Monday, 1 May 2017

අසිරිමත් කම්කරු දිනය​!

ගත රුහිරු දිය කෙරූ
වැඩකරන මිනිසුන්ගෙ
කඳුළු දහදිය බිඳට මිලක් ලද
අභිමානවත් මොහොත සිහිකරන
මැයි දිනේ”,
අදත් උන් සැහැසි ලෙස
අපෙ දවස පැහැරගෙන !

රතු දජය වෙනුවට වයිවාරන්න
කොඩි වනා මොර දුන්හ
බත් මුලත් රහමෙරත් ඇමට ලා
බිලීබාගත් අපේ පන්තියේ දිළින්ඳෝ!

ළය පැළීයන්ට පෙර පහන් සංවේගයෙන් 
කාරුණිකවී අපට​ පිනට දුන් වරමක්ලු
"පැය  අටේ වැඩමුරය!"
වේදිකා අටලු මත විදුලි පංකාව ළඟ​
පාරම්බා සව්දිය පිරූහ​ නිරින්ඳෝ!

උන්ගෙ කුණු කෙල පිඩට
වහ වැටුන පුලන්නෝ
පසඟ​ පිහිටුවා වැඳ
හිඳ​ සෙමර සලන්නෝ!

ලොවිති මිරිවැඩි සඟල
හලති ගුණ ගී කසළ​
වන්දිභට්ටයෝ කැළ​
පසසාය මැතින්ඳෝ !

සිපිරිගෙය උරුමකර අපෙ පන්‍තියේ උන්ට ​
පරවේණියට ලියා වහල්කම නොරටුන්ට​
හෙට්ටු නොකරම ලන්සු තියා කුණුකොල්ලයට
අපේ ඉරණම වික්ක​ සදෙව් ලොව සුරින්ඳෝ

එලා රතු පලස් පාවාඩ මුතුකුඩ යටින්
දුලා සුදු සකක් සේ පසඟ තුරු ගොස වටින්
විඳින්නට අපේ දහදිය සුවඳ සිත් තුටින්
බලාපල්ලා අන්න වඩින රඟ​  ,
මැයි දිනේ සමරන්ට 
මැති ඇමති රජින්ඳෝ!

මල්ලිකා එම්. බණ්ඩාර​ 
01.05. 2017  

No comments:

Post a Comment