ආ ගිය හැම තැනක
රුදුරු වන සපුන් මිස
නොදුටු මුත් දෙවියන්,
නුඹෙ හද ගැබ පිරුණ
අමාමය සෙනෙහසින්
හැඳින්නෙමි දේවත්වය
අනන්ත සසර ගමනේ
නිමෙසකදි මා ලද
නිමෙසකදි මා ලද
මනරම් නවාතැන්පොලද,
කුරිරු ලෝදාව තුළ
පෙර පසු ගමන් ගිය
පෙර පසු ගමන් ගිය
මුර දේවතාවියද ඔබය!
ගොර බිරම් සසර කතරේ
මා සැතපවූ තුරු සෙවණ!
ඒ තුරු සෙවණ යට මුදු පවනැල්ල වූ
මා පවස නිවන්නට මධුර උල්පත වූ
නිවා සැනහූ දොවා නැළවූ
ළබැඳිණිය අම්මාය!
ළබැඳිණිය අම්මාය!
දිය සීරාව කැණ
තනා දිය කඩිත්තක්
ඒ දිය කඩිත්තම
පස් පියුම් විලක් කළ
නුඹ, මා නිසා හෙලූ
කඳුළු දහදිය රුහිරු
කුමට සම කරන්නද
මට ජීවිතය දුන්අම්මේ?
මට ජීවිතය දුන්අම්මේ?
ජීවිතේ රළු සර පහර වැද
මහද පාරන ලද
වන කැළල් පිරිමැද
මා සිත නිවන්නට
මධුර නැළවිලි ගීය
ඔබම වූවාය අම්මේ!
ඔබෙ සුසුම් මුසු පවන
ලෝ කුහරය සරා විත්
නැළවිලි ගීයක්ව
අදත් මා සවණත
තැවරුණා මුදු සරින් අම්මේ!
මල්ලිකා එම් බණ්ඩාර
7. 07. 2019
No comments:
Post a Comment