අපි, ආයෙත් සැරයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලෙට ගියා, අපේ "get-together"එකට සහභාගි වෙන්න. මගේ කිට්ටු මිතුරියන් බොහොමයක් ඇවිත් හිටියෙ නෑ. එකතු වුණ අය හැමෝම තම තමන්ගේ මිහිරි හෝ අමිහිරි ඉතිහාසය ආවර්ජනය කරන්නට ඇති.
මං ඇහුව කීපදෙනෙකුගෙන්ම, "කෝ අර “so and so” හරි ආසයි දකින්න? මං හිතුව අපේ බැච් එකේ 720 ම ඇවිත්
ඉඳී කියල. ඒ නිසයි මමත් මේ තකහනියේ ආවෙ".
“තුන්සීයක්වත් නැති තරම්" මං වට පිට බලලා තහවුරු කරගත්තා.
ඔන්න ඔය අතරේ මැදිවිය ඉක්මගිය කාන්තාවක්, කඟවේනෙක් වගේ
දුවගෙන ආවා. ඇවිත් මාව බදාගෙන, “ඔයා එන බව දැනගත්ත වෙලාවෙ ඉඳලා මට
ඉවසිල්ලක් නෑ".
දශක හතරක කාලය මැවූ වෙනසක අරුමේ! මේ මගෙ රූම් මේට් ප්‍රියා! (The
most sought-after girl of the Batch!).
අපි දෙන්නම මොහොතක් ගොළු වුණා. වචන
තෝරා බේරා ගන්න බැරුව. ඒක හරිම සංවේදී මොහොතක්!අපි දෙන්නගෙම ඇස් වල කඳුළු
පිරිලා.
මං මගේ මිතුරියගෙ කණට කරලා,
"ඉතින් කොහොමද,
"හේරත්ලගේ පෙම්වතී?” කියලා
ඇහුවා.
“අයියෝ ඔයා තාමත්
ඒවගේමයි. අමතක වෙලා නෑ වගේ පරණ කතන්දර”.
"මට නිතර මතක්
වෙනව..."
"අපිට කාඩ්
ගහපුවා?"
"ගොඩක් දේවල්! ඒ අතරේ ඔයාගෙ කතන්දරෙත්...”
“ඇයි තෙල් බෙදිලි? බාල්දි පෙරෙලිලි? කයිලාසෙ හොල්මන්,
Three weeks suspension?”
“ඒ හැම දෙයක්ම මට
මතක් වෙනව. ඒ නිසයි මට ආයෙත් එක සැරයක් හරි ඔයාලව දකින්න එන්න හිතුනෙ”.
අපි හිනා වුණා, ඉස්සර වගේම සැහැල්ලුවෙන්. කැම්පස් එකට
ආවට පස්සෙ, ආයෙත් අපි අර ඒ කාලෙ හිටිය දඟකාර කෙල්ලොමද කියල
හිතෙනව. ආගිය විස්තර කතා කරන ගමන්, ගාන්ධර්ව සභාවේ එක්
රැස් වෙලා හිටිය,අපේ සමකාලීන
සහෝදර සහෝදරියන් අතරට අපි ගියා. ඒ යන ගමන්
"කොහොමද හේරත්?" කියල මම ඇහුව.
"තවමත් වැඩ ".... Department" එකේ".
“එතකොට අනික්
හේරත්ලා? අර වැලිමඩ
හේරත්? කුරුණෑගල හේරත්? මහියංගනේ හේරත්...? කවුරුවත්ම මුණගැහිලා නැද්ද “pass out” වුණාට පස්සෙ?
එතකොට අර,
"ඔයාගෙයි ඔයාගෙ හේරත්ගෙයි " අතරේ තිබුණ සම්බන්ධය බ්‍රේක් වුණොත්, කියලා බලාගෙන
හිටපු හේරත්? මම ඇහැක් ඉඟි කරන ගමන් ඇහුව.
"අනික් හතර
දෙනා ගැනත් ආරංචියක් නං නෑ? "
කියන ගමන් ප්‍රියා හිනාවුණේ ලැජ්ජාවෙන්.
පුංචි විරාමයකට පස්සෙ, හදිසියේ යමක් මතක් වුණා වගෙ ප්‍රියා කීව.
ප්‍රියාගෙ හඬේ හීන්වට මනස්තාපයක තෙතමනයක් ගෑවිලා වගේ කියල මට හිතුන.
