නිදහසෙන්
පස්සෙ බලයට පත්වුණ ප්‍රධාන දෙශපාලන පක්‍ෂ
රට පාලනය කළේ තට්ටු මාරු ක්‍රමයට. පොඩි වෙනසක් තිබුණෙ. හරියට කාසියේ දෙපැත්ත වාගෙ.
දෙගොල්ලම කළේ තම තමන්ට උස් ආසන වල ඉඳගන්ට උදව් උපකාර කළ මහජනතාව අමතක කර තමන් අයත්
පන්තියේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමටත් තහවුරු කර ගැනීමටත් ඇවැසි සියලුම ඉඩකඩ
අත්පත් කර ගැනීමය. මැතිවරණ කාලයට, ගෙන් ගෙට බඩගා මෙහෙම ඡන්ද හිඟාකන දේශපාලකයන් කළේ මැතිවරණ අවසන්වූ සැනෙන් තමන්ට උඩු මාලයට නඟින්නට උරදුන් ඉනිමඟට පයින් පහරදී සැඟවී සිටීමයි.
ඉන්පසු ඔවුන්
හමුවීමට හැකි වන්නේ දේශපාලකයා නාවර පෙරාගෙන ටික් බෝල ගැසූ කාලේ එකට හිටිය
කොල්ලන් මඩසෝදාගෙන, අළු ගසා හැර දමා
මුදලාලිලා වී ඇත්නම් ඔවුන් සමඟය. ඔවුන් උගතුන් යයි සම්මත තලයක නොසිටින
ගැත්තන් ය. මෙලෝ ආත්මයක් නැති මෙවැනි ගැත්තන් ගේ කොඳු නාරටිය දුර්වලය. කෙලින් තියා
ගැනීමට අසීරුය. අනික් අතට සෘජු කොඳු ඇට රෑන් ඇතියවුන් ගේ සමස්ත පද්ධතියම කඩා තළා දමනු ලබයි. ඉන්පසු ඔවුන් රූකඩ රඟදැක්වීමට
සුදුසුකම් ලබයි. අවංක, ප්‍රතිපත්ති ගරුක සාධාරණ මිනිසුන් pool එකේය.
මෙහෙම වෙන්ට හේතු තියෙනව. අපේ මිනිස්සු
රදළ වැඩවසම් ක්‍රමයට කොහොමත් කැමැතිය. රදළ සහ ධනවතුන්ගේ අත පල්ලෙන් වැටෙන දෙයක්
ලෙවකා හෙළ සංස්කෘතියක් ගැන මවා පෑමට
කැමැතිය. වැඩීහිටියන්ට ගරු කරනවායැයි ඉහල පෙලේ සහ දේශපාලන තකතිරුවන්ට
දුන්නක් වගේ කොන්ද නමන්ට පුංචි ළමයින් ද කැමැත්තක් දක්වන බව පෙනේ. පිදිය යුත්තන්ට
පුදාපල්ලා කියලා උගන්වන්ට තරම් සැබෑ උවමනාවක් ඇති අය ඉතාමත් විරලය. අපි ප්‍රවේණිදාසයින් වගේ ජීවත් වෙනවා දකින්නට,
පන්දම්
අල්ලනවට, එහෙම ඉන්න ගමන් පෙරහැර සංදර්ශන වලට සහබාගි වෙනවට සුදු පිරුවටධාරීන්
බොහොමයක් කැමතිය.
ඒකත්
හරියට මහනුවර ඇසළ පෙරහැරේ පන්දම් වලට
කොප්පරා දීම වැනිය. ඉස්සරනම් විහාර ගම්
පණත යටතේ අඳගොවියෝ තමයි ඔය පන්දම් කරගහගෙන ගියේ .
ඒක ලංකා වැඩවසම් ක්‍රමයේ ලක්‍ෂණයක්. පහු කාලයේ පන්දම් කාරයෝ
ටිකක් මැලිකම් කළා ඔය වැඩේට.දෙනෝදහක් මැද්දේ පන්දම කර ගහගෙන යන්ට මදිකමක් වගේ.
