Monday, 7 January 2019

මලේ ඉරණම

බත්තුලක් නැති හැළි වළං දැක
පපු කැනැත්තම හෙල්ලුනේ
හත් වළල්ලක් දිය හිඳෙන්නට
සප්ත සාගර කැළතුනේ
ලිග්ගලක් වී අම්මගේ හිත්
වනේ ළැව් ගිනි මෙළවුනේ
වැටත් නියරත් බිඳුන කුඹුරේ
බොල්කරල් දෝ පීදුනේ ?

පුංචි මල්ලිට පාලි පාඩම​
වහ කදුරු වාගේ දැනෙන්නැති
පාලි වියරණ වර නඟන්නට​
හුම්බතින් වනපොත් කරන්නැති
මලක මෙළෙකක් නොදත්
උයන්පල්ලෙකු සේම​
දිසාපාමොක් ඇදුරු ළමා සිත තළන්නැති

දෙවිඳු මියගියබව හඟින්නට
ජීවිතය ගැන කලකිරෙන්නට
ඉස හැරුණු අත පලායන්නට
කාරණාවත් ඒක වෙන්නැති

මල්ලිගේ පිට පුපුරනා තුරු
තැළුවෙ ඇයි ගුරු භවතුනේ?
කෝපි කෝටුව පතුරු යනතුරු
තළා සෙව්වද සාධනේ ? 

මල්ලිකා එම් බණ්ඩාර​

12. 12. 2001




No comments:

Post a Comment