අවුරුදු තිහ හතලිහකට ඉස්සර මතකයෙන් බිඳක්, හරියට හීනෙන් ගෑ සුවඳ පොදක් වගේ මගේ හිතට කාන්දු වෙන්ට පටන් ගත්ත. ඒ මතක සුවඳ මැදින්, ජීවිතය මල් උයනක් වගේ සුන්දරවූ අතීතය මෙනෙහි වෙනව. ජීවිත උරුමය කෙටුම්පත් කළ සන්නසේ පත් ඉරු අතර ලියැවුණ වැදගත් නොවැදගත් ඇලපිල්ල පවා අළුතින් තේරුම් ගන්නට හැකිනම්!කියල මට හිතුන.ඉතින් අපි කලාගාරය වම්පස පඩිපෙළෙන් පහලට බැහලා "පොළොන්නරුව" හරහා ඇවිත්, සිංහ රූප දෙක ළඟ මදක් නතර වෙලා හිටියා. සුවහසක් මතක අතරින් අපේ ගෙවීගිය සොඳුරු සරසවි කාලය ජීවමාන වෙනව වගේ.
අපි සරසවි ගිය අළුත, අපි ඉතින් සරසවියට කෝඩුකාරයෝ. මුල් සති දෙක,
නිකං අමුතු ග්‍රහ ලෝකෙකට අතෑරලා දැම්මා වගේ. සමහර වෙලාවට මොන මළ
වදයක් ද මේ වුණේ කියලත් හිතුන. අපි කවුරුත් හැංඟෙන්ට තැනක් තියෙනවනම්, බේරාගන්ට කෙනෙක් එනවනං කියලා
හිතුව රැග් එකට බයේ. හික්මීයො වගේ එක රොත්තට ගුලි ගැහිලා,
ආට්ස් බ්ලොක් එකට යන්නෙත්, ආපහු
හොස්ටල් එකට එන්නෙත් හරිම පරිස්සමෙන්.
රාමනාදන් එකෙන් එළියට ආව වෙලාවෙ ඉඳලා
සඳසිරියේ ගාල් වෙලා හිටය ජ්‍යේෂ්ඨ උත්තමයන්ට
අහුවෙනව. කලාගාරයට යනකම්ම අපි ගිල ගන්ට මකරු එයි කියලා හිතේ මහ බයක්. හිල්ඩා ගහ යටදි හිල්ඩා ජ්‍යේෂ්ඨ උත්තමයින්ට
නැත්නම් J.P. ජ්‍යේෂ්ඨ උත්තමයින්ට අහු වෙනව.
ජ්‍යේෂ්ඨ උත්තමයින් හැමෝම අහන්නෙ එකම ප්‍රශ්න.
එකම ආමන්ත්‍රණ. එකම දේ අපිත් කියනව. හැම කෙනාම අහන්නෙ එකම ප්‍රශ්න නිසා අපි සුදුසු උත්තර හදාගෙන සූදානම් වෙලා ඉන්නව.
අපි ඉතින් ලෙක්චර්ස් යන්නෙ රංචුවක් විදියට.
තනියම රැග් වෙනවට වඩා හොඳයිනෙ තනි නොතනියටවත්
කවුරු හරි ළඟ පාතක ඉන්න එක.
හිල්ඩා ඔබේසේකර ශාලාව ළඟින් යනකොට
සමහරු අපිව වෙන්දේසි කරනව
"ලාබයි ලාබයි.
බඩු ලාබයි. පරණ බඩු කුණු කොල්ලෙට. අළුත් බඩු ලාබයී" කියලා හිල්ඩා, ජේම්ස් පීරිස් උත්තමයෝ කෑගහනව.
මුලදි නම් ඒක මහ මදිකමක් වගේ දැනුනා
තමයි. ටික දවසක් ගියාම හරිම fun! ඒ කාලෙ රැග් එක වුණත් මානුෂිකයි. කවි, සිංදු, පිරිත් කියවීම, නැටීම හෝ රඟ දැක්වීම: මහ අමාරු දේවලුත්
නෙවෙයිනෙ.
ඉතින් ඔය "රැග් සීසන්"එකේදි
තමන් ගේ සරසවි පෙම්වතිය තෝරාගැනීමත් ජ්‍යේෂ්ඨ උත්තමයින්ගෙ එක ඉලක්කයක්.
