අද එතැන් සිට...
පසුදින සෙනසුරාදාවක් බැවින් එසඳූ කිරිබතක් උයා පොල් සම්බලයක් හදන්ට සූදනම්
වූවාය. සරණා කහට කෝප්පය බී අවසන් කර කෝප්පය පතුලේ තිබුණ තේ මන්ඩී ටික මිදුලට වීසී
කළේය. අනතුරුව කෝප්පය අතැතිව කුස්සිය දෙසට එබී බැලුවේ එසඳී පෙනෙන තෙක් මානයක
ඇද්දැයි දැනගන්නටය.
ඔහු හුන් තැනින් නැඟිට ගොස්
කුස්සියේ දොර උළුවස්ස දෙපසට දෑත් තබා ඇතුළට කර පොවා බැලුවේය. ඈ හිරමනය මත වාඩිවී
ලිපට පිඹිමින් සිටියාය.
"මට ඔය හීල් බත් ටිකක් තියෙනවනං බෙදල
ගනිල්ලකො". සරණා කීවේය.
"හීල් බත් නං තියෙනව. මං මේ කිරිබත් ටික
ඉදෙනකං ලුනු මිරිසක් හදන්ට පොල් ටිකක් ගානව". එසඳී හිරමනය මත හිටිවනම
කීවාය.
" අද වළව්වත්තේ පොල් කඩනව. ටිකක් උදැනැක්කෙන්
යන්ට කියල. කලින්ම හරක් දිගේලි කරල ඔය එහෙ මෙහෙ වෙන කොට පොල් කැඩුං කාරයො එයි.
එතැන හිටං පොල් අහුලන්ට එපායැ".
සරණා කියාගෙන ගියේ බිරිඳට වුවද, එය තමන් ගේ දවස ආරම්භ කොට නිම කරන කාල සටහන
සිහි කැඳවීමක්ද විය.
" කෙල්ලො දෙන්නත් එක්ක මාත් අද උදෙන්ම බෝගහ මුල
ලියද්දෙ තෙලහිරියා ටික ඇදල
දාන්ට යන්ටයි හිටියෙ. ඒ වුණාට වළව්වට ගොඩ වදීන්නෙ
නෑ".
එසඳූ ඇගේ කාල සටහන සිහිපත් කළාය.
සරණා කුස්සියේ දොරළඟ තිබූ කොලොම්ඹුව මත හිඳ ගත්තේය. එසඳී බෙලෙක් පිඟාන සෝදා හීල් බත් සහ ඊයේ රෑට උයන ලද වෑංජන බෙදා සරණා අතට පිඟාන පිළිගැන්වූවාය. ඉන්පසු කළේට වසා තිබූ පොල්කටුව ලිප ළඟ මිටි කොලොම්බුව උඩ තියා, වතුර කළේ කටට බෙලෙක් කෝප්පය ළංකොට, කළය ඇල කළාය. මේ එකින් එක සීරුවට කළ එසඳී වතුර කෝප්පය සරණා ඉඳගෙන සිටි පුංචි බංකුව ළඟ වම් පසින් තැබුවාය. අනතුරුව සරණා දෙසට මඳක් නැඹුරුව හීන් හඬින් කතා කළාය.
"මං කෙල්ලො දෙන්න එක්ක වළව්ව පැත්තට නොඟිහින්
මඟාරින්නෙ වෙන මොකටවත් නෙවෙයි.... ඩිංගිරිහාමුදුරුවො මනාපයි අපෙ සඳලතා වළව්වෙ නවතා
ගන්ට. පුංචි කුමාරිහාමිට තනියට කියල තමයි ගෙන්න ගන්ට හදන්නෙ. ඒත් කවුද දන්නෙ ඔය
වළව් ඇතුළෙ තියෙන දේවල් ගැන."
කටට ගත් බත් පිඬ ඉක්මණින් ගිල දැමූ සරණා වතුර උගුරක්ද බීවේය.
"ඇයි උඹලගෙන් ඇහුවද කෙල්ල එහෙ ගෙනහුන් ඇරැලන්ට
කියල? ඇසුවේය.
"ඇහුවම නෙවෙයි. දවසක්දා ඩිංගිරි හාමුදුරුවෝ
නිකමට වගෙ කීව. ඒ වුණාට ඒ කියමන මට
ඇල්ලුවෙ නෑ".
