1 වන කොටස
නිල් අහස් තලය පසුබිම් කරගත් රක්ත වර්ණ උඩු වියනක් මෙන් ළා දල්ළෙන් සැදි, දැවැන්ත බුළුගහ යට සෙවනෙහි සුගලා නතරවූවාය. හුරුපුරුදු මේ සෙවන යට අපූරු උණුසුමක් මිශ්‍රිත, සිසිලසක් තැවරී ඇතැයි සුගලාගේ හිතට දැනුණි. ඇය සෙමෙන් පහත්වී කැටයම් නොකළ සඳකඩ පහනක හැඩය ගත් සිළිටි ගල්පොත්ත මත වාඩිවූවාය. ගිනියම් මද්දහන නිසාදෝ ගල්පොත්තේ සිහිළ ඇය තුළ දැනවූයේ ඉමහත් ප්‍රමෝදයකි. ඒ හා සමඟමඅප්රමාණ සතුටක් වැනි හැඟීමකින් සිත පහන්වන බවක් සුගලාට හැඟෙන්නට විය.
අතුපතර පසා කරගෙන
පතිත වෙන හීන් හිරු එළිය අඳින සිතුවම් දෙස මොහොතක් බලා සිටි සුගලාගේ හිත ඉස්මත්තේ අසංකෙය්‍යක් තරම්වූ සිතුවිලි එකිනෙක පරයා මතුවෙන්නට තතනන්නේ තරඟයකට මෙනි. ඒ හැම
සිතුවිල්ලකම තැවරුණ අත්‍යන්තවූ සතුටක් ඇගේ සිත තුළ දෝර ගලා යන බව ඇය පසක් කළාය. නිදැල්ලේ ඉගිළ යන මෙරු රැළක් මෙන් සීසී කඩව යන සිතුවිලි වලට ඉඩ දුන් සුගලා , "අද දවසම මෙතෙන්ට වෙලා මේ විදියට ඉන්නවා"යි සිතා ගත්තාය. අනතුරුව, ගල්පොත්ත මත තිබූ ලියුම ක්‍රමවත්ව නවා දුඹුරු පැහැති කවරය තුළ තැන්පත් කළ සුගලා බුළුගහට පිටදී දෑත් නිදහසේ දෙපසට තබා වාඩිවූවාය. මොහොතකින් ඇගේ සිත ගතින් මිදී ඉහල අහසට ඔසවා ඔහේ පාවෙන්නට හරින විටක
දැනෙන්නාක් වැනි හැඟීමක් ඇයට දැනුණි. ඒ සුපසන් සුවය විඳින්නට
හැකිවන පරිදි ඈ ඒ ඉරියව්වෙන්ම හිඳ දෑස් පියා ගත්තාය.
සුගලා ගේ සිත ධ්‍යානයකට සමවැදුනාක් මෙන් නිසල විය. සිත ශරීරයෙන් මිදී
ඉබාගාතේ ඉගිල යන සෙයක් ඇයට දැනුනි. සිත ගතට කීකරු වූවාද, ගත සිතට කීකරු වූවාදැයි ඇයට සිතා ගත නොහැකිවිය. ගත සිත දෙකම කිසියම්
නිශ්චල ශාන්ත භාවයකට පිවිසියා වැනිය. නිද්‍රාගතවූ සිරුර අකර්මණ්‍යව ගොස් මොහොතකින්
ඇගේ සිත ඔහේ ඉගිල යන්නට විය. ඇය ඉඩ හැරියාය. දෑස් පියා ගෙනම ඒ අතිශය සොඳුරුවූත් අමරණීයවූත්, ආදරණීයවූත් මතක කඳුරේ කිමිඳුනාය. නිදහසේ පියඹා යන අතරතුරේ, දහසකුත් සිද්ධීන් හා සබැඳුනු මතක, උල්පතක් මෙන් ඇගේ සිතට ගලා එන්නට විය. අතීතයේ මතක, රූපමය වශයෙන් මතුවී ජීවමාන
රූපරාමු බවට පත්ව මොහොතකින් මැකීයන්නට විය.
එවන් රූපරාමු අතරින් ඉතා පැහැදිළිව චිත්‍රණයවූ ගමේ වෙල් යාය මැද ඇගේ දෑස නතරවිණි. අම්මාගේ අතේ එල්ලී මුලින්ම උඩහ වලව්වට ගිය හැටි සුගලාගෙ සිතේ සිතුවමක් මෙන් චිත්‍රණය වෙමින් පැවතින.
