පොල්කිච්චන් ගැවසෙන තැන බකමූණන් රැඳී සිටීම අරුමයකි!
අද ඊළඟ හමුව...
වළව්ව පහුකර මද දුරක් ගියපසු අවධානම මඟ හැරිනැ'යි නිගමනය
කළ එසඳී නැවත ගමන් අනුපිළිවෙළ වෙනස් කළාය.
“සඳලතා ඉස්සර වෙයන්! සුගී
උඹ අක්කට පස්සෙන් පළයං”
මද දුරක් ගමන් කළ සඳලතා වරින් වර වළව්ව දිහා ආපහු හැරී බලන්නට
අමතක නොකළාය. ඒ හැම විටකම සුගලාද වළව්ව දිහා බැලුවාය.
වළව් වත්ත කෙලවර ඇල කන්ඩිය පෙනෙන තෙක් මානයේ දී
ඉදිරියෙන්ම ගමන් කළ සඳලතා ඉද්ද ගැසුවාක් මෙන් හිටි අඩියේම නතර වූවාය. නතර වී
අම්මා කිට්ටුවට එන තෙක් බලා සිටියාය.
ඇයි?
දැරියගේ හදිසි නතර වීම දැක අම්මා ඇසුවාය.
"අම්මා... ඩිංගිරි හාමුදුරුවෝ..."
දැරිය අම්මා දෙස බලා හඬ පිට නොවන සේ කට හැදුවාය.
“මොනවා? උඹ හොල්මනක් දැකලද?”
" ඩිංගිරි හාමුදුරුවෝ..." . එවර ඇසෙන නෑසෙන හඬින්
කීවාය.
"ඔහෙ පලයං. කොටියගෙ කටට පැන්නැහෙ".
එසඳූ තමන්ටම කියා ගත්තාය.
ඩිංගිරිහාමුදුරුවෝ තමන් දැක්ක බව තේරුම් ගත් එසඳී ,
"
ඔන්න ඔහෙ
යං" මං මොකක් හරි කියන්නං" යි දැරියන්ට පමණක් ඇසෙනසේ කීවාය.
ඩිංගිරි හාමුදුරුවෝ කිට්ටුවට පැමිණි එසඳී, පන් මිටිය ඉසේ තියාගත් වනම සිට,
“අපෙ හාමුදුරුවනේ'යි කීවාය.
"මොකදෑ එසඳියෙ හොර පාරෙන් යන්නේ?” යි පසෙකින් බලා සිටි උපාසකම්මා ඇසුවාය.
"අනේ වහං වෙන්ට කාරණාවක් තියෙනවාය උපාසකම්මේ. පන්
මීටි ඉහේ තියාගෙන වළව්ව ඉස්සරහින් යන එක නාකයි කියලා මං පිට පාරෙන්ම යන්ට
ගියෙ" කීවාය.
"
ඒක...මිසක්"
උපාසකම්මා ඇද පැද කීවාය.
“ලියද්දක්වත් ගලවලා ඉවර කෙරුවද උඹ?"
ඩිංගිරි හාමුදුරුවෝ ඇසුවාය.
"
මහ ලියද්දයි
එතැනම කනටියයි නං ඉවර කෙරුව හාමුදුරුවනෙ”.
"බණ්ඩි ඇදෙන්ට ඉස්සර ඕක ඉවරයක් කරන්ට
බලාපල්ලා".
“එහෙමයි හාමුදුරුවනේ"කී එසඳී අඩි
තුන හතරක් ඉස්සරහට කැඩුවා පමණි.
"එසඳී "යි උපාසකම්මා අඬ ගෑවාය.
එසඳී හැරී බැලුවාය.
"ඩිංගිරි හමුදුරුවෝ කියනව හෙට පන් උගුල්ලන්ට
යනකොට වළව්ව පැත්තේ ඇවිල්ලා යන්ට කියලා".
"එහෙමයි හාන්ඳුරුවනේ. මං එන්නං". යි උත්තර
දුන් එසඳී ඈත යන දියණියන් දෙදෙනා දෙස මොහොතක් බලා සිට පය ඉක්මන් කළාය.
වළව් වත්තෙන් පිටවී දෙණිය දිගේ ඇවිදගෙන ගෙදර යන තුරු දැරියන් දෙදෙනාට නම්
හදිස්සිය. කොච්චර පැළ මද කෑවත් බඩගින්න නිවුනේම නැත. ගෙදර ගිහින් බත් කන තුරු
ඉවසුම් නැති තරම් ය.
පන් මිටි දෙක මිදුලේ අතහැර අක්ක නගෝ පිලමත වාඩිවී ගිමන් හරින්නට වූහ.
"පන් මිටිය මිදුලේ පුවක් ගහට හේත්තු කළ එසඳී
මලුපිට පිල මතට වීසීකළාය.
"යං පුතේ නාගෙන ඇවිත්ම බත් කමු. යං ගොයම් බූව
ගෑවිලා ඇඟ කහයි. කම්මැලි කරන්ට එපා යං". කීවාය.
දැරියන් දෙදෙනාද අකැමැත්තෙන් වුවද අම්මා ගේ ඉල්ලීමට අවනත වූහ. ඉන් පසු
තිදෙනාම කුඹුක් ගහ යට ළිඳට ගොස් ළිං ගැට්ටේ දෙදණ ගසාගෙන නාගත්හ.
ගෙදර ළිඳේ සීතල වතුර හිසේ සිට මුළු ගතම දොවාගෙන යනවිට දැනෙන්නේ අමුතුම ප්‍රබෝධයකි.
ගතත් සිතත් නිවී සැනහී යන සෙයක් දැනෙයි. නෑමෙන් පසු ගන්නා දිවා ආහාරය දිව බොජුනක් සේ දැනෙන්නේ ඒ නිසා වන්නට ඇත.
හවස් වන තුරු එසඳී සිටියේ නොඉවසිල්ලෙනි. සරණා ගෙදර ආවේ හොඳටම ඇඳිරි
වැටුනාටත් පසුවය. අමු පොල් අත්තක් නාරටිය දිගේ ඉරා වියන ලද කූඩය මුවවිටක් තද කර බඳින
ලද තණ කොළ මිටිය කර තියාගෙන හරක් ගාල ළඟ අතාරින හඬට එසඳී සවන් දී සිටියාය.
අනතුරුව පිල දිහාට කර පොවා බැලූ එසඳී.
" ඕං උඹලගෙ අපුච්චා ආවා" යි දැරියන්ට ඇසෙන සේ කීවාය.
" සඳලතා…ආ…ආ…ආහ්".
"ඇයි අම්මආ?
"ආං අපුච්චා ආවා. මේ කණ හුලක්වත් අරගෙන පලයං
හරක් ගාල ගාවට".
සඳලතා වහා කුස්සියට විත් දර ගොඩ ළඟ තිබූ පොල් කොළ මිටක් ගෙන මිටියක් වෙන්නට
තවත් පොල් කොළයකින් බැඳ ලිපේ එබුවාය. වියළි පොල් කොළ මිටිය දල්වාගත් සඳලතා පිටුපස
දොරෙන් මිදුලට බැස හරක් ගාල ළඟට ගියාය. ඒ වන විටත් සරණා තණ කොළ මිටිය ලිහා එළ
දෙනුන් දෙදෙනාට කන්නට හැකිවන සේ ගාලේ විසිරුවනු දුටු සඳලතා,
"අපුච්චා අද රෑවුණේ ඇයි? ඇසුවාය.
"පොල් අහුලලා ඉවර වෙලා... ලවන් ටික කපලා
තියලා...වළව්ව දිහාත් ගොඩවෙලා ආවෙ මයෙ පුතේ".
"අපුච්චා හොඳටම හෙම්බත් වෙලා වගේ".
සඳලතා සිතුවාය.
“උඹලා ඉර මුදුන් වෙන්ට ඉස්සර ආවද?"
“ඔව් අපුච්චී"
“හ්ම්!”
"අම්මා වතුර දුන්නද එළ දෙන්නුන්ට?”
"ඔව් අපුච්චී".
කණ හුල ඒ මේ අත කීප වරක් වනා ගිනි දලු එන්නට සැලැස්සූ සඳලතා අපුව්වාට ගෙට
එන්නට හැකිවන අයුරින් එළිය වැඩි කර කුස්සිය දෙසට එන්නට හැරුණාය.
ඇය පිටු පසින් අපුච්චා පිය නඟන හඬට සවන් දෙමින් ඈ ඉස්සරවී ආවාය. අපුච්චා පිල්
කොමුව ළඟට ආවාට පසු කණහුල බිම ගසා නිවා දමා කුස්සියට ගොඩ වූවාය.
ඒ වන විට දැල්වූ කුප්පි ලාම්පුවක් අතැතිව දොර කඩට හේත්තුවී බලා සිටි එසඳී,
" මේ කුප්පි ලාම්පුව ගෙනෙහින් ඉස්තෝපුවේ තියාපං
" කීවාය.
අම්මා දුන් කුප්පි ලාම්වුව අතට ගත් සඳලතා බරාඳය හරහා ඉස්තෝපුවට ගියාය.
"මහ ගෑණී මුලිච්චි වුණාද උඹලට?”
සරණා ඇසුවේය.
" කරුමෙට දඩ මස් මල්ලේ කියන්නැහෙ මුලිච්චි වුණේ
නැතෑ… ඇල කණ්ඩියට ඔන්න මෙන්න
කියල තියෙද්දි".
"මං දැනගත්ත අද නං මාට්ටුවෙයි කියල".
“උදෙත් ගියේ අලකොළ ලන්ද පැත්තෙන්. එන කොටත් ඒ පැත්තෙන් තමයි ආවෙ. කොහෙද
ඉතින් අර උපාසකී. ඩිංගිරි හාමුදුරුවොත් දොක්කගෙන කොහෙ
හක්කලං කෙරුවද මන්දා. හෙට කුඹුරට යනකොට වළව්ව පැත්තෙන් එන්ට කියල ඔය කීවෙ”.
“අහවල් දේටද මන්දා”.
"මටත් කතා කෙරුව අද හවහ".
“මොකද කිව්වෙ?”
" ඩිංගිරි හාමුදුරුවො කියන්නෙ, ලොකු කෙල්ල වළව්වේ නතර
කරන්ට කියල "
“එහෙම කොහොමද? ඒකිගේ ඉස්කෝලෙ ගමන නතර වෙනවා නෙව. මේ අවුරුද්ද අග කණිෂ්ඨ
විබාගේ කෙල්ලගෙ."
එසඳී විස්සොප වූවාය.
“කියල පහිඳින්ට බෑ බං ඒ මිනිස්සුන්ට. අනික් එක කොහොමද බෑ කියන්නෙ
බලහල්ලකො”.
සරණාගේ හඬ හැඬුම් බරය'යි එසඳීට හැඟිණි.
“ඔය බලාපල්ලකො ඉතින්. උඹලා මොකද කීවෙ එතකොට?"
එසඳී ඇසුවේ නෝක්කාඩුවක විලසයෙනි.
"මං කීව කෙල්ලංගෙ අම්මා එක්ක කියන්නං
කියල."
"ඔහෙ පලයල්ලකො, උඹලට "බෑ" කියන්ට බැරි කොට
මං කොහොමද "බෑ" කියන්නෙ?
එසඳී සරණා දිහා බලාගෙන
අවලාද ස්වරයෙන් කීවාය. අනතුරුව නොරිස්සුම් සහගත මුහුණ අඳුරට හරවා ගත්තාය.
