ඉස්සරනම් අපි ඔක්කොම
රජවරුය. ඔක්කොම වැසියෝය. දැන් නම් අපි ළමයිය. ළමයි කීවට මොන්ටිසෝරි ළමයිය. අපේ
මහ පුරවැසියා කියන විදියට එයාගෙ සැප්තම්බර් 12 වෙනිදා ඓතිහාසික කතාව අහපු සමස්ත ලෝකෙම මිනිස්සු "මොන්ටිසෝරි
ළමයි" නැත්නම් "පුංචිළමයි". ආචාර්‍ය
මහාචාර්යවරුත් පුංචි ළමයි වගේ කලබල වෙලා. අල්ලස් හෝ දූෂණ සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂවරියත්
මොන්ටිසෝරි ළමයෙක් වගේ ඒ කතාවට ප්‍රතික්‍රියා දක්වලා. ඔය දේශනය අහපු හැමෝම මොන්ටිසෝරි ළමයි වුණේ කොහොමද? අපි ඔක්කොම එකාවන්ව ඔලමොට්ටල හින්දද? බැලුවම විපක්‍ෂයෙයි, ඒකා බද්ධකළ විපක්‍ෂයෙයි (ඒකේ නම් ඉන්නෙම ගල් යුගයේ වනචාරින් කියමුකො) හැම කෙනෙක්ම මොන්ටිසෝරි ළමයි
වෙලානෙ. පෙනෙන විදියට නම් අපි ඔක්කොම, උගත් වියත් මහා ප්‍රාඥයාගෙ කතාව වැරැදියට
තේරුම් අරන්. ඒකද ඇත්ත?
එක අතකින් ඒකත්
ඇත්ත. ඒ කාලෙ, ඒ කියන්නෙ ඔය කියන කාලෙ, 7, 8 පන්තිවල ළමයින්ට ‘ප්‍රජාචාරය කියලා
එකක් ඉගැන්නුවානෙ’. ඒක ඉගෙනගෙන කෙනෙක්, අට පාස් කළානම් සහතික වශයෙන්ම පාර්ලිමේන්තුවේ ජොබ් එකකට සුදුස්සෙක්
වෙනව. එහෙම වෙච්ච උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රජාචාරෙ පාඩම් වල අන්තර්ගතය වුණේ, ග්‍රීක පුර රාජ්‍ය
සංකල්පය නූතන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා විකාශනයවීම පිළිබඳ මුලික අදහස් ඉතමත්
සරලව ළමා මනස තුළ පුරවැසි යුතුකම්, වගකීම් පිළිබඳ පදනමක් දැමීම . ඉතින් අර අට පාස් වුණ ඕනෑම කෙනෙක් හිතනවා, එයා දේශපාලන විද්‍යාවේ පියා නැත්නම් බාප්පා හෝ මහප්පාය කියලා. අපි අයාලේ ගිය රටක් ජාතියක් බවට පත් වුණේ ඔය වගේ අදහස් නිසා. ඔය දේශපාලක මහප්පලායි, බාප්පලායි ඔක්කොම
කළේ වියට බැඳපු අම්ඹරුවෝ ටික කුලප්පු කරල ඉබාගාතේ දක්කපු එකම විතරයි. ගොපල්ලොත් දෑඟුලකට එහායින්
බලන්ට බයයි. අම්බරුවොත් උඩුමියා වෙන්ට බයයි. ඉතින් යම් කෙනෙකුට, ලංකාවේ දේශපාලකයෙක් වෙන්ට නම් දේශපාලන විද්‍යාවෙන් උපාධියක් කරන්ට ඕනද
කියල හිතෙන එකත් සාධාරණයි.
ඒ කාලෙ, සාමාන්‍ය පෙළ සමත් කෙනෙක් නිසැකවම දේශපාලන විද්‍යාවේ බාප්පලා වෙනව.
හැබැයි උසස් පෙළ පන්තියේදි දේශපාලන විද්‍යාව කරන්ට පටන් ගත්තම ඕනෑම කෙනෙකුටහිතෙනවා, මම මොනවද අර ප්‍රජාචාරෙන්
දැනගත්තෙ, ඒක මොන්ටිසෝරි දැනුමක් නේද කියලා. ඊළඟට විශ්ව විද්‍යාලෙක දේශපාලන විද්‍යා
උපාධියක් කළාට පස්සෙ අවබෝධ වෙනව, ඉගෙනගත් දේවල අල්ප බවයි, තමන්ගේ නොදන්නාකමේ විශාලත්වයයි දෙකම.
නමුත් අපේ රටේ උත්තරීතර
නීති සම්පාදක ආයතනය ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය දේශපාලන ආයතනවලට අරක් ගෙන ඉන්න වැඩිදෙනෙක් අට පාස් සහ සාපෙ අසමත් අය. සමහරු පාරම්පරික
දේශපාලන ලේ උරුමය නිසා රිංගපු අය, හරියට ඔටුන්න හිමි
කුමාරයො කුමාරියො වගේ. එහෙමත් නැත්නම් විවාහක පුරුෂයාගෙ පසු උරුමක්කාරයොය වගේ. අපිට පඹයෙක් වුණත් කමක් නෑ, රජෙක් ඕනෑ. රජාට වන්දනාමාන කරගෙන, ස්වකැමත්තෙන් වහල් භාවයේ යෙදෙන්ට අපි හරි රුසියො. රජවරු පෙරහැරේ යනකොට හරි ආසයි අපි පෙරහැර බලන්ට.ඇස් ලොඩි දෙක ඉස්මුදුනෙ තියාගෙන.