මනෝමය චිත්‍රය මැදින්, ළා කොළ පැහැති විල්ලුද පලසක් මෙන් අඩිතුන හතරක් තරම් උසට මනාව වැඩුණු ගොයම් පඳුරු, ලතාවකට සැලුණි. ඒ පළස මත, අපිළිවෙලට විසිරී යන ඝන කෙස් කලඹක් සහිත කුඩා දැරියක ගේ හිස සජීවී ස්වරූපයෙන් වරින් වර මතු වන්නට විය. සමීප දර්ශනයක් ලෙස පෙනෙන විත්‍රයේ, සරුවට වැඩුනු උස බණ්ඩි ගොයම් මත වැටුන සීතල පිණි බිඳු තවමත් වියලී නැත. ඒ අතරින් නියර දිගේ ඇවිද ගෙන එන දැරියගේ දෙපා නිරුවත්ය. පිණි ඉහිරුණු තණ පත් මත තබන විට ඇගේ දෙපා හිරිවැටී ගියේය. ඇඟ කිලිපොලා ගියේය. මුතු ඇට ඉහිරුනාක් වැනි ලොකු කුඩා පිණි කැට මත පා තබමින් දෙපා තෙමන විට සිහින් සිනාවක් ඇගේ දෙතොල් මත තැවැරිනි. මඳ දුරක් ඇවිදගෙන එන අතරේ නිදිකුම්බා පඳුරකට පයේ මහපට'ගිල්ලෙන් තට්ටු කරන්නට ඈ මොහොතක් නතර වූවාය. තවත් තැනකදී නියර පාමුල පිපුණ දම් පාට මල් සහිත මොනර කුඩුම්බිය කිණිත්තක් කඩා ගත් ඈ කම්මුල මතට හිමින්සැරේ තට්ටු කළාය.
“ඊ...ඊ...ඊ යක්! “
මල් පෙති මත තැවරුන පිනිබිඳු වල සීතලය දැරිය නොහැකිව ඈ උගුර යටින්
කෑගැසුවාය. ඒ ළමා හඬ තමාගේමයයි සිතෙන තරමට බෙහෙවින් හෘදයංගමව සුගලා ගේ සවන් මත
පතිත විය.
නියර දිගේ යන විට හිස පෙනෙන නොපෙනෙන තරම් වුවද ඒ වන විටත් ඈ අඩි තුන හමාරක් තරම් උස් වූ දැරියක් වූවාය. තවත් මොහොතකට පසු සුගලා නම්වූ ඒ පස් හැවිරිදි දැරිය අම්මා ගේ අතේ එල්ලීගෙනම නාරබැල්ල ඇලෙන් එගොඩ වූවාය. ඇළ ඉවුරේ සිට, හත් අට පියවරක් දුරින් සිරස් අතට හිටවූ පොල් කොට පඩි පෙළ තෙක් දිව ගිය දැරිය, අම්මා එන තුරු බලා
සිටියාය. මුලින්ම පඩි පෙළට ගොඩවූයේ පුංචි දැරියයි.
ඉතා ක්‍රමවත්ව කටු කම්බි හත් පොටක් ගසා වටකරන ලද වළව් වත්තට, ප්‍රධාන ගේට්ටුව හැරුණුවිට, ඇතුලු විය හැකි එකම ප්‍රවේශය මෙයයි. වැට දෙපසම සමාන උසින් අනුක්‍රමිකව සිටුවන ලද පොල් කඳන් තුන බැගින් සකස් කළ හිණි පෙළ පාවිච්චි කළේ අපුච්චාගේ වැඩ මුරයට වළව් වත්තට යාම සඳහාය.
" ඔහෙ හිටපං…කිව්වම අහල! ඕකෙන් පෙරලිලා කම්බි වැටේ දැවටෙන්නෙ නැතුව"
අම්මා තරවටුවක ස්වරයෙන් දැරියට කීවාය. ඉන්පසු දැරිය ආපසු බිමට පැන්නාය. අම්මා කම්බි වැටේ ගෑවෙන නොගෑවෙන දුරින් පඩිපෙළ පාමුල සිටගෙන දැරියට අත පෑවාය.
"නැඟපන් පුතේ සීරුවෙන්".
අම්මා මෘදු හඬින් කීවාය.
දැරිය පියවරෙන් පියවර ඉහලම පොල්කොටයට නඟින විට,
'' පරෙස්සමෙන්! දැන් කම්බියට උඩින් අනික් කකුල තියලා පහළට බැහැපන්" අම්මා නැවැතත් කීවාය.
