ජීවිතය හීනයක් වගෙයි. හීනයේ ජීවත් වනතාක් එය
සුන්දරය. ඇතම් විට භයංකරය. හීනයෙන් අවදිවූ පසු දැනෙන ත්‍රාසය ඇඟ කිලිපොලායයි.
හිතට දැනෙන බර දැරිය නොහැකි තරම් ය. මට දැනෙන්නේ හතුරන් පිරිසක් මැද මා තනිකර
දමා මාහා එක්ව සිටි අය පළා ගිය සෙයකි. දහසකුත් එකක් නින්දා අපහාස ගල් කැට, පොලු, මුගුරු බවට පත්ව මා
දෙසට එල්ල වෙයි. ශරීරයේ කොතැනකට වැදුණත් රිදෙන්නේ මගේ හිතටය. මගේ හදවතටය. මා බේරා
ගැනීමට කිසිවකුත් යළි නොඑන බව මම දනිමි. මා සමඟ එකට හීනය තුළ ජීවත්වූ අය ඔවුන්ගේ
දැනිමකින් තොර සහබාගිත්වය ගැන අවබෝධයක්, වගකීමක් පිළිබඳ අල්ප මාත්‍ර දැනුමකුදු නැති
බැවින් යළි යළිත් අනුන්ගේ හීන තුළ ජිවත් වනු ඇත. අනුන් ගේ හීනයක ජීවත් වීම යනු හීනයේ
එක් වියමනක් මිස සජීවී සහබාගිත්වයක් නොවන බැවින් හීනය අවසානයේ අත්විඳින වෙහෙස, දුක හෝ බර ඒ ඒ භූමිකා
විසින් අත්නොවිඳිනු ඇත.
හිනය දුටුවේ මම නම්? සැබැවින්ම මට කිසියම් කෙඩෙත්තුවකට සමාන දැනීමක්, හැඟීමක් අත් විඳින්නට සිදුවෙ.
හිනය දුටුවේ මම නම්? සැබැවින්ම මට කිසියම් කෙඩෙත්තුවකට සමාන දැනීමක්, හැඟීමක් අත් විඳින්නට සිදුවෙ.
නමුත් ජීවිතේම දුකකි. ඉපදීම
කොහොමත් දුකය. දුකෙන් ඉපදිලා දුකම වළඳලා දුකේ ජීවත් වෙලා ඒක ඇති තරම් ජීවිතේට
පදම් වෙලාය. මේ හේතුව නිසා මම අනුන්ගේ ගර්භාවට ලක් වෙලා තියෙනව ඇති පදම්. ඒක ඒ අය මාව
වරදවා තේරුම් ගත්ත නිසා මිස හැබෑවටම මා ගැන තේරුම් අරන් හෝ අඩු තරමින් මාව තේරුම්
ගන්ට උත්සාහ කරලාවත් කරපු නිගමනයක් නොවේ. සමහර විට
කෙනෙක් හිතන්න පුළුවන් කෙනෙකු සතුව ඇති දුක දරා ගැනීමේ ශක්තිය මුරන්ඩු කමක්
නැත්නම් නොසැලැකිළිමත් කමක් කියල. පවතින තත්වය වෙනස් කරන්න හැකි හැම උත්සාහයක්ම
දරලා ඒ උත්සාහය නිශ්ඵල නම් ඉතින් කම්පා වෙලා කලකිරිලා ජීවිතේම කැට තියනවට වඩා හොඳ
නැද්ද ටිකක් නිස්කලංකව වෙනත් විකල්පයක් පෙනෙන තුරු ඉවසන්ට, තේරුම් ගන්ට
පුරුදු වෙන එක.
සමහර වෙලාවට අපි නොහිතන අරුම පුදුම දේවල්
මතුවෙනව. ඒවගේම මහ මරි මෝඩ දේත් අනාවරණය වෙනව. ඉතින් එතෙන්දි ටිකක් ඔළුව
පාවිච්චි කරන්ට පුළුවන් වුනොත් ගොඩ. නැත්නම් ඉතින් අර කබලෙනුත් ලිපටමයි. ඕන තරම්
ඒ වගෙ දේවල් වලට මුහුණ දීල අත්දැකීම් ලබපු පුරුදු මට තියෙනව. නැවත හදන්ට
බැරි වැරැදි වගේම වැරැදුන තැනින් නැඟිටලා ජීවිතයේ ඉතාමත් ප්‍රශස්ත දේවල් අර කලින්
කියපු දුක නිහඩව වැළඳීමේ ප්‍රථිඵලයක් විදියට කරලියට ආව අවස්ථා තියෙනව.
දුකේදිත් බොහෝවිට විපතේදීත් හිනාමුසුව ඉන්ට
තරම් දැන් මගෙ හිත වියපත් වෙලා. ඉතින් එහෙම අර ඇඬිය යුතු වෙලාවක හිනාමුසුව ඉඳීම
කෙනෙක් නිර්වචනය කරන්ට පුළුවන් මගෙ තියෙන තක්කඩිකම කියලා. ඒක ඒ අයගෙ නිදහස. ජීවිතේ
කියන්නෙ ජීවිතේට අයත් කුදු මහත්දේවල්, ඒ කියන්නෙ දුක වෙන්න පුළුවන් , සතුට හෝ
බලාපොරොත්තු කඩා වැටීම් වෙන්න පුළුවන් වෙන්වීම්-එක්වීම් නැත්නම් හිත තළා පෙළා දමන
විරහයන් වෙන්ට පුළුවන්. ඔය කොයි
එකටත් තනිව විඳ දරා ගැනීම නිසා මගේ හිත ඉතාමත් ශක්තිමත්. අනික් අතට මට දැනෙනවා
සාමාන්‍ය විධියට කෙනෙකුට දැනෙනවට, තේරෙනවට වඩා සියුම් විදියකට. ඒ සංවේදීකම මම
කාලයක් තුළ කරන ලද අභ්‍යාසය නිසා අත්කරගත් දෙයක් නිසා අනික් අයට ඒ මම සිටින
ස්වභාවයෙන් නැත්නම් තත්වයෙන් තේරුම් ගන්නටත් හිතන්නටත් අමාරුයි. වෙනත් වචනයකින්
කීවොත් මගේ චිත්ත ස්වභාවය ග්‍රහනය කරන්ට අපහසුයි. මගෙ අත්දැකීම් වෙනස්. මං යමක් දිහා බලන විදිය, එය විඳින විධිය
වෙනස්. ජීවිතේ ඉවසා දරාගෙන යන්ට පුළුවන්
වෙන එකත් එක අතකට ප්‍රසංශනීය දෙයක්!
මම
ජීවිතය දකින විධිය හැඩ ගැසිලා
තියෙන්නෙ විවිධ පුද්ගල හා සමාජ
තලයන් වල ජීවත් වුණ, ජීවත් වෙන අය සමඟ පැවැත්වූ ආශ්‍රය තුළින් ඇතිවූ සමජ අගයයන් වල
වෙනස්කම් නිසා විය හැකියි. මගේ අධ්‍යාපනික
පසුබිම විසින් මට ලබා දුන් පරිචය සහ
චින්තනයත් විය හැකිය. අනෙක් අතට සංස්කෘතික අගයයන්
විසින් හැඩගස්සන ලද හික්මීමත්, අත්දැකීම් සහ මනුෂ්‍යත්වය විසින් එකතු කරන ලද වටිනාකමුත් මා
නැමති සත්වයා ජීවියෙකු ලෙස නිර්මාණය කර ඇත. එවන් සත්වයෙකුට සහරාව දිගේ බොහෝ දුර
ඇවිද ගෙන යාමට ජීවය තිබේ. සාගර වෙරළක සැඩ රළ පතරින් නිරන්තරව පහර කන කළු ගලක් මෙන් ඉවසා දරා සිටීමේ අපූර්ව
ශක්තිය තිබේ.
ආගමානු කූලව හැසිරීම මිස ආගම සාටකයක් ලෙස මා
කෙදිනකවත් පාවිච්චි කර නැත. මන්ද, ලෝකයේ ප්‍රධාන
ආගම් පිළිබඳව දළ වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමට තරම් මනස විවෘත කිරීමට පැකිලීමක් නොවූ බැවින් සෑම
ආගමකටම ගරු කිරීමේ හැකියාව ඇත. ආගමක් යනු සමස්ත ලෝක ප්‍රජාවටම ඇතුළු විය හැකි, ජීවිතයේ වෙහෙස
නිවාගැනීමට උපකාර වන විවෘත බිම් කඩක් විය යුතුව ඇත. ආගම එකිනෙකාට සින්නක්කර ලියා
ගෙන උරුමක්කරයින් බව කියන මුත් ආගමනුකූලව නොහැසිරෙන පාපතරයින් ගේ
කෙළිබිමක් නොවිය යුතුය.
අන්දකාරයේ සැරිසරන දනන්හට මුදා හල ආලෝකයක් වැනි, කාලාන්තරයකින් එළිදරව් වන ලෝක සත්‍යය වහන් කළයුතු දෙයක් නොවේ. බුදුන්වහන්සේ
දේශනා කළේ "පඥා උදපාදි- ආලොකො උදපාදි..." යනුවෙනි. ජේසුස්වහන්සේ දේශනා කළේ "පහන,
නිවස ආලෝකමත් කිරීමට මිස සඟවා තැබීමට නොවේ" යනුවෙනි. එම ශාස්ත්‍රූවරුන් තම
දර්ශනය දේශනා කළේ මනුෂ්‍යයාගේ යහපතටය. අද ඒවා අත්පත්
කරගත් උරුමක්කාරයෝ ඒ ආලෝකයේ උල්පතම අපවිත්‍ර කරති.
මොනඅන්දමේ වාසිදායකහෝ අවාසිදායක මට්ටමේ පැවතුනත් මම මගේ ජීවිතයට බෙහෙවින් ආදරය කරමි. ගෞරව කරමි. ඒක මගේ කීවට, මට
අයත් දෙයක්නෙවෙයි. එය පිරුළට ගත් සුදු පිරුවටයක් වගෙයි හරියට. ආපහු අයිතිකාරයාට දෙනකොට ගත්විදියටම
දියයුතුව තිබෙනව. ඒ දවස එනතුරු පරිස්සමෙන් පරිහරණය කළයුතුව තිබෙනව. පිළිකඩ වියන්ට, අපූරු
සළුවක්වගේ හැඩවැඩ දාලා නියමිත හැඩයකට
නිර්මාණය කරන්ට දායක වුණ තැනත්තාට ආපසුදෙන කොට
ප්‍රශස්ත මට්ටමක තියා ගැනීමේ වගකීමක් මට තියෙනව. යුතුකමක් තියෙනව.
ඒ නිසා මම අනුන් ගේ හීනවල සළුවක්, පෙරවනයක්, අත් පිස්නාවක් වෙන්ට අකැමතියි. බැරිවෙලාවත් මම එවැනි කාරණාවකට නොගැනීම සඳහා අවධියෙන් ඉන්නට තීරණය කළා.
ඒ නිසා මම අනුන් ගේ හීනවල සළුවක්, පෙරවනයක්, අත් පිස්නාවක් වෙන්ට අකැමතියි. බැරිවෙලාවත් මම එවැනි කාරණාවකට නොගැනීම සඳහා අවධියෙන් ඉන්නට තීරණය කළා.
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment