Friday, 12 May 2017

අන්වෙසක්

තොරණ බඳිනවා දන්සල් දෙනවා
කුවේරයින් පාරමී පුරනවා
සැදහැති බෝසත් රජ මැතිවරුනට​
පුරවැසි ජනයා පින් පුරවනවා

විශාකා තුමූ දොර දන් දෙන කොට
අම්බපාලිලා නුවර සරනවා
කිසාගෝතමී මළ දරුවන් ගැන​
කන්‍යාවන් ගෙන් පේන අහනවා
ඇඳිවත නැතිවම​ තිඹිරි ගෙයින් බැස
සිපිරි ගෙවල් ළඟ​ අබ ඇහිඳිනවා

පටාචාරලා මං පෙත් ගානේ
ඉණ ඉහ විකුණා කාසි හොයනවා
ජීවක ඔසු දුන් ගෞතම වෙදදුරු
වැඩ-හිඳි ආ-ගිය තැන් විමසනවා

සුවිසල් පහවල බුමුතුරුණින් වැඩ​
සිටු දරුවන් හට​ පවන් සලනවා
සූවිසි බුදුවරු පිරිත් නූල බැඳ               
රන් පා ධාතුවෙ දන් වළඳනවා

අතමිට නැතිවුන් කුස පොතු උදෙසා
දන්සල් දොරකඩ  පේළි හැදෙනවා  
ඉඳුල් බොජුනකට වරුවක් ගතකර
දන්දෙන උතුමන් නිවන් යවනවා   

අටපහ නොමදත් කෙළතොල්ලන්‍ රැල
දම්සක් පැවතුම් වැසි වස්සනවා
පුරවැසි දුගියෝ සිත් පහදාගෙන​
සාදුකාරදී  නිවන් පතනවා 


මල්ලිකා එම්. බණ්ඩාර​ 

12. 05. 2017 

Tuesday, 2 May 2017

තුරුණු පෙම් පතක්!


කියන් මම නුඹට දුන් පුංචි සුදු ලේන්සුව​
වහන් කර තියා ගත්තද ඇසක​ නොගැටෙන්න​
මා අතින් නිමා කළ රෝස මල් පෙති අතර​
ලියා ඇති " M " කියා මගෙ නමේ මුල් අකුර​

හමුවෙන්න බැරි නිසා දිනක​ අතරින්     පතර​
තැති ගනියි ඔබ​ මගෙන් දුරස් වේයයි    නිතර
පිළිසිඳුන​ පෙම වටින​ නිසා මහමෙර      විතර
එපා අමතක කරන්නට ගියත් දුරු        කතර​

ඔබෙ සිනා පොදක තෙතමනය නැති මානයේ
ලොබ බඳිමි උණුහුමට​ මියුරු       ගිම්හානයේ
මුදු සුවඳ දැවටෙනා ඇස ගැටෙන      මානයේ
රෝස මල් යායක්ම පිපුණි          සන්තානයේ

අතින් අත පටලාන​ ඇවිද   ගිය​ ​     සන්දියේ       
නෙතින් නෙත කළතාන​ කිමිඳ ඉඳුනිල්දියේ
අහම්බෙන් හමුව වෙන්වුණ සිහින අඩවියේ
යළිත් හැකිනම් ඉන්න  කිඳුරු පාසල්  වියේ

මල්ලිකා එම්. බණ්ඩාර

18.03. 2017

අයෝමය ගැහැණිය සන්ධ්‍යා

Honour of Sandya Eknaligoda,the  recipient of International Women of Courage Award

දුක්විඳින ගැහැණු දැක​ බුරුල්ලට කිරිඑරුණ
හෙවන් හෝ නිවන් දොර විවර කරවන වහන​
කාන්තා නිදහසේ ගැලවුම්කාරියන්
කාන්තා අයිතියේ අසහාය සෙබළියන්
නුඹ සමඟ​  එක පෙළට එකට හිටගන්ට
නේන​ කාරණේ  නම් අනේ මං දන්නේ නෑ 

වෙහෙර මහ දේවියන් කොළොම්පුර දස අතේ
ඉටිපහන් අතින් ගෙන​ උයන් දොර​ වටලතේ
කටේ කෙල බිඳක් නුඹ නිසා නොහෙලනා මුත්
කිඹුල් කඳුළක් එතැයි උන්ගෙ නෙත් හිමවෙලා 
යොදුන් ගණනක්ම හති එලා​​ මුතු පොකුරකට
අයෝමය ගැහැණියක් හිඳී කඳු සිඛර මත​

හිතූලෙස දිය කෙළිය​ නුඹෙ කඳුළු ගඟ​ දිගේ
උඩු අතට පීනාපු නුඹෙ සුසුම් වැල් දිගේ
බොරදියේ මාළු බානා උන්ට එරෙහිවී
නැඟී සිටි  සත්‍යයේ ඉන්ද්‍රඛීලය නුඹයි!
අසාධාරණය සැඩ සුළඟවී හමන සඳ​
යුක්තියම ලුහුබඳින නිසල මහමෙර නුඹයි!

කුරුස ගහ උරතියා ගෙන තනිව මංපෙතේ
කල්වාරි කන්ද තරණය කරන නුඹෙ වතේ
කඳුළු බිඳු වියළන්න දූලි සුළඟට        එතේ
මහමෙරත් සසල විණි දහිරියට නුඹෙ​ හිතේ

අදිටනින් හිඩැස පියවනුව​ දිවි මුතු පොටේ
පිළිපන්ව නොනැවතී හඹා ගිය මඟ තොටේ
ඉකිබින්ද වැලහින්නියක වගේ ලෙන් ගැබේ
නුඹේ දුක් ගිනි ගොඩට මිලක් නියමව තිබේ


මල්ලිකා එම්. බණ්ඩාර​

31.03 2017

Monday, 1 May 2017

අසිරිමත් කම්කරු දිනය​!

ගත රුහිරු දිය කෙරූ
වැඩකරන මිනිසුන්ගෙ
කඳුළු දහදිය බිඳට මිලක් ලද
අභිමානවත් මොහොත සිහිකරන
මැයි දිනේ”,
අදත් උන් සැහැසි ලෙස
අපෙ දවස පැහැරගෙන !

රතු දජය වෙනුවට වයිවාරන්න
කොඩි වනා මොර දුන්හ
බත් මුලත් රහමෙරත් ඇමට ලා
බිලීබාගත් අපේ පන්තියේ දිළින්ඳෝ!

ළය පැළීයන්ට පෙර පහන් සංවේගයෙන් 
කාරුණිකවී අපට​ පිනට දුන් වරමක්ලු
"පැය  අටේ වැඩමුරය!"
වේදිකා අටලු මත විදුලි පංකාව ළඟ​
පාරම්බා සව්දිය පිරූහ​ නිරින්ඳෝ!

උන්ගෙ කුණු කෙල පිඩට
වහ වැටුන පුලන්නෝ
පසඟ​ පිහිටුවා වැඳ
හිඳ​ සෙමර සලන්නෝ!

ලොවිති මිරිවැඩි සඟල
හලති ගුණ ගී කසළ​
වන්දිභට්ටයෝ කැළ​
පසසාය මැතින්ඳෝ !

සිපිරිගෙය උරුමකර අපෙ පන්‍තියේ උන්ට ​
පරවේණියට ලියා වහල්කම නොරටුන්ට​
හෙට්ටු නොකරම ලන්සු තියා කුණුකොල්ලයට
අපේ ඉරණම වික්ක​ සදෙව් ලොව සුරින්ඳෝ

එලා රතු පලස් පාවාඩ මුතුකුඩ යටින්
දුලා සුදු සකක් සේ පසඟ තුරු ගොස වටින්
විඳින්නට අපේ දහදිය සුවඳ සිත් තුටින්
බලාපල්ලා අන්න වඩින රඟ​  ,
මැයි දිනේ සමරන්ට 
මැති ඇමති රජින්ඳෝ!

මල්ලිකා එම්. බණ්ඩාර​ 
01.05. 2017