" උඹල මොකද කීවෙ?"
"මං කියපු දෙයක් නෑ. මටත් මේ දරුවො රොත්තක් ඉන්නව කියලයැ. වෙස්සන්තර වෙලා දාන පාරමිතාව පුරන්ට”. හිටියා වුණත් ගෑනු දරුවො අනුන් ගේ ගෙවල් වල වාල් කමට යවන්ට පුළුවන්ද? රජසැප දෙනව කීවත් මගෙ ඇස් මායිමෙන් එහා කෙල්ල තියන්ට මනාප නෑ මං ”.
සරණාගේ කෑමේ වේගය වැඩිවිය. බත් පිඟාන ඉක්මණින් හිස්කර වතුර කොප්පය එක
හුස්මට බීගෙන බීගෙන ගියේය. එකද වචනයක්වත් නොදොඩාම, හුන් තැනින් නැඟිට ගත් සරණා, මිට දිග වප්පිහියත් බුලත් මඩිස්සලයත් අතින් ගෙන, මිදුලට බැස සුපුරුදු පරිදි දෙණිය පැත්තට යන්ට ගියේය.
මිදුල දිගේ ගොස් වත්ත පහලට බැස දෙණිය දිගේ නොපෙනී යන සැමියා දෙස බලා සිටි
එසඳී පොල් සම්බලය හදන්නට අවශ්‍ය කළමනා ගත්තේ තරමක උදාසීනත්වයකිනි.
එසඳූ පොල් සම්බලය අඹරන්ට අවශ්‍ය රතු ළූනු ගෙඩි දෙකක් සුද්ද කර පසෙකින්
තැබුවාය. ඉන්පසු මිරිස් ගල සෝදා ඒ මත හීන් කොච්චි මිටක් තැබූ ඇය ලුණු
පොල්කට්ටෙන් ලුණු කැට කීපයක් බේරා ගත්තාය. ඉන්පසු දුම්මැස්සේ එල්ලා ඇති සියඹලා
දමන ලද පුවක් කොළ ගොට්ටට අතපොවා එයින් බික් දෙකක් අතට ගත්තාය. කොච්චිකරල් පොඩිවෙන
විට දැනෙන සැරැ මුසු සුවඳ ආග්‍රහණයට එසඳී ප්‍රිය කළාය. කොච්චිත් ලුණු කැට කීපයත් සිහින් වෙන්නට ඇඹරූවාට පසු
සියඹලා බික් දෙකද, රතුළූණු ගෙඩි දෙකද ගලේ දමා පොල් ටික හොඳින්
මිශ්‍ර වනසේ දෙතුන් වතාවක් අත් ගල යන්තමින් එහෙ මෙහෙ තැළෙන්නට ඇරියාය. ඊළඟට කොච්චි සම්බෝලය කුඩා මැටී කෝප්පයකට දමා වළන්පිල මත තැබුවාය.
වෙනදා උදේ හය වෙන කොට අවදිවන දැරියන් දෙන්නා තවමත් පැදුරේ ගුලිගැසී නිදාගත්
වනමය. එසඳූ කුස්සියට යාබද කාමරයේ දොරකඩට කර පොවා දැරියන් දෙදෙනා ඇමතුවාය.
සඳලතා...! සඳලතා!
“ඇයි?”
“මදෑ නිදා ගත්තා. නැඟිටලා ලෑස්ති වෙන්නෙ නැද්ද වෙලට යනවානං”.
"පුංචි එකී...!
"ඈ...යී...ඊ".
ඒ හඬින් සුගලාද අවදි වූවාය.
ටික වේලාවක් ඇස් පොඩිකරමින් පැදුරේ ඇලී සිටි සුගලාද අක්කා අනුකරණය කරමින්
කුස්සිය දෙසට ආවාය.
"ආං ... කිරිබත් හදල තියෙනවා. මූණ හෝදාගෙන කාලා
ලෑස්ති වෙයල්ලා මාත් එක්ක යනවානං. නැත්තං...ගෙදර හිටපල්ලා".
"අපිත් එනවා".
දෙදෙනාම එකවර ප්‍රතිඋත්තර දුන්හ. ඉන්පසු දෙදෙනාම මූණ කට සෝදා ගන්නට
යුහුසුළු වුනේ මහත් ප්‍රබෝධයකිනි.
