Tuesday, 20 July 2021

මල්මද බිසව් - 5 වන කොටස

 

පසු දින සුගී අවදිවූයේ කෙලවරක් නැති කතා බහ, අඩු වැඩි වශයෙන් උස් පහත් මිමුණුම් ඇතුලු නානාප්‍රකාර ශබ්ද නිසා ඇතිවූ බධාකිරීම් මධ්‍යයේ උදාවූ කලබලකාරි දවසක පෙරනිමිතිද සමඟය.  නින්දත් නොනින්දත් අතර  බොහෝ වේලාවක්  පැදුරට ඇලී සිටීමෙන් ඇතිවූ කෙඩෙත්තුව සමඟ ඇය දෑස් පියාගෙන ඔහේ සිටියාය. එහා මෙහා බර අඩි තබමින් යන එන්නන් අතරින් මෘදු පා සන් හඬ ඇසුනු කෙනෙහි  ඒ අක්කා බව සුගී ටක්කෙටම දැනගත්තාය. එකෙනෙහිම ඈ තදින් දෑස පියා ගත්‍තාය. අක්කා නිදාගන්නට ඇත්තේ වැඩිවියට පත් පුංචි අප්පේ වෙසෙන ආවරණය කරණ ලද කාමරයේ ඇඳ ළඟ කොනක බිම එලන ලද පැදුරකය. 

උදෙන්ම අවදි වුණ  සඳලතා ඇය නිදාගත් පැදුර අකුලාගෙන විත් නංගී නිදා සිටි තැන මුල්ලට කර බිත්තියට හේත්තු කළාය. අනතුරුව නංගී නිදාගෙන සිටි පැදුර ළඟට පැමිණ මදක් බිමට නැඹුරුව, නංගී හැබෑවටම නිදිදැයි දැනගන්නට උත්සාහ කළාය.  නංගී තවමත් තද නින්දක බව පෙනෙන්නට තිබුණි. ඊයේ රැය තමන් පහන් කළේ සුව පහසු කම් සහිත වළව්ව ඇතුලේ උණුසුම් කාමරයකය. මුළු රැය පුරාම නංගී නිදාගෙන ඇත්තේ මේ එළිමහන් මඩුවේය. තමන් ලද වර ප්‍රසාදය නංගීට නොලැබීම නිසා උපන් සියුම් දුකක්, කනගාටුවක් වැනි හැඟීමක් සඳලතා ගේ සිතට දැනෙන්නට ඇත. 

තත්පර කීපයක් නිසොල්මන්ව නංගී දෙස බලාගෙන සිටි සඳලතා නංගීගේ උරහිසට සෙමෙන් අත තැබුවාය.

“නංගියේ නැඟිටින්ට. ඇති නිදියාගත්තා. අද මෙහාට සෙනඟ ගොඩක් එනව. ඊට ඉස්සර මූණ හෝදාගෙන ගෙදරින් ගෙනාව ගවුම ඇඳ ගන්ට වෙයි". 

කෙඳිරුම් හඬින් නංගිට පමණක් ඇහෙන සේ සඳලතා කීවාය.

සුගලා දෑතින්ම හිස කසමින් පැදුර මත වාඩි වුණාය. 

"අනේ නංගි ඉක්මණට නැඟිටින්ට අප්පා". 

සඳලතාගේ හඬ නෝක්කඩුවකට නෑකම් කියන්නකි.

“නැඟිටින්ටකෝ ඉතින්"

"නැඟිටලා තමයි ඉන්නෙ". 

සුගලා ඇස් පොඩිකරමින් මොහොතක් වේලා පැදුර මත හිඳ ගෙනම වට පිට හැරී බැලුවාය .

 " කෝ අම්මා "යි අනතුරුව ඇසුවාය.

"අම්මා ඉන්නවා අරහේ”. 

සඳලතා කුස්සිය දෙසට නිකට දිගුකොට කීවාය.

