Tuesday, 26 December 2017

බෙත්ලෙහෙම් උදානය​

පිපී ලෙළදෙන සුවඳ කුසුමක
හැපී එන මඳ නල පොදින්
ගොපලූ ගීයක ළපටි දෙතොලක​
සිනාවක්සේ මුදු නදින්

නිවා සනසන පිණිස සරතැස​
දියත්තක්වී මිහි බඳින්
නිවත්දන සිත් දොවාලූයෙන්
බෙත්ලෙහෙම් පුරවර මැදින්

අතරමංවී  සරණ පතනා
දිවි කතර දුක වළඳමින්
මිනිස් වග සුවපත් කරන්නට​
ගඟක්සේ ගලනා හදින්   

සාමයේ අරුණළු විදාහළ
අවිදු ගනඳුරු වන රොදින්   
ප්රේමයේ සත්සර වයන්නට ​
සමිඳ හද අඹරට වඩින්


මල්ලිකා එම් බණ්ඩාර​

25. 12, 2017


Sunday, 17 December 2017

අම්මා


කැටපත් පවුරේ ගී පදයක්සේ
සිතිවිලි පව්වේ ලියවෙනවා
ඒ ගිරි බෙයදේ ඇඳි සිතුවම්සේ
මහද අරා නුඹ වැජඹෙනවා

තිසා වැවේ නැඟි රළ පතරක්සේ
සෙනෙහස් සිහිලෙන් දෝවනවා
ඒ රළ මත රැදි මුදු පවනක්සේ
මසිත නිවාලා සනසනවා

බක් මාසේ පිපි සපු දුනුකේ මල්
සුවඳ පොදක්වී දැවටෙනවා 
ඇහැළ මහේ පුර පසළොස්වකදා
සඳපත සේ නුඹ  හිනහෙනවා 

නිම්මා නැති දුක් විඳ විඳ වෙහෙසී
දස පෙරුමන් පිරු අපෙ අම්මා
සංසාරේ ඉම තරණය  කරනා
බුදු බණ පදයයි අපෙ අම්මා 

මල්ලිකා එම් බණ්ඩාර​
17. 12. 2017


Tuesday, 12 December 2017

නිරායුධ සෙබළිය



නිහඬ රෑ මැදියමේ ගන අඳුරු කුටිය තුළ​
යන්තමට වැනෙද්දී කැකුණ තෙල් පහන් සිළ​
ගෙදර දෙවනත් වෙන්න​  හඬාගෙන උපන් මුත්
ළමා විය යොවුන් විය​ හැමතැනම තහංවිය

නටා කෑකෝ ගසා නිසල බව​ බිඳින්නට​
හිතේ ආසා බෝය​ නැවුම් ලොව​ විඳින්නට
ගුරුගෙදර අණ පණත් දඬුකඳේ ගසනු දැක​ 
ගොළු වුණා කෙළි කවට සිනා නැති ඉසව්වක​

කුල සිරිත් හරස්වී රජදහන​ බිඳෙන​ කොට
සනුහරේ බලමුළුව​ අවි දරා හඹනවිට​
දහ අතේ පිළින දුන් පණ වගේ රකින්නට​
නුඹත් ඔච්චම් කළා නිරායුධ සෙබළියට​  

ඉල ඇටෙන් නිමාවුණ නිසා වහළියක ලෙස​
පරපුරෙන් පරපුරට දරාගත යුතුද දුක​?
හඬක් නැති ගැහැණුකම සිරගතව හිඳිනු දැක​​
නියත මරණෙට බියෙන් ගොළුව මිය යායුතුද​ ?

මල්ලිකා එම් බණ්ඩාර​


12.12. 2017

Monday, 11 December 2017

මාල ගිරවී 12 වන කොටස​

මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

මා සිතා සිටි ආකාරයෙන්ම​ මගේ විභාග ප්‍රථිපල එතරම් ප්‍රසංශනීය නොවිණි. උසස්පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා මා සුදුසුකම් සපුරා නොතිබිණි. එනිසා මට කලා විෂය​ ධාරාව තෝරා  ගැනීම අනිවාර්‍ය විය​. ඒ ගැන මම අවංකවම සතුටුවීමි. මගේ විභාග ප්‍රතිපල එන්නට පෙර සිටම මම අම්මලාගේ හිත හැදෙන්නට කරුණු කාරණා ගොනු කරන්නට උපක්‍රම ශීලී වීමිවිභාගය අමාරු බව නිතර කන්කෙඳිරි ගෑම නිසා ඇතැම්විට අම්මා ගෙන් බැණුම් අහන්නට සිදුවුණත් පුංචි අක්කාට තරම් මා කෙරෙහි උරණ නොවුණේ ඇයිදැයි මම නොදනිමි.

