Thursday, 29 July 2021

මල්මද බිසව් - 9 වන කොටස​

 

 අද එතැන් සිට​...

කොස් පලුව සුද්ද කර අවසන්වූ අම්මා කුස්සිය තුළට වැදී රෑ කෑම පිළියෙල කරමින් සිටි අතර ඇඳිරියත් සමඟ ගෙට ගොඩවන අපුච්චාට තේ කහට එකක් හදන්නට අවශ්‍ය වතුර දමා කේතලය ලිපට යාබදව තැබුවාය​.  ගේ පිටිපස්සෙන් ඇවිත් අපුච්චා තණකොළ කූඩය හරක් ගාල ළඟ අතාරින හඬ ඇසුණු සැනින් සඳලතාත් සුගලාත් කුස්සිය පැත්තට දිව යන්නට වූහ​. දැරියන් දෙදෙනාගේ කලබලය දෙස​ එසඳී මොහොතක් බලා සිටියාය​. මේ කලබලය පිටුපස ඇති හේතුව අනුමාන කරන්නට ඇයට අපහසු නොවිණි.

දැරියන් දෙන්නාගේ කලබලයෙන් ඇයට ඉඟියක් ලැබුණ සේය​.

"කොහෙද මේ කුළු හරක් රංචුව වගේ දුවන්නෙ කියල මං මේ බලාගෙන හිටියෙ".

එසඳී තමාටම කියාගත්තාය​.

අනතුරුව ඇය කුස්සියේ පිටුපස දොරෙන් හරක් ගාල දෙසට එබිකම් කර බැලුවාය​. ගොම්මන් අඳුරත් සමඟ ගෙට ගොඩවෙන අපුච්චා කෙල්ලන් දෙන්නා එක්ක කතාකරන හඬ ඊළඟ මොහොතේ ඇයට ඇසිනි.

අපුච්චා නෙවැරදීම අඩුතරමින් මසන් ගෙඩි දෙකතුනක්වත් බුලත් මල්ලේ දමාගෙන එන බව දැරියන් පුරුද්දෙන් දනී. ගෙදර සිටින එළවැස්සියන් දෙන්නාට සෑහෙන තරමට​ ​වළව් වත්තෙන් කපාගත් තණ කොළ කූඩයට අමතරව ගස් යට වැටී කුණුවී යාහැකි  පලතුරු ටිකක් අහුලා ගැනීමට අපුච්චා අමතක නොකරයි. පුරුද්දක් විදියට අපුච්චා එනතුරු මහත් උනන්දුවෙන් දැරියන් බලා සිටින්නේ එබැවිනි.

තණ කොළ කූඩය ලිහා එළදෙනුන්ට වතුර බාල්දි දෙකක් ගෙනවිත් දුන් අපුච්චා ඉසේ​ බැඳ​ සිටි සුම්බරය ලිහා දෙතුන් විටක් ගසා දැම්මේය​. අනතුරුව ළිඳ ළඟට ගොස් මූණ කට සෝදා ගත්තේය​. මේ අතර දැරියන් අපුච්චාගේ බුලත් මල්ල එකිනෙකාගෙන් උදුරාගන්නට පොරකමින් කුස්සිය තෙක් ආවෝය​.

" පොරේ නතර කර පල්ලා"

අම්මා අනතුරු ඇඟෙව්වාය​.

මේ නංගි මසන් ගොඩක් තෝරා ගත්තා”.

සඳලතා චරු-චුරු ගෑවාය​.

"උඹ නහයෙන් අඬන්නෙ නැතුව හිටපන් සඳා. එයා තවම පුංචි එකීනෙ.

හ්ම් හොඳ පුංචි එකී. දැන් එයාට අවුරුදු පහයි... නෑ හතයි! ඒවුණාට එයා නැන්දම්මා කෙනෙක් වගෙ".

ඔව්! මට හතයි. අක්කට දොළහයිනෙ”. සුගී කියන්නීය​.

අම්මා මැදිහත්ව​ සඳලතාට මෙන්ම​ සුගලාටද ඇගේ හරි වැරැද්ද තේරුම් ගන්නට ඉඩ හැරියාය​.

"පුංචි එකී උඹටත් ඒකිත් එක්ක හරි හරියට ඉන්ටමයි හිත". කීවාය​.

"ගෙදරට ගෙනා දේ දෙකට බෙදා ගන්ට බැරුව නෙව ඔය පොරේ"

දැරියන් දෙන්නා පේර ගෙඩි කීපය බැගින් ගෙන පසෙකට වූහ​.

කුස්සියට ඇතුළු වෙන ගමන් අපුච්චා දෑකැත්ත කුස්සියේ වහලේ පොල් අතු පේළියක් අතර පරිස්සමින් රඳවමින් අද හරි මහන්සියි යකුනේ කීවේය​.

අම්මා අපුච්චාට තේ කහට කෝප්පයක් හදන්නට ලිප ළඟට ගිය අතර අපුච්චා පිල මත සුපුරුදු පැදුරේ වාඩිවී තේ කෝප්පය එනනතුරු බලා සිටියේය​. තවත් මොහොතකින් අම්මා තේ කහට ජොග්ගුවත් අපුච්චාගේ කුසලානත් එක් අතකින් ගෙන, හකුරු කෑලි දැමූ බෝතලය අනික් අතේ තියාගෙන පිලට ආවාය​. සුගලාත් සඳලතාත් පිලේ අනික් කෙලවරේ වාඩිවී අපුච්චා ගෙනා පලතුරු කෑහ​.

" සඳලතා මගෙ කහට පොල් කට්ට ගෙනා වරෙන් පුතේ". අම්මා කීවාය​.

සඳලතා වහා නැඟිට කුස්සියට දිව ගියාය​. අපුච්චාගේ කුසලානට තේ කහට ටිකක් දැමූ අම්මා එය අපුච්චා අසලින් තැබුවාය​. ඉන් පසු හකුරු කෑල්ලක් බෝතලයෙන් ගෙන අපුච්චාගෙ අතට දුන්නාය​. අනතුරුව සඳලතා ගෙනා පොල්කටුවට ඉතිරි තේ ටික හලාගත්තාය​.

"ඕං උඹලට ඩිංගිරිහාමුදුරුවෝ වැඩක් පංගාර්තු කෙරුවා".

අපුච්චා අම්මා දෙස බලා කීවේය​.

ඒ සැරේ මොන සංගදියක්ද​?

"අර බෝගහ මුල ලියදි කට්ටියේ තෙලහිරියා මතුවෙලාලු. ඒ ටික ඇදල දාන්ට කීවෙ"

"අම්මේ... මාත් එන්නං අම්මත් එක්ක​?

 අපුච්චා කතාව ඉවර කරන්ටත් පෙර​ සුගී ඉස්සර වූවාය​.

"අනේ අම්මේ මාත් එනව​".

ඒ සැරේ  සඳලතා පැන්නාය​.

" කට වහපල්ලා. ඉතිංඋඩ පනිනව රෝන්දෙ යන්ට​"

අම්මා දැරියන් දෙන්නා වළව්වත්ත හරහා කැඳවාගෙන යෑමට මනාප නැත​. ඒ ඩිංගිරි හාමුදුරුවෝ අම්මාගෙන් කළ ඉල්ලීම සිහිපත් වීමෙන් වෙන්නට ඇතැයි සුගලා අනුමාන කළාය​.

"මට අඩීයක් හොල්ලන්ට බෑනෙ මේ නෑනල දෙන්න ඉස්සර වෙනව​”.

අම්මාගේ තර්ජනය හමුවේ දැරියන් දෙදෙනාම පසුබෑ මුත් අම්මා සමඟ වලව්වත්ත හරහා බෝගහමුල වෙලට යාමට ඔවුන් දැක්වූයේ නොමද උනන්දුවකි.  ඒ අපූරු පලතුරු උයනක් වැනි වලව් වත්තේ ගැවසීමටත් ඇති යටි අදහස පෙරදැරි කරගෙනය​. පිට පොත්ත කහ පාට වනතුරු ඉදී වැටුන පේර මසන්, නමිනං කෑමට ඔවුන්ට ඉඩකඩ ලැබෙන බැවිනි.

"කෙල්ලො දෙන්න ඉස්කෝලෙ ගියාට පස්සෙ ගිහින් වරුව ගානෙ ඇද්දොත්. දවස් කීපයක් ගිහාම මයෙ හිතේ ඕක ඉවර කරන්ට පුළුවන් වෙයි ".

" අපිටම පංගාර්තු කරන්නෙ? දැන් ඔය අනික් ගොයියන්ටත් කියන්ට එපායැ වල්කඩන වැඩේට එන්ට කියල".

"අපිනෙ මෙතන අතේ දුරින් ඉන්නෙ. අනික් අඳගොයියො මුලිච්චි වෙන්නෙ කමතෙ බැත මනින්ට ගියාම විතරයි".

"අපෙ කරුමෙ".

ඒ අම්මා  වළව්වේ අඳ ගොයීයන්වීම දැක්ක හැටිය​.

"අපේ ලියැදි වලත් එක දෙක නැඟිටිනව තෙලහිරියයි, කුඩු මැට්ටයි. ගොයම් බණ්ඩි පීදෙන්ට ඉස්සෙල්ල ගෙහුං ඒවත් ගලවන්ට වෙයි".

අපුච්චා මතක්කර සිටියේය​​.

"අත්තමටවත් කවුරු හරි අඬගහගෙන යන්ට වෙයි අපෙ එව්වටනං".

"පොඩිඑවුන් ඉස්කෝලෙ ගිහාම හෙට හිටං වුණත් කමක් නෑ. වරුව වරුවවත් ගිහින් ඒ ටික ඇදල දාපල්ලා. ඔය අඳේට වැඩකරන ලියැදි කෑලි දෙක නැත්තං දරුවන්ට කැඳ ටිකවත් දෙන්ට විදියක් නෑ නොව​".

අපුච්චා කියනවා ඇහුණි.

අපුච්චාගේ කතාව අසා සිටි සුගීට තේරුනේ වළව්වේ අඳ කුඹුරු වැඩ කළේ නැත්නම් අපිට එදිනෙදා වේල පිරිමහගන්ට බැරිවෙන බවය. කැඳ කඳුලක් වෙනුවෙන් අපුච්චයි අම්මයි මේතරම් වලව්වට කඹුරන්නේ මොන පාපයකටදයි සුගලාට ද තේරුණේ යන්තම් බහ තෝරන අවදියේමය​.

“ඇයි අපි වළව්වේ කුඹුරු වැඩ කරන්නේ අක්කේ? අපිටම කියලා අයිති කුඹුරු නැද්ද​?”

සුගලා සඳලතාගෙන් ඇසුවාය​.

"අපිට කුඹුරු නෑ. වළව්වට හැට අමුණක කුඹුරු ඉඩකඩම් තියෙනවලු".

කොහොමද අක්කා දන්නෙ?”

"මේ ගමේ කවුද නොදන්නෙ? ඔය ගමේ මිනිස්සු කියන්නෙ".

හැට අමුණක් කියන්නෙ කොච්චරක්ද අක්කෙ?”

"කොච්චරක්ද මං දන්නෙ නෑ". ඔය මහ පාරේ ඉඳලා ස්පිරිතාලෙ ළඟට යනකම්ම පොල් වතුයි කුඹුරුයි අයිති වළව්වටලු".

"මගෙ බුදු අම්මෝ. එච්චර ගොඩක් ඒ අයට​. අපිට මොකවත්ම නෑ.

"එහෙම තමයි ඉඩම් තියෙන අයට එපා වෙනකං. නැති අයට, තියෙන අයගෙ ඉඩම්වල වැඩ කරන්ට වෙනව".

දැරියන් දෙන්නා මොහොතක් එකිනෙකාගේ මුහුණින් මුහුණ බලා හිඳ නිහඬවූහ​.

"අපෙ ඉතිහාස පොතේ පාඩමක් තියෙනව​ වැඩවසම් ක්‍රමය​ කියලා. ඒකේ විදියට​, ඔය වගේ ඉඩම් හිමියන් ගේ ඉඩම් වල වැඩ කරන අයට ප්‍රවේණිදාසයෝ කියලා කියනවා ".

"ඈහ්! එතකොට අපි ප්‍රවේණිදාසයොද​?"

"ලංකාවෙ අයට එහෙම කියන්නෙ නෑ. යුරෝපෙ අයට තමයි ප්‍රවේණි දාසයෝ කියන්නෙ".

"එතකොට අපි?"

"අපිත් දාසයෝ තමයි, වළව්වේ". සඳලතා දිව ඇද ඔලොක්කුවට සිනාසුනාය​.

සඳලතාට කෙසේ වෙතත් සුගලාට දැනුනේ කිසියම් මදි පුංචිකමක් බඳු හැඟීමකි.

සුගලා තුෂ්නීභූතව අක්කා දෙස බලා සිටියාය. තැතිගැන්මක් වැනි හැඟීමක් ඇගේ දෑස්වල සනිටුහන් විය​.

“ඇයි ඒ වළව්වට විතරක් එච්චර ඉඩම් අයිති?”

ඒවා ඒ අයගෙ පරම්පරාවෙන් එන දේපල​.

එතකොට අපිට පරම්පරාවක් නැද්ද​?

පරම්පරාවක් තියෙනව අනේ. අපේ පරම්පරාවෙ අය වළව් පරම්පරාවෙ අයගෙ ඉඩම් වල වැඩ කරනව​. ඒක තමයි අපේ පරම්පරාවට කරන්ට තියෙන වැඩේ.’

"එතකොට අපිටත් වළව්වේ වැඩ කරන්ට යන්ට වෙයිද​?

"නෑ. අපි ඉස්කෝලෙ යනවනෙ. ඉස්කෝලෙ යන්නෙ නැති අය තමයි ඒ වගේ වැඩ කරන්නෙ".

සඳලතාගේ ක්‍ෂණික පිළිතුරෙන් සුගලා සෑහීමකට පත්වූ අයුරින් නිහඬවූවාය​. නමුත් ඇගේ හිතට මහත් බරක් අතෑරියා වගේ දැන්නෙනට විය​. 

බැලමෙහෙකම් කිරීම අනුන්ට යටත්වීමක්! ඇයි අපි යටත් වෙන්නෙ? මං කැමති නෑ ඒකට​. සුගලාගේ හිත නොයෙක්වර මිමිණුවාය​.

"මමනං ඉස්කෝලෙ යනව හැමදාම​. නැත්තං වළව්වේ වැඩ කරන්ට යන්ට වෙයි".

අන්තිමේදි සුගලා නිහඬවම සිතේ සනිටුහන් කර ගත්තාය​.

"ඒ වුණාට වළව් වත්ත හරියට ආදම්ගෙ උයන වගෙයි". සඳලතා කීවාය​.

"හ්ම්...!"

සුගලාද ආදම්ගේ උයන දැක ඇත්තියක ලෙස හූමිටි තැබුවාය​.

“සුගී කොහොමද දන්නෙ?”

සඳලතා පෙරලා ඇසුවාය​.

" නිකං මං හිතුව​. වළව් වත්තේ පලතුරු තියෙනවනෙ.

" මම නං ආදම්ගෙ උයන ගැන අහල තියෙන්නෙ නීටා නැන්දා කියල දුන්න කතන්තරේකින්​.

අනෙ අක්කේ ඒ කතාව කියන්ටකෝ.

ඔන්න​, ආදම්ගෙ උයනෙ හැම වර්ගෙකම පලතුරු ගස් තියෙනවලු. ඇපල් ගස් පිරිලලු. ගෙඩි පිරිල​... ඉදිලා. ..

මේ නංඟි දන්නවද​, ආදම්ගෙ උයනෙ තමයි ඉස්සරවෙලාම මිනිස්සු කියල ජාතියක් හැදිල තියෙන්නෙ. නීටා නැන්ද කීවෙ, දෙවියන්වහන්සේ ආදම් මැව්වලු.

“කව්ද ආදම් කියන්නෙ?”

“ආදම් කියන්නෙ දෙවියන්වහන්සේ ඉස්සරලාම මවපු මිනිහා. ඊට පස්සෙ දෙවියන්වහන්සේ ආදම්ව නින්දකට වැටෙන්ට ඇරලා...ඉල ඇටයක් කැඩුවලු”.

"චරස්" "

ඌ ඌහ්!

දැරියන් දෙදෙනාම සිනාසුනාහ​.

ඊට පස්සෙ ඒ ඉල ඇටෙන් ගෑණු කෙනෙක් මැව්වලු.

