කඳු වැටිය පාමුල නෙරළු සෙවනේ ඉපිද
දෙණිපෙතේ මඩකඩිති, පුරා හක්කලං කළ
ලියද්දේ පටු නියර බට දැල්ල පාගලා
නිදහසේ දිව ඇවිද බඩ කට පුරා කාපු
හීනැටි සහල් බත අහිමිවී ගිහිල්ලා
මුං කුරක්කන් ටිකත් දැන් නැවෙන් ඇවිල්ලා
සත් සමුදුරෙන් එහා හුදකලා දේශයේ
විප්‍රවාසෙට ඇවිත්,
ඇට මිදුළු හිරි වැටෙන හීතලේ
ඇට මිදුළු හිරි වැටෙන හීතලේ
දෙවෙනි පුරවැසියන්ව ජීවිතේ ගෙවෙද්දී
මට මෙහෙම හිතෙනවා
අසිරිමත් දවසක්ය අද!
වසර හැත්තෑ එකක් අපි අපිම රවටාපු
අනේ මොනතරම් නං අසිරිමත් දවසක් ද?
මුහුදු කොල්ලකාරයින් ගෙන් රට මුදා
වෙට්ට පිත්තල කට්ට කයිරාටික අමන රැලකට
උරුමය ලියා දුන් දවස!
පරදේසක්කාර සුවාමීන් ඉතිරි කළ
ධන නිධන් දේශයේ හොර මුල
අතපත් වුණ දවස!
මංකොල්ල කා දශක හතක් තුළ
රජ අටුව පතුළටම හින්දවු
අහිංසක ජන මනස මුලාකර ඉච්ඡාවෙන්
කවට රූකඩ හිවලුන් සිහසුනට දක්කන්ට
වේදිකා ඉදි කරන
වන්දි භට්ටයින් ගේ බෙර හඬට පාතබන
ආඩම්බරකාර මව්වරු, ජනමූල පියවරු
මෝහන්ධකාර වූ සෝයුරන්
භක්‍ෂණය කළෝ ජාතික ධනය
භක්තියෙන් අන්ධව මිත්‍යාව වැළඳ
ගෙන
බුද්ධිය උලාකා ණැන පහන නිවාලා
ණැන නුවන ඇතියවුන් විප්‍රවාසයට පලවා හැර;
ජාතියේ මව්වරු නොරටුන්ට කඹුරන්ට
කුණු කොල්ලයට විකුණා,
තිතට ගත් මත නිසා සිහිසුන්ය
බේබදු සල්ලාල පියවරු
ජේතවන! වේළුවන! ඉසිපතන!
මහා ප්‍රාසද වල හිඳ
බුදුන් විකුණා බුදින යතිවරු
නායක කාරකාදීන්ටම
"අර්ථයෙන් ධර්මයෙන්" අනුසාසනා කර
කාම සුඛ විහරණෙන් වැඩවසති නිරතුරු
උපන් බිම නොරටුන්ට ලියා සින්නක්කරේටම
උපන් නූපන් දැයේ දරුවන්ව ඇපයට තියා
ණයකාරයින් කළේ කාගෙ ලැයිසොමකටද?
මංමුලාවූ හුදී ජනයාට
ජාතියත්, දේශයත්, දහමත් අහිමි කර
හැත්තෑ එක් වසක් නිමාවී ඉවරය.
උන්ට නිදහස දුන්න, අපිව දඟ ගෙයි
ලැව්ව
ජාති ආගම් අතර සංහිඳියාව ගිනි තිව්ව
සාදුකින් රෝ-බියෙන් බෝ-දනා කැළඹෙව්ව
කඳුළු දහදිය හෙලන දනන්හට
අයිති දේ වළ දැමූ
දේශ පාලකයන්ට, උන්ගෙ බත් බැලයන්ට
සමරන්ට පිරිනැමූ “නිදහස”
ඉතින් සිහිපත්කරමු,
අපට අහිමි උන්ට හිමි "නිදහස"!
අපට අහිමි උන්ට හිමි "නිදහස"!
මල්ලිකා එම් බණ්ඩාර
4. 02. 2019
No comments:
Post a Comment