ලොකු අක්කා ගෙදර ආ ඒ සති අන්තයේ අම්මාත් තාත්තාත් මහත් උද්යෝගයෙන් වරුණ ගැන කතා කරනු අසන්නට ලැබිණි. අම්මා සහ තාත්තාගෙන් අසන්නට ලැබුණ සියලුම දේ ඒ ආකාරයෙන්ම ලොකු අක්කා විසින් පිළිගනු ලැබුවායැයි සිතන්නට මම මැලි වීමිඅහසෙන් කඩා වැටුණා වගේ මේ හදිසියේම පාත්වුණ අරුමය ඇයට ඇදහිය හැකිවූවාදැයි මම නොදනිමි. 
ඇසූ ප්‍රවෘත්තිය ගැන​ ඇය වැඩිපුර උනන්දුවක් නොදැක්වූ බව පෙනෙන්නට තිබිණි. ජනක විසින් සපයන ලද තොරතුරු ගැන ඉඟියක් ලොකු අක්කාට දියයුතුයයි මට සිතුනේ මේ අද්භූත නිහඩතාව බිඳින පිණිසය​. ඒත් ඉතින් කුමන මූලාශ්‍රයෙන් මට තොරතුරු ලැබුණා යයි කියන්නටද​? මම නිහඬතාව නොබින්ඳෙමි.

"කොහොමද ධම්මික මහත්තයලා එහෙම​?" තාත්තා විසින් හදිසියේම ලොකු අක්කාගෙන් අසන ලදී.
"ඔය ඉන්නෙ. මට එක එක්කෙනා ගැන හොය හොයා ඉන්න වෙලාව්ක නෑ". අක්කාගේ පිළිතුර ඕනෑවට එපාවට යයි මට සිතුණි. තාත්තාද විමසිල්ලෙන් අක්කා දෙස බලා සිටියේය​.
"මට තව මාස හයකටත් අඩු කාලයක් තියෙන්නෙ විභාගෙට​…"
"ඒක මිසක්". 
තාත්තා ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වුණා විය හැකිය.​
"විභාගේ ඉවරවුණ ගමන් ජොබ් කට්ටක් හම්බවුණොත්!"
 තාත්තා කී දෙය  නෑසුනාක් මෙන් ලොකු අක්කා කීවාය​​.
"ධම්මික මහත්තයටවත් කියලා බැලුවෙ නැද්ද​?"
"පිට මිනිස්සුන්ට පිංසෙන්ඩු වෙන්ට බෑ තාත්තා".
ලොකු අක්කා ඇල්මැරුණ ස්වරයෙන් කීවාය.​
නමුත් වෙනදා මෙන් ඇය බෝඩිම ගැන තොර තෝංචියක් නැතුව කතා කළේ නැත​. "දැනුමෙන් බුධියෙන් වියපත්වීම​" නිසා ඇය එසේ හැසිරෙන්නට ඇද්ද'යි මම අනුමාන කළෙමි.
සචිරගෙත් කට විතරයි. මං දැනගෙන හිටියා ඔයා විභාගේ ඇන ගන්නවා කියලා. අම්මලාගෙ ඇස් වහලා මෙයා විකාර කරලා තියෙන්නෙ මං හිතන්නෙ
කාටත් ඇසෙන්නට කී ලොකු අක්කා මා දෙසට හැරී සිහින් හඬින් කරලා තියෙන වැඩ මං දන්නවා ” යි කීවාය​.

අන්තිමේදී ලොකු අක්කාම සංවාදයට තුඩුදියහැකි මාතෘකාව තෝරාගත්තාය​!
බැලූ බැල්මටම​ ලොකු අක්කා ගෙන් ලැබුණේ අනපේක්‍ෂිත ප්‍රතිචාරයකි. මං හිතාගෙන හිටියේ බැණුම් මල්ලක් අහන්නටය​. නමුත් ඇය බැන්නේ නැත​. මේ සංහිඳියාව පිටුපස කුමක් හෝ දැවැන්ත රහසක් සැඟවී ඇති බව පෙනෙන්නට තිබුණත් ඒ කුමක්දැයි හරි හැටි අවබොධයක් ලබා ගැනීම අසීරු විය​.

කොයි හැටි වුණත් ලොකු අක්කා ඕනෑවටත් වඩා කලකිරී ඇති බව දක්නට ලැබිණි. පවුල පිළිබඳව ලොකු අක්කා විසින් නිර්මිත අනාගතය බොඳවී ගොස් ඇතැයි ඈ සිතන්නට ඇත​. පුංචි අක්කාද ප්‍රේම සම්බන්ධතාවක පැටලී ඇතැයි දැනගත් පසු සාමාන්‍ය ස්වරූපය අනුව නම් ලොකු අක්කා උරණ වියහැකිව තිබිණි. නමුත් ඇය අසාමාන්‍ය නිහඬතාවයක ගැලී සිටියාය.

අක්කලා ගැන ප්‍රසිද්ධ රහස් ඇති බව ජනක වරක් දෙකක් ඉඟි කර තිබුණි. ඒක හරියට​ නිසල දියකට ගල් කැටයක් ගැසූ විට ඇතිවන කැලඹිල්ලක් හා සමාන විය​. ජල තලය සසලවී, එකක් පිටුපස එකක් ලෙස තල්ලුවී යන දිය රැල්ලක් මෙන්, මතුවී  එකිනෙකට සම්බන්ධ වුණ අනන්ත රළ පෙළක් බවට පත්ව ඇත​. 
ජනක විසින් නොහොබනා දෙයක් කර ඇතයි මට සිතුනද​, සැබවින්ම වරදකරුවෝ අපම නොවේද​? ලොකු අක්කාත් පුංචි අක්කාත් ගැන අපේ පවුලේ අය දන්නවාට වඩා  බොහෝ දේ ජනක දැන සිටිබව පෙනෙන්නට තිබිණි​.

මුලින්ම මා කිසියම් භීතියක් ලැජ්ජාවක් වැනි හැඟීමකින් වෙළීගිය අතර​  ඒ දැන සිටි සියල්ල යහපත් ආරංචි නොවීම මගේ හිතට මහත් බරක් විය​. ඒ නිසා ජනක දන්නා සියල්ල හෙළිකරන ලෙස මම ජනකට​ බල කළෙමි.තරමක් අදිමදි කිරිමෙන් අනතුරුව ඔහු විවෘත වන්නට විය​.
මගේ දැඩි ඇවටිල්ල නිසාම ජනක විසින් පූර්වාපර ගලපා ඒ කතාන්තර මා ඉදිරියේ දිග හරින ලදී. ජනකගේ සවිස්තරාත්මක කථනය මා අසා සිටියේ මහත් සංවේගයෙනි. ඒ තරම් ආත්මශක්තියක්, ආත්ම දමනයක් මා තුළ සැඟවී තිබුණායයි අදහන්නට පවා අසීරුය​. මහ හඬින් හඩන්නට තරම් ආවේගයකින් මගේ හිත පුපුරු ගසන මුත් මම හිත දැඩි කර ගතිමි. ඇඬීමෙන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට වඩා ඇතිවි තිබෙන තත්ත්වයට මුහුණ දිය හැකි විධියක් ගැන කල්පනා කරන එක වටී.

ජනක කියන දේවල්දේව වාක්‍යයක් අදහන්නාක් මෙන් නොවුණත් මට ඒ සියල්ල විශ්වාස කළ හැකිවිය.​ අක්කලාගෙන් ප්‍රශ්න කරන්නට තරම් ආත්ම ශක්තියක් මා සතු නොවුණත් ඇතිවෙමින් තියෙන විනාශය නැවැත්වීම හෝ ඊට ගොදුරු වීම යන දෙවැදෑරුම් අන්ත දෙක අතර මම හිරවී ඇති සෙයකි. 
මේ ඔක්කොම දැනගත්තේ කොහොමදැයි ජනකගෙන් අසනවාට වඩාමේ සියල්ල මෙසේ සිදුවුණේ කොහොමදැයි සිතන්නට මට අවශ්‍ය විය​.  මනුස්ස ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි අත්දැකීම් ලැබුවේ අපේ අක්කලා නොවනබව ඇත්තකි. ඒ වුණත් පුංචි අක්කා පිළිබඳ සැබෑතත්වය ලොකු අක්කා සමඟ කතා කරන්නට මම පසුබටවීමි. ඊටත් වඩා ලොකු අක්කාත් ධම්මික අයියාත් අතර පැවැති සම්බන්ධයට යම්දෙයක් සිදුවී ඇතැයි මම අනුමාන කළෙමි.  
ඇයද සිටින්නේ ඒ බර දරාගෙනය​. ඇගේ මුහුණ මත ලියැවී තිබුණේ වෙනදා තිබුණ ආඩම්ඹරකාර හිනාව නොව බිඳීගිය බලාපොරොත්තුවක නටබුන් යයි සිතන්නට හොඳටම ඉඩ තිබිණි. ඒ තේජවන්ත මුහුණ ශෝකාකූලය​. ​​අර්ථ ශුන්‍යය. 