නිදහසෙන් පස්සෙ ළමා ළපැටින් අධ්‍යාපනය ලබලා අලුත් සමාජයක් නිර්මාණය වෙලා. හුඟක්
පවුල් වලට සමාජ වටිනාකම් එකතුවෙලා. උගත් තරුණ දූ පුත්තු තමන් ගේ පවුල් වල අය පන්දම්
අල්ලන්ට යනවට කැමති වුණේ නෑ. විහාර දේවාලගම් බුක්ති විඳිමින් හිටියට ඒ අයට අර පන්දම්
අල්ලන වැඩේ කරන්ට ටිකක් අපහසු වුණා. ඒ නිසා පෙරහැර කාලෙට ඒ ඒ දේවාල වලටත් විහාර
වලටත් කොප්පරා ගෝනියත් එක්ක සල්ලි යැවුවා කුලීකාරයෙකු යොදවන්ට. ඒ කාලයේ උගත් දූදරුවන් සමාජ වටිනාකම් අගය කළ හැටිය. අද මෙන් නොව එදා දැන උගත් නව පරම්පරාව තම දෙමව්පියන් ප්‍රවේණි දාස භාවයෙන් මුදාගත යුතුය යන ස්ථාවරයේ හිටියා.
ඒ නිසා පහු
කාලීන පෙරහැරවල පන්දම් කාරයෝ පරම්පරාගත නින්දගම් වල
ජීවත් වෙලා ඒවා බුක්ති විඳින අය නෙවෙයි. නින්දගම් වල ජීවත්වන අය එවන කොටහෙන් කුලියට පන්දම් අල්ලන අය. ඒකත් හරියට පෙරහැරට අලියෙක්
සහබාගි කරනව වගෙයි. දළදා මාළිගාවට අයත්
පන්සල් වල සහ
හතර මහා දේවාල වලට අයත් ඇතුන් ඇසළ පෙරහැරට
අරන් එනව.
වැඩවසම් යුගයේ
පරිපාලන ක්‍ෂේත්‍රයේ අංගයක් වුණ රාජකාරි ක්‍රමය ක්‍රියාත්මක වුණේ වැටුප් ක්‍රමයට
නෙවෙයි. හැම කෙනෙකුටම පැවරුන රාජකාරියක් තිබුණා. සරල උදාහරණයක් විදියට වැව් අමුණු
ඇල වේලි නඩත්තු කළේ තමන් බුක්තිවිඳින රජ්‍ය දේපල වලට හිලව්වට කරන
සේවාවක් විදියට. යුරෝපා රටවල
වගේ දැඩි ස්වාමි- ප්‍රවේණිදාස පීඩාකාරී පරතරයක් පුරාණලංකාවේ තිබුණ බවට ඓතිහාසික සාධක නෑ.
නමුත් රජ වාසල හා සම්බන්ධ සේවා වලට අමතරව කුල ක්‍රමය යටතේ සමාජය ස්ථර
කීපයක් ලෙස සංවිධානය වෙලා තිබුණා. ඉහල යයි සම්මත කුල වල අයට
අවශේෂ කුලවල අය යටහත් පහත්කම්, ගරු සැලකිලි
දැක්වූ අතර එය ඔවුන්ගේ පෞරුෂ වර්ධනය කෙරෙහි සෘණ බලපෑමක් ඇති කළා.
යටත් විජිත
යුගයේ ලාංකික සමාජය උගත්-නූගත්, දේශීය සහ බටහිර වශයෙන් බෙදුන ජීවන ක්‍රම වලට අනුකූල වුණා.
නව පන්ති ක්‍රමයකට අනුගතවුණ ඉංග්‍රීසි අධ්‍යාපනයත්, ධනවත්කමත් සමාජයේ විශාල බෙදීමක් සනිටුහන් කළා. ඉංග්‍රීසි උගත් පන්තිය අතට
දේශපාලන බලතල මාරු වීමත්, වරප්‍රසාද හිමිවීමත්, සිංහල මාධ්‍යයෙන් උගත් ජන කොටස් වලට
අඩු සමාජ වටිනාකමක්
හිමිවීමත් පැහැදිළිව දකින්නට තිබුණා. පසු කාලයේ
මේ ප්‍රවේණි
දාසභාවය දේශපාලන දීන භාවයක් බවට පරිවර්තනය වෙලා. අද මේ තත්වය ඉතාමත් පහත් මට්ටමකට වැටිලා.
අට සමත් නැති දේශපාලකයාට දණ බිම ඇන වන්දනා කොට තමත් ගේ උපාධි සහතිකයට අදාල ගුරු
පත්වීම ලබා ගන්නට තරම් උපාධිධාරීන් දීන බවට පත් වෙලා.