මගේ රූම් මේට් ප්‍රියා. හරිම “ඇක්ට්‍රක්ටිව් ගර්ල්”. ඉතින් උත්තමයො තරඟයට වගේ එයාව
ලුහුබඳිනව. කාන්දමකට ඇදෙන අල්පනෙත්ති වගේ ඇදීගෙන
එනව. එයා නිසා මමත් රැග් වෙනව. මගෙන් නම් ඉතින් වැඩිම වුණොත් අහන්නෙම, "රාමනාදන් යකා කියපන් නම. කොහෙන්ද උඹ, ප්‍රාදුර්භූත
වුණේ?" වගේ ප්‍රශ්න.
එක අතකින්, "අජූව පෙනුමත් නරකම නෑ" කියල එහෙම වෙලාවට මට හිතිලා තියෙනව.
මගේ රූම් මේට් ප්‍රියාගෙන් නම් අහන්නෙම, “ඒයි!
උඹ මාත් එක්ක හිච් වෙන්ට කැමතිද?" කියල.
ඒ වගේ උත්තරේකින් උත්තමයෝ අධෛර්යමත් වෙන්නෙ නෑ.
"කියපන් උඹෙ නම, ගම, ඉස්කෝලෙ, තාත්තගෙ රස්සාව". දවසක එක උත්තමයෙක් ප්‍රියාට කීව.
"කියපන් උඹෙ නම, ගම, ඉස්කෝලෙ, තාත්තගෙ රස්සාව". දවසක එක උත්තමයෙක් ප්‍රියාට කීව.
ඉතින් ප්‍රියා අනුපිළිවෙලට ප්‍රශ්න
පත්තරේට නිවැරැදි උත්තර සපයනව. මම
එයාගෙ කණට කරලා,
" තාත්තා
සාරවිට වෙළෙන්ඳෙක් කියන්න" කියලා කීව.
ඒ ජ්‍යේෂ්ඨ උත්තමයා ඒක විශ්වාස කළා. ඒ උත්තමයටත් අර
මිදි ඇඹුල් කීව හිවලට වගෙ නිදහසට කාරණාවකුත් හම්බවුණා.
"ඒකි
ලස්සන වුණාට තාත්තා සාරවිට කාරයෙක්ලු බං", කියලා එයා අනිත්
ශිෂ්‍යයින් එක්කත් කියලා තිබුණ.
රැග් සීසන් එකේ ඉඳලම, ප්‍රියා පස්සෙන්
වැටුණ උත්ත්තමයො අතරේ, හේරත්ලා හත් දෙනෙක් හිටියා,
සම්භාවිතා න්‍යායට පටහැනිව. ප්‍රියා ඒ හැමෝටම කීවෙ, "මට ගමේ බෝයි කෙනෙක් ඉන්නව" කියලා.
එයාට එහෙම කෙනෙක් හිටියෙ නෑ.
“ප්‍රියා, හරි වැඩක්නෙ මේක! හේරත්ලා රොත්තක්මනෙ පොරකන්නෙ" දවසක මං කීව.
"ඔයා කියන්න,
බෝයි කෙනෙක් ඉන්නව කියලා. එයාගෙ නම,හිතුන නමක් කියන්න. ඔයාගෙ
අයියලා මල්ලිලාගෙ නම් වුණත් කමක් නෑ. ", මම කීව.
ඉතින් ඊට පස්සෙ ප්‍රියා, එක උත්තමයෙකුට කියනව එයාගෙ බෝයිගෙ නම "සුනිල්" කියල. ඉක්මණින් නමක් කියන්ට ඕන නිසා ප්‍රියා, එයාගෙ
සහෝදරයො හතර දෙනාගෙ නම් වලින් කටට ආව නම කියනව. සරත්! සුනිල්! සමන්! සිසිර!".
ඇය මාරුවෙන් මාරුවට කියනව.
" කියපන්
උඹේ ගමේ එකාගෙ ඇත්තම නම?"
ඒ වෙලාවෙත් ප්‍රියා මුලින් කීව නම වෙනුවට වෙන නමක් කියලා. අර උත්තමයා හොඳටම බැන්නා.
ඒ වෙලාවෙත් ප්‍රියා මුලින් කීව නම වෙනුවට වෙන නමක් කියලා. අර උත්තමයා හොඳටම බැන්නා.
ඉතින් ඒ ජ්‍යේෂ්ඨයා, ප්‍රියාට දබරඟිල්ල උරුක් කරලා, "මීට පස්සෙ කවුරු
හරි උඹෙ නම ඇහුවොත් කියපං, උඹේ නම අනුලා දේවීය කියලා. ඇහුනෙයි? ගමේ එකාගෙ නම ඇහුවොත් කියපං "දරමිටියාය කියලා. හරියැ? " කීව.