පුංචි කුමරිහාමිත් බෝඩිං ඉස්කෝලෙ යන්නෙ වළව්වෙ ඉඳන්”. කෙල්ල තනිවෙන්නෙත් නෑ. ඉස්කෝලෙන් ආවට පස්සෙ
පුංචි කුමාරිහාමිට ඔය අත් උදව්වක් කරගෙන තනි නොතනියට ඉඳීනෙ. මං හිතා
ගත්ත ලොකු කෙල්ල වළව්වෙ නතර කරන්ට.
“ඉතිං අපේ කෙල්ලො පලිද?”
"පලි හරි රොඩී හරි, ඒ ඇත්තො තමයි ඒවා තීරණේ කරන්නෙත්”.
"අඳේට වැඩ කරන කුඹුරු කට්ටිය නොදී හිටියොත්
මොන දෙයියන්ට කියන්ටද?
සරණා හිත දැඩි කරගෙන කීවේය.
“අපෙ එකී අනුන් ගේ අත්පා මෙහෙවරට යවන්ට බෑ”. බොන්ට කැඳ නැතත් ඒකී ගෙදර ඉන්ට ඕන. බඩවියත රැකගන්ට විදිහක්
නැත්නං, මං ඔය කුලියක් මලියක් වත් කරගන්ට බලන්නං”.
එසඳීගේ හඬ මුරන්ඩුය. අධිෂ්ඨානශීලීය.
“ඒ ඇත්තෝ අඳ කුඹුරු කට්ටිය අපෙන් ගලවා
ගත්තොත්? ගොවිතැන් බත් කරගෙන කන්නකට ගෙදරට ගෙනෙන බැත කරත්තෙත් ඉවරයි. හරක් මේච්චලෙත්
ඉවරයි”.
"මං කුලියට කොළදිං වලට යන්නං ගමේ වෙල් යායේ.
ඔය කවුරු වුණත් වී බුසලක් විතර දෙනව කොළදිමකට ගියාම".
එසඳී ගෙදරට අවශ්‍ය වී හාල් ටික හොයා ගන්න ක්‍රමයක් යෝජනා කළාය.
" දහ පාළොස් දෙනෙකුගේ කොළදින් වලට යන්ට පුලුහං
වුණොත් කන්නකට වී බුසල් දහ පාලොහක් එකතු කර ගන්ට බැරි වෙන එකක් නෑ".
එසඳී කරුණු ගොඩ නැඟුවාය. තවත් දිග නිහැඬියාවකට පසු එසඳී අඳුර අතරින් හඬ
අවදි කළාය.
"තව මදි පාඩුවකට සමූපකාරේ කූපන් හාල් ටිකත් හම්බ වෙනවනෙ".
"අපෙ අපුච්චලත් වැඩ කරපු කුඹුරු කට්ටිය. ඒක
හරියට අපේම පරම්පරාගත දේපොලක් වගෙ නෙව. අඳේ කඩලා වෙන ගොයියෙකුටවත් දෙයි කියල බඩේ ගින්දරේ
බෑ මටනං"
සරණා එවර ඔහුට පක්‍ෂ කරුණු ඉදිරිපත් කළේය.
රාත්‍රි කෑමෙන් පසු දැරියන් දෙදෙනා නින්දට ගිය පසුවත් සරණාත්, එසඳීත් බොහෝ වේලාවක් වාද විවාද කරමින් සඳා වළව්වට යැවීම ගැන තීරණයකට
එලඹෙන්නට නොහැකිව මනස්තාප වූහ. රෑ දෙගොඩහරියක් යනතුරුම එසඳීත් සරණාත් තර්ක විතර්ක අතර කිඳී
හිටියහ.
“දැන් ඒකිටත් අවුරුදු දාහතරක්. අද හෙට ගෙට වෙන්ට ඉන්න කෙල්ල. කොහොමද
පිට තැනකට යවන්නෙ? අනේ දෙයිහාමුදුරුවනේ මේක නං මගෙ
කරුමයක්..."
එසඳී තම හිත වාවනු නොහැකිව තමාටම කියාගත්තාය.
"කෙල්ල යවමු. මමත් හැමදාම වළව්ව පැත්තේ යනවානේ. බයක් වෙන්ට කාරියක්
නෑ."
බිරිඳ අස්වසන අටියෙන් සරණා පැවසුවේය.
අන්තිමේදී දැරිය වළව්වට යවන්නට දෙදෙනාම හිත හදා ගත්හ.
"පුංචි කුමරිහාමිට තනි රකින්ට කෙල්ල ගෙදර නතර කර ගත්තම, ඒකිගෙ ඉස්කෝලෙ ගමනට පාඩු වෙනව කියල, මේ
මිනිස්සු හිතන්නෙ නැති හැටි හබෑටම".
අඩ අඳුර දෙස බලාගෙන වරින් වර එසඳී තම දුක් ගැනවිල්ල ප්‍රකාශ කළාය.
මිඳුල කෙලවරට
වෙන්ට අතුපතර විහිදාගෙන නැඟී සිටින මීගහේ මේ වාරේ මදිනොකියන්ට ගෙඩිපලගෙන තිබුණි. හැමදාමත්
පුරුද්දට වගේ මීගෙඩි කන්ට එන වවුලන් ගේ කන්‍කරච්චලය එසැඳී ගේ හිතට ආවේ සෝක සංකාවෙන්
පිරි සිතිවිලි සමුදායකි. රබර් වතුයාය ඉස්මත්තේ සිට හැන්ඳෑවතේ ගමට එන මාවවුල් රැළ කාකොටා
වැටෙන හඬට සවන් දී සිටි එසඳීට දැනුනේ මහා වියසනයක පෙරනිමිත්තක් අතළඟ දැවටෙන සෙයකි.
සිය බිරිඳගේ දුක්ගැනවිල්ලට
බොහෝ වේලවක් ඇහුම්කන් දෙමින් සිටි සරණා බෙහෙවින් හෙම්ඹත්වී සිටියේය. තීරණාත්මක මොහොතක
තම දියණිය ඇපයට තියන්නට සිදුවීම ගැන සරණාගේ හිත ඔහුට එරෙහිව දෙස් දෙවොල් තියන හඬ ඔහුගේ
හිතට ඇහුණි. ඒත් දීර්ඝ සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගන්නට උත්සාහ
කළා මිස එඩිතර තීන්දුවක් ගතහැකි ඉඩකඩක් අත පොහොනා මානයකවත් සරණාට සොයා ගත නොහැකිවිණි.
" කෙල්ලට කරුණු කාරණා තේරුම් කරල දීල තව ටික දොහකින් ගෙනෙහුන් ඇරලමු”.
දීර්ඝ නිහැඩියාවකට පසු සරණා ඇහෙන නෑහෙන හඬින් වචන ගොනු කළේය
“හෙට මං පන් උගුල්ලන්ට තනියම යනව. යන ගමන් වළව්වට ගොඩ වදින්නං. ඩිංගිරි
හාමුදුරුවොන්ට කියනව ඊයෙ කෙල්ල මඬේ දඹි
ගහල, අවිවෙ කර වෙලා ගිහින් නෑවට පස්සෙ, රෑ මැද්දෙ සහලලා උණ ගැනුණා කියල. එච්චරයි! "
අන්තිමේදී එසඳූම තාවකාලික විසඳුමක් සොයා ගත්තාය.
"හොඳයි එහෙමවත් කියලා බලාපල්ලකො. ඒත් ඉතින් කී
දොහකටද?"
සරණා ද එය අනුමත කළේය.
“පස්සෙන් පහු, උණ බැහිල ගියාම කෙල්ල ඇරැලන්නං කියනව".
එසඳී නැඟිට ගොස් දැරියන් දෙදෙනා
නිදා සිටි පැදුරු දෙක අතරින් තිබුණ කුඩා ඉඩ ටිකේ සීරුවෙන් දිගෑදුනාය. ඒත් නින්දත් නොනින්දත්
අතර බොහෝ වේලාවක් පැදුරේ එහා මෙහා පෙරලුනා මිස නින්දක් නම් පෙනෙන තෙක් මානයකවත්
නැත. කොටින්ම එසඳුටනං මුළු රෑම හරි හමන් නින්දක් ගියේම නැත.
පාන්දර තුනට පිටකන්ද වත්තේ පෙරෙට්ටුවට තප්පු ගහන හඬ එසඳීට ඇසුණි. එතකොටම කොකෝ ගහේ ලගින කුකුල්
නාම්ඹා අඬලනවා එසඳීට මතකය. කුකුළා දෙවෙනිසැරේ අඬලන කොටත් එසඳී තාමත් නිදි නැත. යාන්තම් ඇහැක් පියවුණේ
කුරුල්ලෝ කීං... බීං...ගාද්දීය.
එහෙන් මෙහෙන් කුරුල්ලෝ කෑගහන කොට සරණාට ඇහැරිණි. වෙනදාට වඩා පරක්කුවී ඇතත්
තවමත් ලිප ගිනි මෙලවී නැති වග සරණාට අවබෝධවිය.
ඔහු ඇතුල් කාමරයේ දොර ළඟට ගොස් උලුවස්සට දෑත් තියා සුපුරුදු පරිදි එබී බැලුවේය. අඩවන් දොර අතරින් දැරියන්
දෙදෙනාට මැදින් පැදුර මත වැතිරී එසඳී සිටියේ තද නින්දේ බව සරණා අනුමාන කළේය.
“මේ...ඇහුණද? නැඟිට පල්ලා. මට තේ කහට ටිකක් බීලා කිරි ටික දොවන්ට
තියෙනව" කීවේය.
සරණාගේ හඬින් තිගැස්සී ඇහැරුන එසඳී වහා නැඟිට පැදුරේ වාඩිවූවාය. ලිහී
විසිරී තිබුණ කෙස් වැටිය දෑතින් සකස් කර තදින් ගැට ගසා ගත්තාය. ඉන් පසු දණි පණිගා
නැඟිට කුස්ස්සියට ගොස් කේතලය ගෙන කේතල් කට කළයේ කටට තබා ඇල කර වතුර පිරෙව්වාය.
වළන් පිලේ තිබූ ගිනිපෙට්ටිය ගෙන කූරක් ගැසුවේ මහා උදාසීන කමකින් මෙනි. පොල්කොළ
ටිකක් කුප්පි ලාම්පුවට අල්ලා වේලුන පොල් ලෙල්ලකට මැද්දෙන් තියා ගිනි මෙලෙව්වාය. ඉන්පසු
දර කෑලි දෙක තුනක් ළං කර ලිප මත කේතලය තැබුවාය.
වෙනදා නැති කෙඩෙත්තු ගතියක් සමඟ මහත් උදාසීන කමක් හිතේ තෙරපෙන බවක් එසඳීට
තේරුණි. ඒත් දවස පටන් ගත යුතුමය. වෙනදා ඈ අතින්
ඉටුවුණ සබ්බ සකල මනාවම අනුපිළිවෙලින් සම්පූර්ණ කළයුතුය. කෙනෙකුගේ පිහිටක් නැති
විටක ඕනම මනුස්සයෙකුට මේ වාගෙ තෝන්තුවා ගතියක් දැනෙනවා වන්නට ඇතැයි එසඳී
සිතුවාය.
සීහින්වට ඉරන ලද හනසු කෑල්ලක් ලිපට දමා අනික් ලිපේ වතුර හැලියක් ද ලිප
තැබුවාය. ඒ උදේට බතක් උයන්නටය. ඒ අතර සරණා අඟුරු කෑල්ලක් විකමින් බුලත් කහටින්
රත් පැහැගැන්වුණ දත් දෙපෙළ මැද උගුර පාදන හඬ එසඳීට ඇසුනි.
" මේ උදේ පාන්දර, මේ මනුස්සයා හතර දිග්
බාගෙටම ඇහෙන්ටනෙ කාරන්නෙ . අහල පහල මිනිස්සු ඇහැරවන්ටද කොහෙදො".
ඇහෙන නෑහෙන හඬින් එසඳී තමන්ටම
කියාගත්තාය.
හැමදාමත් උදේ පාන්දරට සරණා මූණ කට හේදුවේ ඔයාකාරයටමය. අද ඇයට ඒ හඬ ඇසුණේ
පළමු වරට නොවනබව මොහොතකින් මෙනෙහි වත්ම, වෙනදා නොකියවෙන යමක් කියවුණාදැයි
සිතුන ඈ පසු තැවුනාය.
සරණා මූණ කට හෝදාගෙන කුස්සියට ගොඩවෙන විට එසඳී තේ කහට කෝප්පය කුස්සියේ කොට
බිත්තිය මත තියා හකුරු බෝතලයද ඒ අසලින් තැබුවාය.
සරණා පුරුදු පරිදි තේ කහට කෝප්පය බීවේ වංගෙඩිය මත හරහට දමන ලද ලෑල්ලේ
ඉඳගෙනය. දෙදෙනාම නිහඬව තමතමන් ගේ වැඩ වල යෙදුන මුත් කිසිවෙකුත් කතා කළේ නැත. තම තමන් ගේ හිත්වල තෙරපෙන
බර නිදහස් කරන්නට යාම අනිකාට බරක් වේයැයි බියෙන් මෙනි.
කහට ටික බී අවසන් කළ සරණා කෝප්පය කොට බිත්තිය මත තියා මිදුලට බැස හරක් ගාල දෙසට ගියේ
ඔහුගේ ඊළඟ රජකාරියවු කිරිදෙවීම සඳහාය.
පොල් සම්බලයක් හදා කුම්ඹලා කෑල්ලක් ලිපේ දමා පුළුස්සා ගත් එසඳී එනමල් පිඟානට බත් බෙදා මැටි කෝප්පයකින් වසා වළන් පිලමතම තැබුවාය. සරණා
කිරිදෙවූ පසු එසඳී ඒවා බෝතල් වලට දමා අහල පහල ගෙවල් කීපෙකට ගෙනෙහින් දුන්නාය.
තුනපහ ටික ගන්නට කිරි වෙළඳාමෙන් ලැබෙන සොච්චමද එසඳීට ලොකු ආදායමකි. අදද ඒ රාජකාරිය
ඈ විසින් කළයුතුව ඇත. දැරියන් නැඟිටින්නට පෙර ඇය පිටත් වූවාය.
"එහෙනං ගෙදරින් යන කොට කෙල්ලො දෙන්න එහා
ගෙදරවත් නතර කරලා පලයල්ලා"
එහා ගෙදර කීවේ
සඳලතාලාගේ ළඟ නෑයෙකුගේ ගෙදරටය. ඒ ගෙදර දැරියන් හතර දෙනෙක් සිටි අතර සඳලතාටත් සුගලාටත්
හිතූ මනාපේ කෙළිදෙළෙන් දවස ගතකරන්නට නොමද ඉඩකඩ එහිදී සැපයිණි.
එසඳී ආපසු එන විට සරණා බුලත් මඩිස්සලයත් රැගෙන හරක් මේච්චලේට යන්ට මඟට
බැස්සේය.
ආයේ දවසක දොඩමළු වෙමු...
මල්ලිකා එම් බණ්ඩාර
4. 08. 2021