කොච්චි සම්බෝලත් එක්ක කිරිබත් කා, වතුර පොල්කට්ටක් හිස් කළ එසඳී දැරියන්
දෙදෙනාත් සමඟ ගමනට ලක ලෑස්ති වූවාය.
එසඳූ පරණ ගෝනියක්, වප්පිහියක් සමඟ ලනු පොටක් සහ තලකොළ මල්ලක්ද
පිලමත තියා, බුලත් විටක් සූදානම් කළාය. සඳලතා පුංචි තල කොළ මල්ලක් සහ තලය ගෙවීගිය
මිට සහිත කුඩා පිහියක්ද සොයාගෙන ආවාය. සුගීද සෙල්ලම් ගෙයි ඉවුම් පිහුම් වලට පාවිච්චි කරන පිහිය සොයන්නට ඒ
මේ අත දිව ගියාය. මඳ වේලවකට පසු ඔට්ටපාලු වලින් ඔතන ලද කැඩී ගිය මිට සහිත කුඩා
පිහිය අතැතිව සුගලා, අම්මා ඉදිරියේ පෙනී සිටියාය.
"උඹත් ගනිං ඔය පුංචි මලුපිටක්".
සුගී දෙස ඕනෑකමින් බැලූ එසඳී කීවාය.
සුගී කුස්සිය ළඟ බරාදයට දිව ගොස් අතට අහුවුණ මල්ලක් අරන් අම්මා ළඟට දිව
ආවාය.
"මෙහෙ දීපන් ඕක! පොලට යනකොට පුවක් ගෙඩි ටිකක්වත් දාගෙන යන්ට තියෙන
මල්ල."
පන් මල්ල දැරිය අතින් උදුරාගත් අම්මා කුස්සිය මුල්ලේ වේලාපු පුවක් දමා තිබූ
පරණමලු කබලක් අතැතිව එළියට ආවාය.
" ඊයා. ඕක කැතේ බෑ."
සුගී ඊට අප්‍රසාදය පලකළාය.
" උඹට සන්දේ පොලට යන්ට නෙවෙයි ඔය මල්ල. පන් මිටිය ඉහ තියාගෙන එන්ට.
ගනිං හොඳ හිතින් ඕක".
අම්මගේ තරවටව හමුවේ අසරණවූ දැරිය දෙතොල් පිට පොට කවමින් මල්ල අතට ගත්තාය.
"අපි වළව්වටත් යනවද අම්මා? ගියොත් තේ බීලා එන්ට
පුළුවන්"
“පලයං වළව්වට තේ බොන්ට. ඇති, මේං කියල. මේසෙට
සුද දාලා. අඩෙ අප්පා! තේ වලට කැවිලි පෙවිලිත් හදල
ඇති".
අම්මා ගේ අසාමාන්‍ය නොරිස්සුම් ස්වරයෙන් තැති ගැනුන දැරියන් දෙදෙන මුහුණින්
මුහුණ බලා නිහඬ වූහ.
කුස්සියේ දොර ලෑල්ල" දඩස්" ගා තදකර ගේ හරහා ඇවිත් ඉදිරිපස දොරළඟ
නතරවුන අම්මා දෙසට දැරියන් දෙදෙනාම
ගාටන්නට වූහ.
" ගමන අසාර්තකයි". දෙදෙනාටම වැටහිනි.
ආපසු හැරී බැලූ එසඳූ දැරියන් ගේ ඇඳුම් ගැන සෑහීමට පත් නොවූවාය.
" උඹලා යන්නෙ කුඹුරට...! පිරුවට ඇඳගෙන ගිහින්
බෑ අර මඩිත්තට. පරණ ගවුමක් ඇඳගෙන, දියරෙදි කඩත් ගනින් සඳලතා... උඹට කුඹුරෙදි
අඳින්ට".
සඳලතා ගෙතුළට දිව්වාය.
" මෙහෙ වරෙන්. ආං දියරෙද්ද වැලේ". අම්මා
දැරිය දැනුවත් කළාය.