අම්මගේ හඩ මෘදු ය. මොළොක් ය. එහි මෙළෙක මේ දැනුත් තම සිතට දැනෙන්නාක් මෙනි. අම්මා, දැරිය කම්බි වැටෙන් එහා පැත්තට යැව්වාය. ඉන්පසු ගෝනි පඩංගුවත්, තල කොළ මල්ලත්, වක් පිහියත් අතට ගෙන අම්මා වැට පැන්නාය. සරුවට වැඩුණ තණකොළ මත සටහන් වුණ
අඩිපාර දිගේ සුගලා ගමන් කළාය. වරින් වර, විල්ලූද පළසක් මෙන් ඝනව වැවුණු තණපත්වල පහස ළපටි පායුග වලට දැනෙනසේ මඳ දුරක් දිවගියාය. නැවත අම්මාගේ රෙදිපොටේ දැවැටුනාය. දැරිය හා පැටික්කියක මෙන් කෙළිදෙලෙන් දිවයන විට අම්මා මඳක් නොසන්සුන් වූවාය. අම්මාගේ අතින් නිදහස්ව ඇය තණ මත මාරුවෙන් මාරුවට පා වෙනස් කර මඳ දුරක් පැන පැන ගියාය.
"මෙහෙ වරෙන් පෙංකෙළින්නෙ නැතුව".
මොහොතක් නතරවී දැරිය දෙස බලාසිටි අම්මා කීවාය.
අම්මාගේ හඬ අණක් මිස තරහවක් ප්‍රකාශ කිරීමක් නොවන බව තේරුම් ගන්නට ඇයට අපහසු
නොවිණි. උරහිස් මඳක් හැකිලූ දැරිය තොල්පට පෙරලමින් අම්මා දෙස බලා සිනාසුනාය. ඉන්පසු වහා දිවවිත් අම්මාගේ නෙරිපොටේ කොණක් අල්ලාගෙන ගෑටුවාය.
අක්කර සීයක පමණ පොල් ඉඩම කටුකම්බි, ගසා වැට දිගට ආවරණය වන පරිදි මනාව හිටවන ලද අන්දර, එරබදු සහ එඬරු ගස්, ආරක්ෂිත වළල්ලක් මෙන් වැවී ඇත. බැලූ බැල්මටම වළව්වත්ත බෙහෙවින් සිත් ගන්නා සුළුවිය. වත්ත හරහා හරකුන් දක්කා ගෙන යෑම නිසා පටු අඩිපාරක් වැටී ඇතත් ප්‍රධාන පිවිසුම් මාර්ගය අඩි දහයක ගුරු පාරක් ලෙස බොරළු අතුරා මනාව සකස් කර තිබිණ. බොරළු මත ඇවිදින විට සුගලාගේ දෙපා වේදනා දෙන්නට විය. බොරළු මත අපහසුවෙන් ගමන් කරන දැරිය දුටු අම්මා දැරිය ඇමතුවාය.
"පුතේ තණකොළ ගොල්ලෙන් යං.
බොරළු වලට යටිපතුළ තුවාළ වෙයි".
ගුරුපාර දෙපස තණකොළ කොටට හිටින අයුරින් කපා ඇත. වත්තේ වැඩට ඉන්න මිනිසුන් දෙන්නෙක් වීසි කැත්තක් සහ පළන ලද උණ පත්තකින් තණ කොළ කපන අයුරු තවත් ටිකදුරක් යන විට සුගලා දුටුවාය. අම්මගේ රෙදිපොට කොණකින් අල්ලාගත් අතැතිව, ඉදිරියට යන ගමන්ම සුගලා කීපවරක් ආපසු හැරී, තණකොළ කපන මිනිසුන් දෙස බැලුවාය.
සුගලාගේ ගමන බාල වෙන විට අම්මා ඈ කඩිනම් කළාය.
"මොනවා බලනවාද මන්ද. ඉක්මණින් අඩි කඩාපංකො".
අම්මා එහෙම කීවත් සුගලාට නම් වළව්වත්තේ ඇති හැමදෙයක්ම අළුත් දේවල්. ගමේ කොතැනකවත් මේ තරම් ලස්සන ඉඩමක් ඇති බව ඇය නොදනී. හැමදේකම අළුත් බවක්, අසාමාන්‍ය පෙනුමක් දකින්නට ඇත.
වත්තේ සෑම පොල් ගසක් යටම පිළිවෙලට අහුරන ලද පොල් ලෙළි කවය තුළ පොල් අතු, බූමටුලු, පොල් කරවල ආදිය ගොඩගසා දිරාපත් වන්නට ඉඩහැර තිබුණි. අතරින් පතර අඩි දෙකක තරම් උස වට රවුමක් සෑදෙන අයුරින් පොල්ලෙළි වලින් පොල්මුල් ආවරණය වනසේ අඩුක්කර තිබුණි. මේතරම් සාත්තු කරන නිසාමදෝ සෑම පොල්ගසකම විශාල පොල් ඉති හැදී පල බරව ඇත. තවත් මඳ දුරක් ගුරු පාර දිගේ යනවිට දැවැන්ත කඳන් සහිත උස් තල් ගස් දෙපෙළක් පාර දෙපස මහත් ප්‍රතාපවත් විලාශයෙන් අහස් කුස දක්වා නැඟී සිටිනා ආකාරය සුගලාට දැකගත හැකිවිය.
සුදු හුණු පිරියම් කර රට උළු සෙවිලි කළ වළව්ව, උස් තල් ගස් අතරින් ඈතට පෙනුණේ කිසියම් අපූර්ව ස්ඵානයක් ලෙසය. විසල් උඩහ වළව්ව ආරක්ෂා කරන, පතාක යෝධයන් පේළියක් මෙන් නැඟී සිටින, තල්වැටිය නිසා වළව්වට ප්‍රව්ඩ බවක්, නැතිනම් ගරුගාම්භීර බවක් එකතුකර ඇතයි සුගලා පමණක් නොව වැඩිහිටියන්ට වුවද සිතේ. එවැනි තල්ගස් වර්ගයක් සුගලා නම් කවමදාවත් මේ ගම් තුලානේදී දැක තිබුණේම නැත.
එමෙන්ම, මතුපිට මටසිළිටි වනසේ සකස් කළ ගල් බංකු කීපයක් තුරුවදුළු අතර පොළොවෙහි ඉදිකොට, ඒවා ආවරණය වන සේ බෝගන්විලා, රෝස , සමන් පිච්ච සහ විසිතුරු මල් වැල් වර්ග සිටුවා, ඒවා ආරුක්කු සහ ලතාමණ්ඩප මෙන් ක්රමවත්ව කපා සකස් කර තිබුණි.
ගමේ ගොඩේ වැවෙන දැවැන්ත අතු සහිත තල් ගස් නම් ඕනෑ තරම් ගමපුරා දකින්නට හැකිය. සුගලා දැක ඇති විදියට නම්, සෑම ගෙවත්තකම ලොකු කුඩා තල් ගස් ඉබේ පැලවී හැදී වැඩී තිබිණි . අපුච්චා විසින් කුඩා තල් ගහකින් කපා දෙන ලද තල් අත්තක් ඉහලා ගෙන වැහි දවස් වලට අක්කා ඉස්කෝලේ ගියාය. ආපසු එනවිට
ඉහලාගෙන ඒම සඳහා තල් අත්ත ඉස්කෝලේ බිත්තියට හේත්තුකර පන්තිය ඇතුළට යනබව අක්කා කියා ඇත. අපුච්චා විසින් කපා ගෙනවිත් දමන තල් ගොබය ඉරා, ඉරටු ඉවත් කර අව්වේ දමා වේලා ගන්නා අම්මා ඒවායින් මාගල් වියා ගත්තාය. අම්මා මෙන්ම ගමේ ගැහැණුන්ද, මාගල් වියාගත්තේ ඒ ආකාරයෙනි. අම්මා විසින් එසේ වියන ලද මාගල් ඇය පිළිවෙලකට මාගල් ආණේ අසුරන්නීය. ඒක හරියට පූජණීය භාණ් ඩයක් නැත්නම් වටිනා වස්තුවක් තැම්පත් කරන්නාක් වැනි හැඟීමෙනි.
"කොළදින් කාලෙට අනුන්ට අතපාන්ට බෑ"
මාගලක් වියා ඉවර කර එය ආණේ තියන ගමන් අම්මා කියන්නීය.
කුඹුරුවල ගොයම් කපන කාලෙට කොළ එකතු කර මිටි බඳින්නටත්, බැත වේලා ගන්නටත් මාගල් අවශ්‍යය. බොහෝ රාත්‍රි කාලයට, විශේෂයෙන් වැහි දවස්වල බොහෝ වේලාවක් යනතුරු අම්මා කුප්පි ලාම්පුවක එළියෙන් මාගල් මෙන්ම මලු සහ වට්ටි පෙට්ටි, පැදුරුද වියුවාය.