සුගලා මොහොතක් ගත වෙන්නට මත්තෙන් පියෙවි ලොවට පිවිසි අතර තමන් මේ සිටින්නේ ආගන්තුක තැනක බව වටහා ගත්තාය.  වෙනදා ගෙදරදී මෙන් කුසීතව සිටිය නොහැකි බව සැනෙකින් සුගලාට තේරුම් යන්නට ඇත​. තමන් සිටින ස්ථානයේ ස්වභාවයත්, අද දිනයේ විශ්‍ෂෙත්වයත් ඇය වහා අවබෝධ කරගත්තා  වියහැකිය. 

ගෙදරදී නම් අක්කා  සමඟ වාද විවාද කර ගැනීමට ඉවහල් විය හැකිව තිබූ මේ කීද්දීම මැනවින් හැඳිනගත් ඇය දණි පණිගා නැගිට්ටාය. සඳලතා, සුගලා සමඟ මඩුව පිටු පස ඇති වතුර ටැංකිය ළඟට ගියාය. අම්මා දැරියන් අතට අඟුරු කැබැල්ලක් ගෙනවිත් දුන්නාය.

අඟුරු කෑල්ල හපා කුඩු කරගත් දන්තාලේපය දකුණු අතේ දබරඟිල්ලට ගෙන දත් ටික ක්‍රීක්... ක්‍රීක් ගාන තුරු මැද, අක්ක නඟෝ  දෙන්නා මුහුණු සෝදා  ගත්හ. 

"ඇයි අර ගොක් කොළයි පුවක් මලුයි අමු පොල් අතුයි වලින් වට කරල සරසලා තියෙන්නෙ'?

සුගලා හදිසියේම වළව්වේ පෑළ දොර දිහාට අත දිගු කර ඇසුවේ දෑස් උඩ ඉන්ඳාගෙනය 

" මේ අක්කේ අර මොකක්ද?

"ඒ…අර… පුංචි අප්පෙ නාවන තැන".

"ඇයි එතන නාවන්නෙ?

" පුංචි අප්පෙ  අද නැකතට නාවන්නෙ  එතැනනේ ".

"මොකද්ද නැකතට නාවනව කියන්නෙ?

 "මමත් දන්නෑ අප්පා". 

නංගීට මේ අවස්ථාව පිළිබඳ තේරුම් කර දියහැකි අන්දමේ නිශ්චිත පිළිතුරක්  

දීගැනීමට සඳලතාට කිසියම් අපහසුතාවක් දැනුණි. 

"යමු ඒක බලන්ට!"

" දැන්ම අපිට ඒ පැත්තට යන්ට බෑ "

අක්කාගෙන් හරියටම උත්තරයක් නොලැබීම නිසා නොවිසඳුන ප්‍රශ්න රැසක් හිතේ තෙරපාගෙන සුගලා නිහඬවූවාය.

"ගෙදරින් ගෙනා ගවුම ඇඳලා මෙහාට වෙලා ඉන්ට නංගී. අර පැත්තට එහෙම යන්ට එපා හරිද?

සඳලතා කාලොචිතව උපදෙස් දුන්නාය. සුගලා හිස වනා පොරොන්දු වුණාය. 

දැරියන් දෙදෙන මුහුණ කට සෝදා මඩුවට ගොඩ වෙන විට,  එසඳී විසින් තේ කහට කෝප්ප  දෙකකුත් හකුරු කෑලි දෙකකුත් ගෙනත් දෙන ලදී. 

සඳලතා වට පිට බලා;

 "නංඟි, පුංචි අප්පෙ ආයෙ ගවුම් අඳින්නෙ නැතිලු".  ඊයෙ රෑ  පුංචි කුමරිහාමිගෙ ඇඳුම් ගොඩාක් මට දුන්නා. 

සුගලාගේ කණට කර කීවාය.

“මටත් එකක් දෙනවද?

සුගලාට ඕනනැති දෙයක් නැත. 

"මට ලැබෙන හැම දේම එයාටත් ඕනෑ වෙනවනෙ.  හැබෑ ඕනෑ කමකටම නෙවෙයි. ඒ අනුන්ට ඇති හැමදේම අත්පත් කර ගැනිමේ ළමාකම" යයි සඳලතා සිතුවාය. 