අනතුරුව සුගී දෙස බැලූ අම්මා කජු පුහුලන් සහ ලොවි ගෙඩි ඔඩොක්ක්කුවේ දාගෙන
එද්දී කහට පැල්ලම් වලින් මුද්‍රිතව අවපැහැ ගැන්වුණ ගවුම දැක ;
" උඹට හොඳටම හොඳයි ඕක". කීවාය.
ඉන්පසු දොර වසා මළ කෑ යතුරෙන් දොර අගුළු ලෑවාය. දෙවැටෙන් අඩිපාරට බැස වෙල්
පිල්ලෑව දිගේ ඇළ කණ්ඩිය අසලට ඇමිණි පසු එසඳී ගැහැණු ළමයින්ට කතා කළාය. ඒ වන විටත්
දැරියන් දෙදෙන පුංචි පොල් කොට ඒදණ්ඩ මත
සීරුවෙන් ගමන් කර එගොඩට ගොස් සිටියහ.
“ඔහෙ හිටපල්ලා”
එසඳූ තරමක් උස් හඬින් දැරියන් ඇමැතුවාය.
“ඇයි අම්මා?”
පිටු පස හැරුණු සඳලතා ඇසුවාය.
" අද අපි යන්නේ වළව්ව මඟෑරැලා. කතා නොකර, මට
පිටි පස්සෙන් වරෙල්ලා දෙන්නම. ඇහුණද සුගියේ?
සඳලතා විමතියෙන් අම්මා දෙස බැලුවා මිස ප්‍රශ්න කළේ නැත.
“අම්මා අද අමුතුයි".
අසාමාන්‍ය දෙයක් ඒ පිටු පස ඇතැයි දැරියන් දෙන්නාම අනුමාන කළත්, හාරා අවුස්සන්නට යෑමෙන් අම්මා කෝපවනු
ඇතැයිද, එසේ වුවහොත් බැණවදිනු අතැයිද, අවසානවශයෙන් ගෙදර නතරවීමට සිදුවෙනු ඇතයිද සිතුන බැවින් නිහඬව ඇයට
අනුකූලතාව දැක්වූහ.
ටික දුරක් කතා නැතිව ගමන් කළ දැරියන් දෙදෙන අම්මාට සමීපව ගමන් කළහ. සුගී
අම්මාගේ නෙරිපොට කෙලවරින් ළාවට අල්ලාගෙන
ගමන් කළාය. කිසියම් ඉවකින් මෙන් තමන් හඹා එන අනතුරක් ඉව වැටුණ කලක මෙන්
වළව් වත්තේ ඈතින් ගමන් කොට දංගොල්ල කුඹුරු යායට ළඟා වූහ. කම්බි වැටෙන් රිංගා
කුඹුරේ මහ නියරට පය ගැසූ එසඳූ වටපිට බලා, සුසුමක් හෙලුවාය.
කිහිල්ලේ රඳවාගෙන ගිය ගෝනි පඩංගුව නියර මත තබා ඇඳ සිටි කම්බාය උනා හොඳින්
නවා ගෝනිය මත තැබූ එසඳී, දිය රෙදිකඩ ඇඳගත්තාය. සඳලතාද ඇඳ සිටි ගවුමට උඩින් දියට
අඳින රෙදි කඩ දවටා ගත්තාය. පළමුව කුඹුරට බැස්සේ අම්මාය.
"දණිහ ළඟට කොට කරල ඇඳපන්" දැරියට ද
කීවාය.
සුගී තම කහට ලැල්ලම් සහිත චීත්ත ගවුම පිටින්ම කුඩා පිහිය අතට ගෙන අම්මා
අනුගමනය කළාය.
"පුංචි එකී උඹ ඔය මල් පිපුණ තෙලහිරියා ගස්
මුලින්ම කපාපං. අක්කා වගේ ගහෙන් ගහ අදින්ට එපා. ඔව්වට අත කැපෙනවා". එසඳූ
කීවාය.
සඳලතා ගොයම් අතරින් සීරුවෙන් ඇවිද ගොයම් කොළ අග්ගිස්සෙන් මතුව ඇති
තෙලහිරියා මල් හොය හොයා ගොස්, මල පිපුණ බඳ සෙමෙන් උඩට ඇද්දාය. "කීස්" යන හඬින් පන් ගහ බිඳී උඩට එන
විට ඇයට සතුටක් දැනුණි.
