සිපිරිගෙයි තුන්කොණ අසිපත් අරගෙන
මුරපල්ලන් සැරි සරනා මැදියම
තළා පෙළා සිත කොනහා මිරිකා
කාන්සියේ ඉකිලන උළලේණිය
දළ හිරු තාපෙන් පරවී මැළවී
සාගතයෙන් වැහැරිව කඩමලුවී
බිඳුනු ආත්මය මොරදෙන යාමේ
ඇවිදින් මාසිත සුවපත් කළමැන
කුරිරු සපුන් සේ දළඟින් පාරා
තියුණු සැතින් සැස ලේ වැල් හාරා
එහි යුෂ බී තළුමරණා උන් මැද
පිළිසරණක් නැති සිත සනහනු මැන
නුඹේ සුමුදු වත හසරැල් ඉල්ලා
වළා ගැබේ ඉම දෙනුවන් දල්ලා
කල්ප කාලයක් බලා හිඳින්නෙමි
සුළං රොදක්වී ළඟ දැවටෙනු මැන
මියැදෙන හදවත පණගන්වන්නට
සැනසිලි වදනින් පවන් සලන්නට
පිපුණ මලක්සේ උස්තුරු මුදුනේ
සුවඳ දිදී මා හදවත් අරණේ
ගුණ ණැන පිරිපුන් මා පියදියණී
පියාසලන් ගෙට මා වැහි ළිහිණී
මල්ලිකා එම්. බණ්ඩාර
No comments:
Post a Comment