වැඩිහිටියෙකුට
වැඳ නමස්කාර කරන්ට සැලකියුතු වන්නේ උගත් නූගත් බවම නෙවෙයි, අඩු තරමින් ගුණ යහපත්
කමවත් තිබිය යුතුයි නේද?
මිනිස් ජීවිතය හරියට ගඟක් වගේ. අඛණ් ඩව ගලාගෙන යනව. ගඟේ ඉවුරු පළල් වෙනව. ඒ වගේම ගඟ අරන් යන ජල ධාරිතාව වැඩි වෙනව. ගලාගෙන යාම හේතු කොට ගෙන වරුර පල් වෙන්නෙ නෑ, ඒ කියන්නෙ ගඟේ ජලය පිරිසිදුයි. ගඟ ඉහත්තාවේ වගේම පහලදීත් අවට ගම් බිම් පෝෂණය කරමින් ඉදිරියටම ඇදෙනව. අන්තිමේදී සාගරයට එකතු වෙලා ඒසා විශාල සාගරයේ කොටසක් වෙනව. අහම්බෙන් මේ ලෝකෙට ආව ජීවිතේ පළදායි විදියට ජීවත් කරලා විශාල සාගරයේ අංශුවක් වීම මොනතරම් අපූරුවක් ද?
වර්තමාන තරුණ පරපුරවත් මේ එක තැන පල්වෙන මඩ ගොහොරුවෙන් මිදී දෙගම් මැදි පොළොව සරු සාර කරගෙන ගඟක් වගේ ගලා ගෙන යන්ට (එහෙම යන්ට හිත හදාගන්ට) පුළුවන් නම්, ඒක අපේ චින්තනයේ නව නැම්මක්. අපේ රට, සමාජය, ගිලගෙන තිබෙන මේ දීන ප්‍රවේණිදාස චින්තනයෙන් මිඳෙන්ට නව පරපුරට සැබෑ ඕනෑකමක් තියේනම් මුලින්ම අපි හිතන විදිය වෙනස් කරන්ට වෙනව. එහෙම් නැත්නම් අපිට වගේම ඊළඟ පරම්පරාවටත් පෙරහැර බලන්නෝ වෙන්ට මිස පෙරහැරේ යන්නෝ වෙන්ට ලැබෙන එකක් නෑ
මිනිස් ජීවිතය හරියට ගඟක් වගේ. අඛණ් ඩව ගලාගෙන යනව. ගඟේ ඉවුරු පළල් වෙනව. ඒ වගේම ගඟ අරන් යන ජල ධාරිතාව වැඩි වෙනව. ගලාගෙන යාම හේතු කොට ගෙන වරුර පල් වෙන්නෙ නෑ, ඒ කියන්නෙ ගඟේ ජලය පිරිසිදුයි. ගඟ ඉහත්තාවේ වගේම පහලදීත් අවට ගම් බිම් පෝෂණය කරමින් ඉදිරියටම ඇදෙනව. අන්තිමේදී සාගරයට එකතු වෙලා ඒසා විශාල සාගරයේ කොටසක් වෙනව. අහම්බෙන් මේ ලෝකෙට ආව ජීවිතේ පළදායි විදියට ජීවත් කරලා විශාල සාගරයේ අංශුවක් වීම මොනතරම් අපූරුවක් ද?
වර්තමාන තරුණ පරපුරවත් මේ එක තැන පල්වෙන මඩ ගොහොරුවෙන් මිදී දෙගම් මැදි පොළොව සරු සාර කරගෙන ගඟක් වගේ ගලා ගෙන යන්ට (එහෙම යන්ට හිත හදාගන්ට) පුළුවන් නම්, ඒක අපේ චින්තනයේ නව නැම්මක්. අපේ රට, සමාජය, ගිලගෙන තිබෙන මේ දීන ප්‍රවේණිදාස චින්තනයෙන් මිඳෙන්ට නව පරපුරට සැබෑ ඕනෑකමක් තියේනම් මුලින්ම අපි හිතන විදිය වෙනස් කරන්ට වෙනව. එහෙම් නැත්නම් අපිට වගේම ඊළඟ පරම්පරාවටත් පෙරහැර බලන්නෝ වෙන්ට මිස පෙරහැරේ යන්නෝ වෙන්ට ලැබෙන එකක් නෑ
අපි වෙනස් විය
යුතුයි.
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment