Wednesday, 2 January 2019

නියත විවරණ


දුරුතු පුරහඳ ​නිසල රෑ මැද
ළතණ පත් මත ඉසින පිනිපොද
ගම් නියම් ගම් දවාලන්නට
ගිනි පුළිඟු සේ පතිතවූ බව
හැඟිනි මල් පියවිළි ඉසුන මඟ​
දැනී අප යළි හමු නොවන වග​

භවෙන් භවයට ඇවිද ලුහුබැඳ​
ඔබට පමණක් පිදූ හදවත
සපා කොනහා තළා මිරිකා
නිහඬ කළ​ පෙර දින​ සැඳෑවේ
නුඹට මා අබටක් තරම් බව​  
සක් සුදක් සේ හැඟිණි මොනවට​

කියා ගන්නට හිතට දිරි නැති
මගේ අවසන් පැතුම දවටා  
සුසුම් වැල් සුළඟේ වඩිනු ඇත​ ​
පෙම්පතක් වී ඔබගේ දෝතට​;

"ඉතින් යළි මේ සසර ගමනේ
සරා කෙලවර වන තුරාවට​
අහම්බෙන් හෝ අතර මඟකදි
හමු නොවේවා යළිත් නුඹ මට​..."

- මල්ලිකා එම් බණ්ඩාර​ 

- 31. 12. 2018

No comments:

Post a Comment