Tuesday, 5 December 2017

ජීවිතය​


මිට මෙලෝගෙන වුණත්
සඳුන් හරයක් අතේ
අරන් ආ කෙනෙක් නැත​
ඇතොත් මිස බණ පොතේ 

මිහිමඬල​ පිඹින ලද​
ජීවනේ සුළං පොද
උරාගෙන මඳින් මඳ​ ​ ​
නාඩි වැටුණා හෙමින්
හිරු සඳුගෙ කිරණ වැද

නූල් පටකුදු නැතිව
ප්‍රජාපති මුවගැබින්
ලොවට පිළිපන් බවයි 
ආ දොහේ ඉඳලාම 
දවුල් හොරණෑ වයා 
මොරගසා කියන්නේ

නින්ද ගම්, පැළැන්තිය
වරිගෙ වංහුංම​ මිස​ 
මිලක් නැති මිනිස්කම 
කිම කිරා මැන බලන්නේ 

අද ඇවිත් හෙට යන්ට​
ආපු මේ කෙටි ගමන
වංකගිරියක වගේ
ඔහේ වලමත්ව හිඳ​ ​
ආපු කාරණා ගැන​
නොදැන අබැටක් පමණ​
හෙට දිනේ පිටත්වී 
හිස් අතින් යන්න​ටයි 
මේ වතාවෙදිත් අපි
පිඹුරු පත් අඳින්නේ

ජීවිතය ගඟක් නම් 
එය ඔහේ ගලනු ඇත​
ගලාගෙන යන ගඟට
නිමාවක් ඇවසි නැත​
ගඟේ දියවර වගේ
රළු පොළොව මෙළෙක් කර ​
බිඳෙන් බිඳ එකතුවී
යම් දිනක ජීවිතේ
මහ සයුර හැදෙනුඇත​                

  
මල්ලිකා එම් බණ්ඩාර​


 5. 12. 2017


No comments:

Post a Comment