පැයක් හමාරක් ඇතුළත එක කුඹුරක වැවුණ තෙලහිරියා පන් උගුල්ලා දමන්නට එසඳිත්
ගැහැණු ළමයින් දෙන්නාත් සමත් වූහ.
" මං විටක් හපනකං උඹලා දෙන්නා අර මාදං ගහ යට දං
වැටිලද බලලා ඇහිඳ ගනිල්ලා".
මාදං ගහ පෙන්වූ එසඳී දැරියන්ට විවේකයක් දී තමන් ද මදක් හෙවනකට වී සිටියාය.
දැරියන් දෙදෙන මිටින් හල කිරිල්ලියන් මෙන් දං ගහ යටට ඉගිල ගියහ. කුරුල්ලන්
විසින් කා දමන දං ඇට ගහ මුල විසිරී තිබුණි. ඒ අතරින්, හොඳින් ඉදී බිම වැටුන
දංගෙඩි අහුලන්නට, අක්කත් නංගිත් පොර කෑහ. සුගලා සුපුරුදු
පරිදි මාදං ඇහිලුවේද ඔඩොක්කුවටය. කජු පුහුලන් හා ලොවි කහටට අමතරව මාදං කහටද ඇගේ
ගවුමේ ඉදිරිපස වර්ණ ගන්වනු ඇත.
දහවල් දොළහ පමණ වන විට අපුච්චා විසින් පොල් ඉරටු දෙකක අමුණන ලද පැළපී වැල්
දෙකක් දෑතින් එල්ලා ගෙන එනු දුටු දැරියන්ට ඉහිලුම් නැති සතුටක් දැනිණි. සඳලතාත්
සුගලාත් තරඟයට මෙන් අපුච්චාගෙන් පැළමඳ ඩැහැ ගන්නට දිවගියහ. අපුච්චා කටු කම්බි වැටෙන් රිංගා පැළමඳ වැල් දෙක දං ගහ යටට ගෙනත් දුන්නේය. කරේ
තිබුණ අමුඩ ලේන්සුව තණ කොළ බිස්සේ එළා ඒ මත ඉඳගත් සරණා;
“උඹලත් පැළ මඳයක් කාපල්ලා” යි බිරිඳට කීවේය.
"උඹලා ආවේ ඇල පැත්තෙන් ද?
"ඔව්. වලව්ව පැත්තෙන් ආවෙ නෑ. ඩිංගිරි හාමුදුරුවංගෙ ඇහැ ගැහෙයි කියල".
"ඒක හොඳයි. කෙල්ලො දෙන්නත් ආව එකේ වළව්ව මඟෑරපු එක"
"ටික දොහකට මුලිච්චි වෙන්නෙ නැතුව ඉන්නවා".
"කී දොහකට නං කියලද..."යි කී සරණා නැඟිට අමුඩ ලේන්සුව දෙපාරක් ගස
දමා කරේ රඳවා ගත්තේය.
"හරක් ඇලට දාලා වළව්ව පැත්තට යන්නංකො" කී සරණා වැටෙන් රිංගා වළව්
වත්ත දිගේ යන්ට ගියේය.
පැළමඳය අවසාන කොටස කටට දාගත් එසඳී මඳයේ මුල නියර උඩට වීසි කර නැවතත් ලියද්දට බැස්සාය.
"පුතේ උඹලා ඔය දංගහ යටට වෙලා ඉඳපල්ලා. මං තව
පන් දෙමිටක් ඇදගෙන එන්නං අව්ව සැරවෙන්ට ඉස්සර ගෙදර යන්ට"
"අපිත් එන්ටද අම්මා".
" කී දේ අහපල්ලා දැන්. අව්වේ කර
දැවෙන්නැතුව"
දැරියන් දෙදෙනට දං ගහ යට ඉන්ට ඉඩ හැර, අනතුරුව එසඳි වෙලට බැස ගොයම් පීරමින්
තෙලහිරියා ගස් ඇද්දාය. නළල් තලයට දකුණතේ අත්ල තබා ඉර මුවා කර කීප විටක්
එසඳූ දං ගහ යට ද සෝදිසියෙන් බැලුවාය. තවත් සෑහෙන වේලාවක් ලියද්ද පුරා එහෙ මෙහෙ
ඇවිද මඟ ඇරුන පන් ගස් ඇද්ද'යි කර පොවා බැලුවාය. අනතුරුව "ඉතින්
ඇති"යි තමාටම කියාගත් ඈ ලියද්ද දිගේ ඇවිත් නියරට ගොඩවූවාය.