සුගී, අක්කා දෙස බලා සිටියේ මහත් විශ්මයෙනි. ඇගේ දෑස් ඉදිරියට නෙරා ගොසිනි. මුව මදක් විවර වෙලාය​. තරමක් විශාල යටිතොල වඩාත් විශාලව පෙනෙන විදියට උල් වෙලාය​.

" අයියෝනංගි කටෙනුත් අහගෙන ඉන්නවනෙ".

 සුගලාගේ විලාසය දුටු සඳලතා උපහාසයෙන් සිනාසුනාය​.

" නෑ" කී සුගී දකුණතේ දබරගිල්ල දත් දෙපෙලට තබා සෙමෙන් විකුවාය​. ඇයට ලැජ්ජා සිතිනි.

“ඉතින්!... ඉතින්.. කියන්ටකෝ අක්කෙ". ඊට පස්සෙ... ඊට පස්සෙ මොකොද වුණේ?

ඊට පස්සෙ ආදම් ඒ ගෑණු කෙනාට "ඊවා" කීවලු.

"ඊවා ?...ඊවා...කීවා? ඊවා නං කන්ටනේ තිබුණෙ. සුගලා බක​...බක ගා සිනාසුනාය​.

ඒක හරි නමක් නෙ.

" ඇයි? හරි නමක් තමයි. ඊවා කියන්නෙ ගෑණු නමක්".

"ගෑනු අය හැම වෙලාවෙම උයන්නෙ ඒහින්දද​?"

අයියෝ නෑ අනේ. නංඟි හරි පන්ඩිතයි

සඳලතා දෙඋර සලා නංගී දෙස මඳ වේලාවක් බලා සිටියාය​.

ඉතිං අක්කේ"

සුගී නොඉවසිලිමත්ව සඳලතාව උනන්දු කළාය​.

"ඉතිං...තිත්තිං"

"තිත්තිං මැල්ලුම්...". සුගී තවත් කෑල්ලක් එකතු කළාය​.

"තිත්තිං මැල්ලුම කාපියෝ". සඳලතා එහෙම කියද්දි වෙනද නම් සුගලා ඉවසන්නේ නැත​. ඒත් කතාවක් අහගන්ට තියේනම් ඇය ළඟ ඉවසීමද ඇත​.

"ආනේ අක්කෙ ඉතුරු ටිකත් කියන්ටකෝ".

" මනුස්ස ජාතිය ඇතිවුණේ එහෙමලු". කතාව අවසන් කරන අටියෙන් සඳලතා කීවාය​.

“ඒ ඇත්තමද​?”

සුගලා ඇත්ත නැත්ත පිළිබඳ අවිනිශ්චිත භාවයකින් මෙන්ම එය තහවුරු කර ගැනීමේ අදිටනින් නැවතත් ඇසුවාය​.

ඇත්තද මං දන්නෙ නෑ. නීටා නැන්දා තමයි කීවෙ".

සුගලා බොගෝ වේලාවක් ගතවන තුරු අපුච්චාගේ ලණු ඇඳ ළඟ බිම වාඩිවී කල්පනා කළාය​. දෙවියන්වහන්සේ ගැන ඇය තුළ කිසියම් ගුප්තවූත්, ගෞරවාන්විතවූත් හැඟීමක් පිළිසිඳෙන්නට විණි. මැවීමේ අපූර්වත්වය ගැන මහත් කුතුහලයකින් ඇගේ සිත කොනිති ගසන්නට විය​. ඉල ඇටයකින් ගැහැණියක් නිර්මාණය කිරීම ඇදැහිය නොහැකි තරම් විස්මිත දෙයකි. ඒත් දෙවියන්ට කරන්ට බැරි දෙයක් නැතැයි සුගලා ගේ පුංචි සිත තර්ක කරන්නට පෙළඹෙයි. දැදුරු ඔයේ වක්කලමේ දිය සුළියකට අහුවුණ කුඹුක් ගෙඩියක් මෙන් ඇගේ සිත උඩු යටිකුරු වෙමින් සිතිවිලි සමුදායකින් වෙළී තෙරපෙනු ඇයට දැනුනි.