"ඔය කියන ඉංජිනේරුවා නිතර එනවද මෙහෙ?"
"ඔව්! සමහර දවස් වලට නතරවෙලත් ඉඳලා තියෙනවා". අම්මා පිළිතුරු සැපයුවාය​.
"බෝඩිංකාරයෝ තියා ගත්තා වගේ නෙවෙයි ඔන්න​. අම්මලා ටිකක් හොයලා බලන්ට කවුද කින්ද මන්ද කියලා".
"ඔය ගම්පොල දිහා තේවතු එහෙම තියෙන මිනිස්සු කියන්නේ. රට යන්ට ඉඩමකුත් විකුණනවලු".
ඉඩකඩම් තියෙන මිනිස්සු නං රට යන්නෙ ඇයිඅනික් අතට තේ ඉඩම්වලින් ආදායම තියෙනවනං ඇයි ඉඩම් විකුණන්නෙ?”.
"අපිට ඔය ඉඩකඩම් වාගෙ දේවල් ගැන හාර හාරා අහන්ට පුළුවන්ද නීලිකා?"
අම්මලාටත් ඉතින් ඉංජිනේරුවෙක් කීවම සිහියක් පතක් නෑ.
"මටනං හිතෙන්නෙ වරුණ කොහෙදො යන හොරෙක් කියලා". තුරුම්පුව අතේ තියාගෙන මම කතාවට අලගු තැබුවෙමි.
අම්මා ව්‍යාග්‍ර බැල්මක් හෙළුවාය​.
"මම කියන්නෙ මට හිතෙනදේ".
මම දඩබ්බර ස්වරයෙන් අම්මාගේ බැල්මට ප්‍රතිචාර දැක්වූවෙමි.
ඊළඟ සැරේ ආවම අම්මලා කතාකරලා දෙකෙන් එකක් තීරණය කරන්ට​. මං එනකං බලාගෙන ඉන්ට එපා. දැන් සළිලටත් රස්සාවක් තියෙන එකේ ඕක ඉවරයක් කරලා දාන්ට​,
නැත්තං හෙමින්ම මාරුවෙනකං දන්නෙත් නැතිවෙයිදැන් ඉන්න මිනිස්සු විශ්වාස කරන්ට අමාරුයි. මහ අන්ඩපාලයෝ".
"ඇයි නීලිකාට කවුරුවත් මොකවත් කීවද වරුණ මහත්තය ගැන​?"
තාත්තා තිගැස්සුන ස්වරූපයෙන් අක්කාගෙන් ඇහුවා.
"මට කියපු දෙයක් නෑ. ඒවුණත් ගෙදර යන්ට එන්ට ගියාම කතා හැදෙනවා".
තාත්තාත් අම්මාත් මුහුණින් මුහුණ බලා නිහඬ වුණා මිස කිසිවක් කීවේ නැත​.
මටනම් කිවයුතු බොහෝදේ තිබුණි. ඒත් මම නිහඬ වීමි.
"දැන් මේ උක්කුංදුව ගැන මොකද නිලීකා කියන්නෙ?".
"එයාටත් කැමති දෙයක් කරගන්ට​ ඉඩ දෙන්ට තාත්තා". කැමතිනං දෙවැනි සැරේ විභාගෙට ලියන්න​. නැත්තම් ඔය ප්‍රතිපල වලින්  එයාට පුලුළුවන්දේ තෝරා ගෙන කරන්ට අරින්ට"​.

