චක්කරේ මතක නැති පාපයට
තුත්තිරි ගැලෙව්වා නුඹ
ඉස්කෝල පිට්ටනියෙ හැමදාම
පියමං කළා ගල් ඒදණ්ඩ මැදෑලේ
වියමං කළා උන සෙවනෙ නිදැල්ලේ
අළුත් පාළම බැන්දාට
නුඹ නැවතුනා මහරු කුඹුක යට කැදැල්ලේ
පොල් අතු මිටිය වාගේ දිගු වරල ගොතා
පොල් අතු මිටිය හිසමත බරට බැඳ ඔතා
කොස්පොතු ඔයේ ලා පොඟවාන දිනපතා
පොල් අතු වියන ළඳ නුඹ සියුමැලිය ඉතා
කැත්තට උදැල්ලට දෑතේ හුරුකමට
අටු කොටු පුරන්නට නොව කල ගෙවන්නට
පන්නම් වියන්නට වේලක් යැපෙන්නට
පන්නම් වියන්නට වේලක් යැපෙන්නට
කෙනෙකුට අත නොපා කුලියක් කරන්නට
ජීවිතයම ගෙවූ නුඹ ගැන කියන්නට
කිසිවෙක් කොතැන සිටියාදැයි කියන් මට
දුක් ගිනි පමණක්ද මිහිපිට වැළඳූවේ
නැති- බැරිකමයි හිස කිරුළට පැළඳූවේ
පොත පත නෙවෙයි ජීවිතයට මඟ කීවේ
මිනිසත් බවිණි නුඹ මහ රැජිනක් වූවේ
මල්ලිකා එම් බණ්ඩාර
8. 08. 2018
No comments:
Post a Comment