සිහින් අඳුර දැඩිවී  ගහ කොළ ඇතුළු අවට පරිසරය වෙළාගෙන යනතුරුත් සුගලා දේව සංකල්පයේ වෙළී දැවැටී සිටියාය​.

හඳුරුක්කන්දට ඉහලින් දිස්වෙන අනන්ත අප්‍රමාණ අහස් නිල්ල මත යාන්තම් තරුකැට එබී බලමින් හිඳින ආකාරය හිස ඔසවා බැලූ සුගලාගේ දෑස්  වලට හසු විය​.  කඳු මුදුනට ළංව තරමක් ඈතින් දෑකැත්තක් වැනි හීන් අවපස සඳක් මෝදුවී තිබුණි. මොහොතක් ඒ දෙස බලා සිටි සුගලා ගේ ළමා සිත මහත් වූ ආශ්චර්‍යයකින් වෙළී යන්නට විය​. ගෞරව සම්ප්‍රයුක්ත බියක් වැනි සිතුවිල්ලක් ඇගේ සිත තුළ කරටි ලමින් පැවතිණි. දෙවියන්වහන්සේ සහ මැවිල්ල පිළිබඳව දැරියගේ සිතේ පිළිසිඳෙන කුතුහලය අවට පරිසරය වසා ගන්නා සිහින් අඩ අඳුරත්, අහස් ගැබ ඒකාලෝක කරන්නට නිමවන ලද හිරු සඳු සහ තාරකා මණ්ඩලයත් විසින් වඩාත් තිව්‍ර කරන්නට විය​.

සඳලතාගේ හඬින් සුගළා ගේ අපූරු සිතුවිලි පරම්පරාව එකතැන ඇන හිටින ලදී

"නංගී, මොකද ඔයා කරුවලේ ඉඳගෙන අහසේ තරු ගණන් කරනවද​"

බොහෝ වේලාවකට පසු ඇසුණු සඳලතාගේ හඬීන් පියෙවි ලොවට පිළිපන් දැරිය හුන් තැනින් නැඟී සිටියාය​.

" ඇයි ඔයාට මේ කුප්පි ලාම්පුව පත්තු කළානම් හොඳ නැද්ද?"

සඳලතා ඇසුවාය​.

සුගලා කිසිත් කීවේ නැත. දෙවියන්, ග්‍රහ වස්තූන්, මහ පොළොව සහ ඒ මත ජීවින් ඇගේ සිත තුළ සහසක් ප්‍රශ්න මතු කරමින් තිබිණි. අක්කාගේ අණට කීකරු වීමක් ලෙස​ ​සෙමෙන් නැඟිට​ කුස්සිය දෙසට ගොස් කඩදාසි කෑල්ලක් දෑතින් අඹරවා ලිපේ ගිනි දැල්ලකට ඇල්ලුවාය​.

එයින් කුප්පි ලාම්පුව දල්වා පිල මත තැබුවාය​. මඩුවේ අඳුර බිඳි ගොස් ගෙමිදුලෙහි සැඟවිණි. ඉන් ඔබ, අඳුරේ සැඟව ඇති නොපෙනෙන බොහෝ දේ නිරාවරණය කර ගනු පිණිස කෙතෙක් නම් කාලයක් ගතවෙනු ඇද්ද​?

රාත්‍රි කෑමෙන් පසු නින්දට ගියද සුගලාට සිහිපත් වුණේ අක්කා විසින් කියන ලද දෙවියන්වහන්සේ විසින් කරන ලද ආශ්චර්යමත් මැවිල්ල​ ගැනය​​.

ඒක හරි අසාධාරණයි”.

ඇය සිතුවාය​.

මිනිස් වර්ගයා මැවූ දෙවියන්වහන්සේ, ආදම් සහ ඊවාට දුන් උයන වැනි උයන් වල අයිතිය එක් පරම්පරාවකටත්, එවායේ වැඩ කිරීමේ වගකීම තව පරම්පරාවකටත් දුන්නේ ඇයිද​"යි,  සිතමින් නින්දත් නොනින්දත් අතර දැවටී සුගලා ඔහේ වැතිරී  සිටියාය​.

 

 අදට ඇති. ආයේ දවසක​ ඉක්මණින් හමුවෙමු! 


මල්ලිකා එම් බණ්ඩාර​

30.07. 2021

No comments:

Post a Comment