Tuesday, 28 August 2018

අවිනිශ්චිත මොහොතක​




වසන්තය අතු ඉති නමාගෙන
තුරු මතින් එබිකම් කරන්නී
දසන්තය මන් මත් කරන්නට
නෙක වණින් මල් දම් ගොතන්නී
දිගන්තය පිස සිහිල් මද නල
සිතට නව ජීවනය දෙන්නී
ළහිරු පොද පිනි පොකුරු පිසදා
නැවුම් දවසක මඟ සදන්නී
දුකද සතුටද කියා නොදැනෙන
දහක් සිතුවිලි හිතේ තෙරපෙන​
ඉරත් සඳ පළුවත්  උදාවී
දිවා රෑ සලකුනු කරන්නේ
විලක් වාගේ පිරී ඉතිරෙන 
තනිකමයි කොපුලත තෙමන්නේ
වලක්වන්නට හිම කුණාටුව​
වාරු නැතිවයි පොරබදන්නේ

මල්ලිකා එම් බණ්ඩාර

28. 08. 2018​





Wednesday, 22 August 2018

ගඟට අමතක උල්පත​


මාව​ හැර ගිය නුඹ සොයාගෙන
ගව් ගණන් දුර මඟ ගෙවාගෙන​
ගම් නියම් ගම් බිම් දොවාගෙන
ඇදෙමි දිගු ගමනේ එක හිත දරාගෙන​

බිඳුණු කැළඹුණු හිත් දනව්වේ
සිඳුණු සෙනෙහස නැත රැඳෙව්වේ
රිදුණු පෑරුණු නෙත් කොදෙව්වේ
මතක සුවඳය මා රිදෙව්වේ

මිණි කිකිණි රන්රසු සලා ගෙන​
නිනද දී මඳ නල හමා යන​
ප්‍රේමයේ කෙම් බිම දකින්නට​
වැලිකතර වුව එමි සොයාගෙන​

ගඟට අමතක වුවද උල්පත​
ඉවුරු දෑලම දනී වත ගොත​ 
වැලිතලා යට ඇති පුරාවත​
ගීතයක්වී ගැයෙයි හදවත​ ​​

මල්ලිකා එම් බණ්ඩාර​

19. 08. 2018


Friday, 10 August 2018

මහ රැජින​

පන්තියේ දඟ කරපු ගෙදර වැඩ කොපි කරපු
චක්කරේ මතක නැති පාපයට
තුත්තිරි ගැලෙව්වා නුඹ
ඉස්කෝල පිට්ටනියෙ හැමදාම​

පියමං කළා ගල් ඒදණ්ඩ​ මැදෑලේ
වියමං කළා උන​ සෙවනෙ නිදැල්ලේ
අළුත් පාළම බැන්දාට​
නුඹ නැවතුනා මහරු කුඹුක යට කැදැල්ලේ

පොල් අතු මිටිය වාගේ දිගු වරල ගොතා
පොල් අතු මිටිය හිසමත බරට බැඳ ඔතා
කොස්පොතු ඔයේ ලා පොඟවාන දිනපතා
පොල් අතු වියන ළඳ නුඹ​ සියුමැලිය ඉතා

කැත්තට උදැල්ලට දෑතේ හුරුකමට
අටු කොටු පුරන්නට නොව කල ගෙවන්නට
පන්නම් වියන්නට වේලක් යැපෙන්නට
කෙනෙකුට අත නොපා කුලියක් කරන්නට​
ජීවිතයම ගෙවූ නුඹ ගැන කියන්නට
කිසිවෙක් කොතැන සිටියාදැයි කියන් මට

දුක් ගිනි පමණක්ද​ මිහිපිට වැළඳූවේ
නැති- බැරිකමයි හිස කිරුළට පැළඳූවේ 
පොත පත නෙවෙයි ජීවිතයට​ මඟ කීවේ
මිනිසත් බවිණි නුඹ මහ රැජිනක් වූවේ

මල්ලිකා එම් බණ්ඩාර​
 8. 08. 2018


Thursday, 9 August 2018

සත්‍ය​ ගවේශක

ගුවනත නිසසලය​ සඳ පත නැඟෙන පැයේ
වෙළ පෙති සදිසි  දිය රළ පෙළ ගැසෙන  රැයේ 
වනපෙත දිග හැරෙන කෝකිල තනුව  ගැයේ 
සුවහස් සිනා මැද වුව තනිකමකි ළයේ

කැඩපත දෙස බලමි පිළිරුව බොඳව පෙනේ
දුහුවිලි පිරි මුණත විනිවිද දකින සැනේ
ගිනිගෙන දැවෙන සිත​ පෙරටුව​ ඇදෙනු දැනේ
නොනිමෙන ගමන සුපහන් නැත වෙහෙස ගෙනේ

අඳුරු කුටියේ තනිව සිටිකල​
ඇඟිලි ගැන්නෙමි නොදැන අගමුල​
ආවදා සිට මේ අහස යට​
සුවහසක් බැමි යදම් වරපට

නිමා නැති ආලයක පැටලී​
දෙපායුග රැහැනින් බැඳී ඇත
වේදනා කම්කටොළු දුක් මැද​
ගෙවෙන්නට ගිවිසුමක් නොවුණද​
දමා යන්නට නොහැකිතරමට
ජීවිතය මාදැලක් වූයෙද​?

එකිනෙකා සනසනා බස් මිස​
සැබෑ මඟ තොට​ කියන්නෙකු නැත​
අවිදු අඳුරේ ඇවිද වෙහෙසී
මං මුලාවී නොයා වල් වැද
නම නොදන්නා අරමුණක් ඇත​
සොයා දැන එය යායුතුව ඇත​.

මල්ලිකා එම් බණ්ඩාර​
 04. 08. 2018


Thursday, 2 August 2018

පාරු පාළම ළඟ​


සැහැල්ලුව ගෙන අතට
පිළිපන් නමුත් වන්දනා ගමනට ​
දරන්නට බැරි තරම්
ඔලොගුවක් වෙනතුරා සැහැල්ලුව,
මෙවන් ලට-පට මෙවලම්
රැස් කළේ ඇයිද​ මෙතරම්?

කැප අකැප දුක සැප​
​නෙක​ කුණු රොඩු කසළ
හැම දූලි පොදටම
ලියවෙලා ලෙන් ගැබ
අත හරින්නට නොහැකි අයුරින්
ඇත​ මතක​ සමරු සටහන්

විටෙක ​හිත ​නළවන​
තව​ විටෙක හිත පාරන දවන
පැසවන​ දුගඳ ඉහිරෙන​
වන කැළල් මෙන් දැනෙන​
සැහැල්ලුවෙ බර ඉතුරු කර​
අනුන් වෙහෙසනු කිමැයි හැඟුනෙන්
එද එකහිත් දරාගෙන​
ගමින් ගම, තොටින් තොට​
ඇවිද්දෙමි අතනෑර​ ඔලොගුව​

දිවා රෑ ​දුර​ බැහැර 
ගෙවා මඟ රැඳුනා මිසක​
හමුවුණේ  නැත
ආශිර්වාද ලද්දවුන් ගේ දේශය!
කල් යල් එළඹ ඇත​
නුවර දොරගුළු හැර ඇත
පාරු පාළමෙන් එතෙරව
නික්ම යායුතු නමුත්  
තවත් නම් කීවරක්
ඇවිත් යළි ආයුතුද​...?

මල්ලිකා එම් බණ්ඩාර​
 02. 08. 2018