ප්‍රියා හොස්ටල් එකට ඇවිල්ලා හොඳටම
ඇඬුව. කොටිදෙනක් වගේ මං දිහා රවාගෙන ඉඳලා "
ඔයාගෙ ලණු කාලා මට දැං ඇතිවෙලා" කියල මට බැනවැදුනා.
කොහොම හරි, ගමේ පෙම්වතෙකු සිටින බව විශ්වාස කළ හේරත්ලා කීප දෙනෙක් වරින් වර තරඟයෙන් ඉවත් වුණා. තව තුන් දෙනෙක් උත්සාහය අත නෑර අන්තිම මොහොත දක්වා තරඟයේ රැඳී හිටියා. ඒ අය හැම දවසකම මඟ රැක සිට ප්‍රියාගෙ හිත දිනා ගැනීමට් උත්සාහ කළා.
"ම්හු! ඒකෙන්
ඔයාගෙ අකැමත්ත හරියට කියවෙලා නෑ. මොට්ටී, කියපං වලහැඩියන්ට මම කැමති නෑ කියලා" මං කීව.
"එහෙනම් ව්‍යංගෙන්
කියපං"
"ඒ කියන්නෙ?
"ඒ කියන්නෙ
මෙහෙමයි, “සූප්පා දේවි වගෙ කෙල්ලො කැමති වුණෙත්
සිංහයෙකුට. මම කොහොමද කැමැති වෙන්නෙ වලහෙකුට?" කියන්න.
ප්‍රියා ඒක හේරත්ට කියලා!
කොහොම හරි ඊට පස්සෙ "වලස් හේරත්", ප්‍රියා ගැන කරදර වුණෙ නෑ.
නමුත් පහු කාලෙදි "වලස් හේරත්"අපේ බැච් එකේ ලස්සන කෙල්ලෙක් එක්ක hitch වුණා. අන්තිමට ඉතුරුවුණ හේරත්ලා
දෙන්නගෙන්, කෙනෙක් එක්ක ප්‍රියා hitch වුණා.
ඔන්න එක දවසක, අහම්බෙන් වගේ ප්‍රියා තනියම එද්දි "strike" ගහ හරියෙදි ප්‍රියාට මැච් එකේ "last man“ මුණ ගැහිලා.
ඔන්න එක දවසක, අහම්බෙන් වගේ ප්‍රියා තනියම එද්දි "strike" ගහ හරියෙදි ප්‍රියාට මැච් එකේ "last man“ මුණ ගැහිලා.
"ප්‍රියා, කවද හරි ඔයාට හේරත් එපා වුණොත් හරි, හේරත්ට ඔයාව එපා වුණොත් හරි මට කියන්න
හොඳේ. මං ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නව", කියල අන්තිම හේරත් නැත්නම් හත්වෙනි හේරත් බොහොම දුක හිතෙන විදියට කීවලු.
හේරත්ලම
හත් දෙනෙක්, එකම කෙල්ලෙකුට සරසවි ප්‍රේමය පුද කරපු එකත් විරල සංසිද්ධියක්! ඒ නිසා අපේ සරසවි සෙට් එක, ඒ කියන්නෙ
"රාමනාදන් හතේ කල්ලිය" ප්‍රියාව හැඳින්නුවේ, "හේරත්ලාගේ පෙම්වතිය" කියන අන්වර්ථ
නාමයෙන්. පහු කාලෙක ප්‍රියා, එයාගෙ සරසවි පෙම්වතා හේරත් එක්ක විවාහ වුණා. කොහොම වුණත් හේරත්ලා හත් දෙනෙකුටම ප්‍රේමයේ පොදු සාධකය වුණේ ප්‍රියා!
එදා මෙදාතුර බොහෝ
දෙනෙකු අතින් ගිළිහුණ, සරසවි ප්‍රේමය ගැන, නැත්නම් ප්‍රේමයේ අපූර්වත්වය සහ එහි ඇති අත්‍යන්ත
විරහව ගැන කවි ගීත ලියැවෙනව. ඒවා අහලා ඒ ආදී ප්‍රේමවන්තයින් හූල්ලනව. වියළි සුළඟට මුසුවුණ ඒ සුසුම් වැල් වල උණුසුම දැනුත් දැනෙනව විඳිනව. මනුස්ස ස්වභාවයේ හැටි එහෙමයි. තමන්ට හතර මහ නිධානය පහලවෙලා තිබුණත් අර මිටෙන් ගිළිහුණ ගැම්මකට නැති අබ ඇටයක් මත්තේ ඉළව් දරාගෙන ඉන්නව.
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment