වෙළ පෙති සදිසි
දිය රළ පෙළ ගැසෙන රැයේ
වනපෙත දිග හැරෙන කෝකිල තනුව ගැයේ
සුවහස් සිනා මැද වුව තනිකමකි ළයේ
කැඩපත දෙස බලමි පිළිරුව බොඳව පෙනේ
දුහුවිලි පිරි මුණත විනිවිද දකින සැනේ
ගිනිගෙන දැවෙන සිත පෙරටුව ඇදෙනු දැනේ
නොනිමෙන ගමන සුපහන් නැත වෙහෙස ගෙනේ
අඳුරු කුටියේ තනිව සිටිකල
ඇඟිලි ගැන්නෙමි නොදැන අගමුල
ආවදා සිට මේ අහස යට
සුවහසක් බැමි යදම් වරපට
නිමා නැති ආලයක පැටලී
දෙපායුග රැහැනින් බැඳී ඇත
වේදනා කම්කටොළු දුක් මැද
ගෙවෙන්නට ගිවිසුමක් නොවුණද
දමා යන්නට නොහැකිතරමට
ජීවිතය මාදැලක් වූයෙද?
එකිනෙකා සනසනා බස් මිස
සැබෑ මඟ තොට කියන්නෙකු නැත
අවිදු අඳුරේ ඇවිද වෙහෙසී
මං මුලාවී නොයා වල් වැද
නම නොදන්නා අරමුණක් ඇත
සොයා දැන එය යායුතුව ඇත.
මල්ලිකා එම් බණ්ඩාර
04. 08. 2018
No comments:
Post a Comment