Tuesday, 31 August 2021

මං තීරු

 

වැද රළ පතර බිඳෙනා රළපනාවේ

ඔද තෙද වෑබැම්ම රැකගත් මනාවේ

සිඳ බිඳ දමන්නට රුපු කැළ ගෙනාවේ

රහ​ වැටිලාද කහවනු වන්දනාවේ ?

 

සිදාදියෙන් ඇවිදින් රජ සිටු ගොල්ල

විධානය කරති ජන හඬ​ කර මෙල්ල​

මුදාගෙන හෙලෙව්වට බෙලිකටු මල්ල​

මෙදානං එපා පුද දෙන්නට බෙල්ල​

 

කර ගැට පිපී පදමට හුරුවුණ​ අල්ල

කැත්තේ උදැල්ලේ වෙර බිඳ දුටු නිල්ල​

බත සරිකරන්නට ​ හෙලු දහදිය ඇල්ල

කහවනු වලින් මිලකළ නොහැකිය කොල්ල​!

 

සක්මන් මලු තනා වෑ බැමි තාවල්ල

ඉක්මන් ගමන් කිම? කොතනද නැවතිල්ල?​

පුලතිසි පුරත් පේකර දීලා ​ බිල්ල​

පුරවා තබනවද නිරිඳුන් ගේ මල්ල?​

 

සාගත වසංගත මැද දහ දුක විඳින

අන්තිම සුසුම රැකගන්නට පොර බදන​

හැමදාමත් තැළෙන පොඩිවෙන දන හැඳින

නිස්සක් කරපන්න තුන්කල් පල දරන​​

කදිමට මැන තළා බැම්මේ ආරාව

විනිවිද යානොදී වැව් දිය සීරාව

බැඳි දිය​ ​ කළම්බා දැළ ලන ලීලාව

මේ නම් නොවෙයි පැණි වළඳන හෝරාව!

 

හේනේ ලියද්දේ ගොඩ මඬ සරු කෙරුණු

යළ මහ දෙකට රන් අස්වනු පළ දැරුණූ 

ගල් මුල් බොරළු මත පා යුග දිග හැරුණු

වෑ මංකඩට කිම ගොරහැඩි බුමුතුරුණූ?

 

මල්ලිකා එම් බණ්ඩාර​

30. 08. 2021

No comments:

Post a Comment