Monday, 7 January 2019

වැලි කන්ද



අහඹුවක්දැයි නොදත්
​ඈත දුර අතීතෙක​
හිත කොනක තනිවෙලා
පිළිසිඳිනි කළලයක් සේ
නොවැඩුන පැතුමක් නුඹ ගැන​

මඟ තොටක, කඩපොළක​
වන්දනා නඩයක​, හෝ මූදු වෙරළකදී
ඔබව මුණ ගැහේයයි ​
නොයෙක්විට පැතුව මුත්
ගෙවුන අඩ සිය වසක අතීතය
දැන් මතක නැතුව ඇති 
හාංකවිසියක්වත්

දුරු ඈත සිට හෙලන​
මගෙ සුසුම් වල පහස
නුඹෙ සිතට නොදැනේවි කිසි දිනක​
අඩු තරමෙ හිතන්ටත් දෙයක් නෑ
අපි අතර​
ඒත් මම හිතනවා නිකමට
මා ඔබේ මතක තුළ පුංචි ලපයක් වගේ
නොමැකී සිටින්නට මියෙන තෙක්

ධවල​ බෙලිකටු අහුරු 
අතුරලා වෙරළ ඉම​ 
සිදු වැල්ල සිඹින රළපතර සේ
මැකී යන නිමෙසකින්,
වැලි කුණාටුව මැවූ ​
හුදකලා කතර ඉම​
පුංචි වැලි කන්දක්ය
අප දෙදෙන​...

 මල්ලිකා එම් බණ්ඩාර  
15. 07. 2012

No comments:

Post a Comment