"පැදුරකට සෑහෙන්ට පන් ටිකක් ඇද ගත්තා”.
ඇද ගත් පන් ටික උකුලේ තියාගෙන දැරියන් සිටි තැනට එන ගමන් කීවාය.
"කෝ ඔය නියර උඩ තියෙන පන් ටික එකතුකර ගෙන මෙහාට ගෙනා වරෙල්ලා".
අම්මාගෙ හඬට අවනත වූ දැරියන් දෙදෙන
නියරේ තැන් තැන් වල තිබූ කුඩා පන් ගොඩවල් එකතු කරන්නට යුහුසුලු වූහ.
"කෝ උඹල ගෙනාව මලු? ගනිල්ල මෙහාට පන් මිටි බඳින්ට".
" අපි ගැලෙව්වෙ ටිකයි අම්මා" සුගලා නිදහසට
කරුණු කීවාය.
"උඹල පන් ගලවන්ටයැ ආවෙ. ගස් යට තියෙන උටි-බුටිකා කන්ට මිසක්"
එසඳූ කීවාය. දැරියෝ නිහඬවූහ.
පුංචි පන් මිටි දෙකකට සෑහෙන පන් වෙන්කර දැරියන්ට පසෙකින් තැබූ එසඳී, ගෝනි පඩංගුව දෙකට නමා තණ
කොළ මත එලන ලද ලනු පොටවල් දෙක මත හරස් අතට පන් ඇතුරුවාය. ඉන් අනතුරුව ඉතිරි පන්
ගොඩවල් එක මත එක තියා මුල් එකලස් කර තදින් බැන්දාය.
ඉන්පසු, පන් මිටිය දං ගහ ළඟ කම්බිය යටින් වළව් වත්තට පෙරලුවාය. දැරියන් දෙදෙනා සඳහා ඉතිරි පන් ටික දෙකොටසකට බෙදා කොහු ලනු පොටවල් දෙක බැගින් බිම අතුරා ඒ මත මලු පිට තියා සුරුහමට බැන්දාය.
දැරියන් ගේ පන් මිටිද වැටෙන් එහා පැත්තට දමා දැරියන් එකිනෙකා කම්බිය යටින් වත්ත ඇතුළට
රිංගන්ට සැලැසුවාය. අන්තිමට එසඳී වැටෙන් රිංගුවාය.
ඉන් පසු එක පයක දණ නමා පන් මිටිය නැඟිට්ටවා මලුපිට හිසට තියා,
“ටිකක් අත ගහපං සඳලතා” කීවාය. සඳලතා බිමට නැඹුරුවී අම්මාට පන්මිටිය ඉසට ගන්නට පහසු වන
පරිදි දෑතින්ම උස්සා උදව් කළාය.
“උඹට පන් මිටිය ඉහට ගන්ට පුලුවන් නේද?
එසඳී දියණියගෙන් ඇසුවාය.
"ඔව්" කී සඳලතා නංගීගේ උදව්වෙන් පහසුවෙන්ම පන්
මිටිය හිසට ගත්තාය.
අන්තිමේදී ඔලොක්කු
හිනාවක් මුවග රුවා සුගි දෙස බැලු එසඳි,
" උඹෙ කණහුලත් ගනිං". කීවාය.
“ සුගියො උඹට ඇහුණද ? කට කමසෙයියාවක් නැතුව. දෙඩවිල්ල නතර කරලා, හරිද?"
"හරි ඉතින්. ඇයි මටම කියන්නෙ?"
"දෙන්නටම තමයි කියන්නෙ"
"සඳෝ, ටිකක් ඇහැ කණ ඇතුව, අර අලකොළ ලන්ද පැත්තෙන්, ඇල අයින දිගේම යං".
එසඳී අවසාන නියෝගය දුන්නාය.
අදට එච්චරයි!
මල්මද බිසවුන් සමඟ පිළිසඳරට පැමිණි
පාන්කිරිත්තන්ට ස්තුතියි!
ආයෙත් හමුවෙමු!
මල්ලිකා එම් බණ්ඩාර
03. 08. 2021
No comments:
Post a Comment