life to humans
Through the love and care for one another
 But always we talk and hear
About the idea of transforming the world
But they are just words that spoken by ourselves
Just words empty of love,
And just words without sense and perception.

Roads make money for richest
Bridges make rivalry between differences
The routes are full of dirty
Therefore, love cannot exists
Without love there is nothing at all
To enhance for the  humanity


Mallika Bandara

10.08.2016

Friday, 5 August 2016

සත් රුවන් වැස්ස​


උදෑසන මලක් වී නුඹ නෙතග පිපෙනවා
පිය තෙපුල් නිනද දී මා සවන් පුරනවා
නිබඳ මන ලොල් වඩන මඳ සිනා සලනවා
නුඹේ රුව සිතුවමක් සේ ඇඳී මැකෙනවා

අනන්තා පරිමාණ මිහිතලය තෙමා ලන​
නීලවාහිණිය සේ මා සතත දොවාලන​
සෙනෙහසේ දිව ඔසුව තැළුන හද නිවාලන​
කටුක දිවි කතර මැද කෙම් බිමයි සදාතන​

සඳුන් වනයක් සේම​ සිසිල් සුව දනවනා
අති මධුර ගීතයක් සේ සිත නළවනා
මෑණියෙනි මපෙම්බර දිවි මැඳුර හොබවනා  
මේකුළයි මගෙ ලොවට සත් රුවන් වස්සනා

හිතට අබිමන් වඩන​ අවියක්ය​ සවියක්ය
පිළිමළුන් දිරි බිඳින රණ බිමක කවියක්ය​
දිරි දරා නැඟිටින්න​ නවමු පන්නරයක්ය​
මෙසායා! නුඹෙන් මගෙ ආත්මය සුවපත්‍ ය.


මල්ලිකා බණ්ඩාර​

23. 03. 2005

Tuesday, 2 August 2016

බෝදරාළ​​ (The Messenger)


කටු ඔටුණු නොපළඳිති
මිනිස්කම වෙනුවෙන්ම කැප වෙති
හිස් අතින් ආවෝය
ඇඳි වතද අහිමිව ගියෝය     
විරුවෝ

නිදනන් වත් පැහැර ගෙන​
රන් රිදී මුතු මැණික් පොදිබැඳ​
සොරුන් ගේ කඩුපතට ගොදුරුවී
නොමළෝය විරුවෝ

දිළින්ඳන් ලැබිය යුතු බිං අඟල,
බත බුලතද, පැහැර නොගනිති විරුවෝ
මංමුලාවූවන්ට කණහුලක් වනු මිසක​
සැඩපහර කර වටක් දඟ කැවී ගිලෙන විට​
අත්වැලක් වූවෝය උන්

වරදාන පඬුරු දැක තළු මරා කෙළ හලා
අදමිටුවන් සමඟ ලැග​,සිඹ උන්ගෙ මිරිවැඩි යුග​
උතුරු මිනිසත් කමට​ නිගා නොකරති
විරුවෝ

දේශයේ හෙට දවස කිඳාබැස යනු දැක අගාධෙක​
දෙපයින් නැගී සිට ළය දුන්නෝය උන්
ඉසුරු දැක​ මසුරු නොමවී
පිය මැන්නෝය විරුවෝ

දැක දිනුම හෝ පැරැදුම පාවා නොදෙති අරමුණ​
පැන නොයති අතැරදා පෙරමුණ
මළත් උන් නොමියෙත
උන්ගෙ නම​ ජන මුව'ග මැතිරෙත​

වගුරු බිම පිබිදුන මලක් සේ මනකල්ය​ සුවඳය​
​සිඳිත මඬවත එද​, සඳුන් හරසේ සුවද විහිදත
පොදු දනන් හද තුළ ගිනිසිළුව සේ දැල්වෙන​​
නවෝදයේ පණිවුඩය දැයට​ම රැගෙන යන
පෙර ගමන්කරුවා නම් නුඹය​.
            -
මල්ලිකා බණ්ඩාර

03.07. 2016