අඳ බාල මුග්ධ රැළකට ඔටුණු පළඳවා
රන්තලිය උන්ට දී
පොල් කටුව අතට ගෙන
පුරා හැත්තෑවසක් ගෙවී නිදහස ලබා
අදත් අපි සිහි කරමු වැදි දනන් ගේ මුසා
රජ රදල වණික් මුල
දන නිධන් බිඳිනවා
අපි දෙපැත්තට බෙදී උන්ට ආවඩනවා
අපේ කර පිටින් ගොස් අපට ගිනි බිඳිනවා
දුප්පතා හැමදාම අපාදුක් විඳිනවා
යාන වාහන රස මසවුලින් පිරෙනවා
සුරාවට තිත තියා සුරාවේ ගැලෙනවා
කුණු කයට හිලව්වට රන් කාසි හැලෙනවා
මව්වරුන් නොරටුන්ට බිලි පුදට යවනවා
රටම උගසට තියා රජුන් පෙංකෙළිනවා
තරුණ කැළ රොතු බුරුතු පිටින් බිම හොවනවා
කුවේර කැළ එක්ව රන්මසු පියළි ගණිනවා
නැති එකා හැමදාම හාමතේ ලගිනවා
පණ කෙන්ද රැක ගන්න දුක් විඳින මිනිසුන්ට
තක්සලාවෙන් පිටව කල් මරණ දරුවන්ට
අදක් මිස හෙටක් නැති අතු පැලේ රැඳියන්ට
ජීවිතය කම්මලකි තැළී පොඩිවී යන්ට
උයන් වතු අසල සක්මන් මලුත් ඉදිවෙලා
අගනුවර සුරපුරක් කරන්නට එක්වෙලා
ගම් දනව් නියඟයෙන් දැවී පරඬැල් වෙලා
එදාවේලත් නැතුව ගමේ උන් මැළවෙලා
"පන්නසාලා" මතින් මහ මැදුරු තැනෙනවා
ජේතවන වේළුවන දොර අගුළු වැටෙනවා
කිළිටි අත් ඇත්තන්ට පිරිත් හුය බඳිනවා
ඇති එකා නේක රස මසවුළුම බුදිනවා
නැති එකා ඉඳුලටම ගැතිව අත ලොවිනවා
නීතියක් යුක්තියක් නැතිව රට ඇදෙනවා
දිනාගත් නිදහසත් කොඩිගහේ වැනෙනවා
මල්ලිකා එම් බණ්ඩාර
- 04. 02. 2019