සුගලාට දැනුනේ ඒ තල් ගසුත් මේ තල් ගසුත් එකිනෙකට වෙනස් බවය. වළව්වේ තල් ගස් වල කඳ විශාලය. එහෙත් පුවක් ගස් වලට සමාන වුවද දැවන්ත අතු සහිතය. තල් කොළපු, ප්‍රමාණයෙන් බෙහෙවින්ම විශාලය. ඒ තුළ අපුච්චාට වුව සැඟවී සිටිය හැකි තරම් දිගින් හා පළලින් යුතුය. දවස් ගණනක් නරඹන්නට දේවල් මේ අපූරු භූමියේ තිබෙන බව වලව්වට යන මේ පළමු වන ගමනේදී සුගලාට සිතුණි. ඇයගේ සිත වඩාත් පැහැර ගත්තේ වත්ත පුරා තැන් තැන්වල හොඳින් වැවී තිබුණ පලතුරු ගස් වර්ගයි.
අඹ, කජු, රඹුටන්, පේර, දූරියන්, මැංගුස්ටින්, ලාවුළු, ලොවි සහ ජම්ඹු වර්ග ගණනාවක් ඇතුළු දොඩම් කුළයට අයත් පල දරන වැඩුණු ගස් දක්නට ලැබිණි. සමහරදාක අපුච්චා විසින් පුවක් කොළපුවකින් සාදන ලද ගොටුවල දමාගෙන මේ විවිධාකාර ගස් යට වැටී ඇති පලතුරු ගෙදර ගෙනා බව සුගලාට සිහිවෙත්ම ඒවායේ මිහිරි සුවඳ ඇගේ නැහැපුඩු තුළ දැවැටෙන්නාක් මෙන් දැනුණි.
අම්මා වළව්ව පිටුපසින් ගොස් කුස්සිය පැත්තට ලඟා වූවාය. නුහුරු පරිසරයකට ඇතුළු වීමේදී දැනෙන තැති ගැන්මක් බඳු ස්වභාවයකින් සුගලාගේ සිතට නොසන්සුන් බවක් එකතු කර තිබිණ. ඇය දකුණු අතින් අම්මාගේ නෙරිපොට දැඩිව අල්ලා
ගෙන තම වම් අතේ ඇඟිලි වල නිය විකමින් අම්මා පසුපසින් කුස්සිය දෙසට ඇදී ගියාය.
“ආ...හ්... එසඳූ...උඹ ආවද?”
ජනේලය අසලට පැමිණි, කුස්සියේ වැඩ කරන තලතුනා ගැහැණියගේ හඬින් තිගැස්සුන සුගලා තවත් අම්මාට සමීප වූවාය. ඇය ජනේලය අසලින් මෑත්ව සැනෙකින් පිටුපස දොරපලුව අසල පෙනී සිටියාය.
" අර පැත්තෙන් වරෙන්... මඩූව දිහාට".
ඇය හිස හරවා නිකට දික්කර, මේ සුවිසල්
මන් දිරයට ඇතුළු විය යුතු පැත්ත පෙන්නුවාය.
"හොඳයි උපාසකම්මේ".
අම්මා පිළිතුරු දුන්නාය.
සුගලා අම්මා දෙස බැලුවේ අන්දමන්දවය.
"අම්මට වැරදුනාවද්ද?" සුගලා සිතුවාය.
“උපසකම්මා කියන්නෙ සුදුරෙදි ඇඳගෙන, සිල් සමාදන් වෙන්ට පන්සලට යන අත්තම්මලාටනෙ”.
ජනේලයෙන් එබී බලා කතා කළ ගැහැණිය ඇඳ සිටියේ සුදුපාට හැට්ටයක් සහ ලොකු කොටු සහිත කොළ පාට කම්බායකි.
“හරියට අපේ අත්තම්මා අඳින විදියේ ඇඳුමකි”. සුගලා හිතුවා.
“ඇයි එතකොට අම්මා එහෙම කීවෙ?”
සුගලාගේ සිත තුළ ප්‍රශ්න වැලක් එතෙන්නට විය.
අම්මාත් සුගලාත් කුස්සියට යාබද විශාල මඩුව ළඟට ගිය අතර, උපාසකම්මා යනුවෙන් අම්මා විසින් හැඳින්වූ තැනැත්තිය, මඩුව කෙලවර දෙසට අත දිගුකර, තරමක මිටි බංකුවක් පෙන්නා, එහි වාඩිවෙන ලෙස අම්මාට අතින් සංඥා කළාය.
"ඔහෙන් ඉඳගනිංකො" යි කී ඈ, වළව්වේ ප්‍රධාන කොටසට වෙන්නට පිහිටා ඇති ඉස්තෝප්පුවක් දෙසට හැරී නොපෙනී ගියාය.
ස්තුතියි!
ලඟදිම හමුවෙමු...
මල්ලිකා එම් බණ්ඩාර
7. 07. 2021
No comments:
Post a Comment