ලොකු අක්කා බෙහෙවින් ස්වාධීන වී ඇතයි මම සිතුවෙමි. ඒත් අම්මාත් තාත්තාත් අක්කාගේ තීරණය ගැන ප්‍රසාදයක් නැති බව පෙනෙන්නට තිබුණි.
 "එහෙම කියලා පුළුවන්ද ලොක්කියේ?"
තාත්තා මහත් අසරණ ස්වරයෙන් ඇහුවෙ.
උක්කුංදුව ගෙදර ආවෙලාවේ ඉඳලා කුම්බකරණය වගේ නිදාගන්නවා මිස හරි හමන් වැඩක් කරේ නෑගෙදර වැඩකට අත් උදව්වක් දුන්නෙත් නෑ. ඉස්කෝලෙ වැඩ හරියට කරලත් නෑ. ​
අම්මා ආඩාපලි කීවාය​.
"මමනං හිතාන හිටියෙ එක්කෙනෙක් හ​රි විද්‍යාවෙන් ඉහලට යවන්ට​" තාත්තා දුක්බර හඬින් කීවේය.

ලොකු අක්කා උපහාසයෙන් අම්මාත් තාත්තාත් දෙස මාරුවෙන් මාරුවට බැලුවා මිස දෙමව්පියන් ගේ හිත රිදවන්නට වේයයි යමක් නොකියන්නට වගබලාගත්තාය​. 

“කලා විෂය ධාරාව තෝරාගත්තොත් මං ඔයාට A හතරක් ඇතුව විභාගෙ පාස් වෙන්ට උදව් කරන්නං. පිං සිද්ධවෙයි ඒකවත් හරියට කර ගන්ට​. නැත්නං ගැලවීමක් නෑ සචිරා. හරිද​? කීවා මිස, ඔය සම්බන්දෙ නතර කරන්ට සචිරා යි ලොකු අක්කා කීවේ නැත​​. එය මහත් සහනයක් විය​.

දෙවන වරටත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය යුතුයයි ගෙදරින් කළ පෙරැත්තය ඉවත දැමූ මම ලබන වසරේ ඇරැඹෙන උසස්පෙළ පන්ති සඳහා කලා අංශය තෝරාගත යුතුයයි දැඩිව තීරණය කළෙමි.  මා ගන්නා තීරණය දෙස නිහඬව බලා සිටියා මිස, ජනක බලපෑම් කළේ නැත​.

  
මීළඟ කොටස නුදුරේදීම​...

Tuesday, 5 December 2017

ජීවිතය​


මිට මෙලෝගෙන වුණත්
සඳුන් හරයක් අතේ
අරන් ආ කෙනෙක් නැත​
ඇතොත් මිස බණ පොතේ 

මිහිමඬල​ පිඹින ලද​
ජීවනේ සුළං පොද
උරාගෙන මඳින් මඳ​ ​ ​
නාඩි වැටුණා හෙමින්
හිරු සඳුගෙ කිරණ වැද

නූල් පටකුදු නැතිව
ප්‍රජාපති මුවගැබින්
ලොවට පිළිපන් බවයි 
ආ දොහේ ඉඳලාම 
දවුල් හොරණෑ වයා 
මොරගසා කියන්නේ

නින්ද ගම්, පැළැන්තිය
වරිගෙ වංහුංම​ මිස​ 
මිලක් නැති මිනිස්කම 
කිම කිරා මැන බලන්නේ 

අද ඇවිත් හෙට යන්ට​
ආපු මේ කෙටි ගමන
වංකගිරියක වගේ
ඔහේ වලමත්ව හිඳ​ ​
ආපු කාරණා ගැන​
නොදැන අබැටක් පමණ​
හෙට දිනේ පිටත්වී 
හිස් අතින් යන්න​ටයි 
මේ වතාවෙදිත් අපි
පිඹුරු පත් අඳින්නේ

ජීවිතය ගඟක් නම් 
එය ඔහේ ගලනු ඇත​
ගලාගෙන යන ගඟට
නිමාවක් ඇවසි නැත​
ගඟේ දියවර වගේ
රළු පොළොව මෙළෙක් කර ​
බිඳෙන් බිඳ එකතුවී
යම් දිනක ජීවිතේ
මහ සයුර හැදෙනුඇත​                

  
මල්ලිකා එම් බණ්ඩාර​


 5. 12. 2017