ඉතින්, රටක සංවර්ධනයට හිතකර
ලෙස දේශපාලන සංස්ථා හැඩගැස්වීමේ සහ රජ්‍ය තාන්ත්‍රික දැනුම සහ කුශලතාව
සමඟ විවෘත මනසක් සහ පරිනත බුද්ධියක්, අටේ පන්තියෙන් ප්‍රජාචාරය ඉගෙන ගෙන
දේශපාලනයට කඩා වැටුණු ජනතා නියෝජිතයින්ට තිබේද? රටේ සංවර්ධනයට ඉංජිනේරුවො මොකටද, වඩු බාස්ලා සහ මේසන්
බාස්ලා විතරක් හිටියොත් ඇතැයි කියන පාලකයන් බිහිවෙන්නේ
එහෙම නොවන නිසාය.
1980 ගණන් වෙනකොට, උසස් පෙළ විෂය නිර්දේශයට අනුව උසස් පෙළ පන්ති සඳහා කෝල්බෘක් ප්‍රතිසංස්කරණ
සිට 1972 ජනරජ ව්‍යවස්ථාව දක්වා ශ්‍රී ලංකා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනයත්, තවත් රටවල් පහක (බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, ප්‍රංශ, ඉන්දියා සහ සෝවියට්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත් තුලනාත්මකව හැදෑරිය යුතුව තිබුණා. විශ්ව විද්‍යාල උපාධි සඳහා (International Relationship) ජාත්‍යන්තර තලයේ දේශපාලන සම්බන්ධතා අධ්‍යයනයකදී
වර්තමාන දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යන ක්‍ෂේත්‍ර කොයිතරම් සංකීර්ණ, සහ පුළුල් විෂය
පථයකට අයත්ද කියන එක අවබෝධ කර ගන්නව.
එහෙම වුණත් ශ්‍රී
ලංකා දේශපාලනය නම් තවමත් පටන් ගත්ත තැනමයි. මැතිවරණයකදී, පක්‍ෂ ප්‍රතිපත්ති වලට ප්‍රමුඛත්වය දෙනවා
වෙනුවට, දේශපාලන පක්‍ෂවල පාටට අන්ධ භක්තියෙන් බෞතීස්ම වෙලා, පුද්ගලයාගේ කුලය, පවුල් බලය සහ සමාජ
සම්බන්ධතා වලට වන්දනාමාන කරන බහුතරයක් චන්දදායකයින් රැවටෙන සුළුයි. ඒ
නිසා අර හත, අට පන්ති වලදී ප්‍රජාචාරය ඉගෙන ගැනීම නතර කරපු චන්ද අපේක්‍ෂකයිනුත්
චන්දදායකයිනුත් මැතිවරණයකදී හැසිරෙන ආකාරය වෙනස්
කරන එක තරමක් අමාරුයි. ඒ නිසාම තමයි තමන් හැර අන් හැමදෙනාම “ඔලමොට්ටලයි” කියල කෙනෙකුට හිතෙන්නෙ.
මුල් යුගයේදී අපේ
රටේ සාක්‍ෂරතාව පහළ මට්ටමක පැවති නිසා, පුරවැසියන් ගේ පහසුව තකා, මැතිවරණ වලදී
ඒ ඒ අපේක්‍ෂකයින්ට වෙන්කල නියමිත පාටක් වෙනුවෙන්, චන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා. ස්වාධීන රටක්
විදියට අවුරුදු හැට අටකට පසුත් දේශපාලන පක්‍ෂය, පරම්පරාවෙන් ලැබුණ වාසගම වගේම, දෙමව්පියන්ගෙන් ලැබුණ ආගම වගේම නොවෙනස්ව පැවතිය යුතුයැයි සලකනවා. හැම දේම වෙනස් වෙන ලෝකෙ
පක්‍ෂය නොවෙනස් විය යුතුයයි හිතනවා. ඒ වගේම දේශපාලකයින්ගේ බේගල් ත්‍රිපිටකය, බයිබලය නැත්නම්
කුරාණය වගේ ගෞරව බුහුමන් ඇතුව අදහනවා. සමහරුන්ට බණ්ඩාරනායක උන්නැහේ දෙයියො. තව කොටසකට සේනානායක උන්නැහේ
දෙයියො. ඔය වගේ දේව සංකල්ප ඇතිතරම්. ඒ මදිවට, ඒ ඒ දෙවිවරුන්ගේ පරම්පරා, තමන් උපන් භූමිය මවපු දේව පරම්පරා ගාණට
සලකනවා.
ජාතියක් වශයෙන් අපි
ගෝත්‍රික ලක්‍ෂණ පෙන්නුම් කරන්නෙ මේ බුද්ධිමය අන්ධභාවය නිසා. නිදහස් චින්තනය නැති
තැනක, ආත්මාභිමානය නැති බෙලහීන පෞරුෂයන් ගෙන් හෙබි
පාරම්පරික වහල්ලු බිහිවෙනව. මේ වැරැද්ද නිවැරැදි වෙන්ට ඕන, රටක අධ්‍යාපන ක්‍රමය තුළින්. අධ්‍යාපනයේ
පළදායීතාව රඳා පවතින්නේ දැනුම කඳු ගැහීමේ තරමටම, අවබෝධයත් පුළුල්
වුණොත් විතරයි. රටක අධ්‍යාපනය යනු ඒ රටේ ජීවනාලිය වන
අනාගත පරම්පරාව ගොඩනඟන පහන් ටැඹක්. ඒ පහන් ටැඹ පණ අදින කළාමැදිරි එළියක් වූ කල
අපි ගෝත්‍රිකභාවයෙන් මිදෙන්නේ කොහොමද?
මල්ලිකා එම්. බණ්ඩාර
No comments:
Post a Comment