"නංගිට ඒව අඳින්ට බෑ… ලොකුයි..."

සඳලතා කීවේ සන්සුන්‍ එවගේම මොළොක් හඬිනි.

පුංචි අප්පෙ ඇඳපුවා වුණත් ඒවා හරියට අළුත්ම අළුත් ඒව වගේ. සඳලතාගේ සිත ප්‍රීතියෙන් පිනා යන්නට විය. සිහින් හිනා රෑල්ලක් ඇගේ මුව'ගට ගලා ආවේය. ඉස්කෝලේ නිවාඩු ඉවර වුණාම ඒවා අඳින්ට පුලුවන්. මොහොතකට සිතිවිලි අතරේ තනිවුණ සඳලතා අළුත් ඇඳුම් ඇඳගෙන වෙල් නියර දිගේ ගොඩැල්ලේ ඉස්කෝලෙට යන ළමුන් රංචුව සමඟ සිතින් එක් වූවා වෙන්නට ඇත​. අළුතෙන් ලැබුණ ඇඳුම් ඇඳගෙන​ වෙල නියර දිගේ යනකොටත්, වක්කඩක් ළඟින් යනකොටත් මඬ තැවරේයයි ඇය බිය වූවාය.  

" කවුරුත් මගෙ ඇඳුම් අතගාලා බලයි. දවස පතා අළුත් ගවුම් අඳිනකොට අනික් ළමයින්ට ඉරිසියා හිතෙයි" සිතත්ම සඳලතා තුළ ඇතිවූයේ පුංචි ආඩම්‍බරකමකි. පිරිසිදු අළුත් ඇඳුම් ඇඳ පාසල් යන සඳලතා දෙස ඈ මනසින් මොහොතක් බලා සිටියාය.

දැරියන් දෙදෙන මඩුවේ මිටි බංකුව මත වාඩිවී සිටින අතරතුරේ වළව්ව තුළ බොහෝදේ සිදුවෙමින් පැවැතුනත් ඔවුන්ට ඒ දෙසට යාමට නොහැකි වන අයුරින් තහංචි පනවා තිබුණි.

උදේ හයයි ගණනකට යෙදුන සුබ නැකතින්, සුදු සඳුන් මිශ්‍ර තාන් දිය හැලියට;​ සුදු රතු සහ නිල් මානෙල් මල් සහ සමන් පිච්චමල් දමා  නැවුම් කොතළයෙන්, පුංචිඅප්පෙ නාවා රෝස පැහැති ළමා සාරියකින් සරසවා ගෙට ගනු ලැබ තිබිණ. ඇගේ දෑත්වල රන් වළලු ජෝඩුවක් හා රන්වන් පාට අත් ඔර්ලෝසුවක් පැළඳ තිබිණි. හිඟුරු මල් මොස්තරයේ පූංචි කරාබු කුට්ටමක් ඇගේ කන් පෙති වල දිළිසෙමින් පැවතිණි. හදවතක හැඩයේ පෙන්ඩන්ට් එකක් සහිත රන් දම්වැලක් ගෙල වටා දැවටිණි.

තමාටම කියාගත් සඳලතා, බරාඳයේ ලැටිස් අතරින් එබිකම් කර පුදුමෙන් බලා සිටියාය. අද​ උදේත් මාත් එක්ක හිටිය පුංචි අප්පෙද මේ කියල සඳලතාට හිතුණ.

“කවදාවත් දැකල නැති තරම් පුංචි අප්පෙ ලස්සනයිනෙ”. 

 "හරියට වළව්වේ රෝස පාත්තියේ පිපිල තියෙන රෝස පොහොට්ටු වගෙ ලස්සන. පිංකාරකම උතුරනව”.

කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි ඇතුළු නොයෙකුත් වර්ගයේ කැවිලි පෙවිලි වලින් සාලය මැද විශාල මේසය පිරී තිබිණි. නුවරින් සහ මාතලේ වළව් වලින් ඇවිත් හිටිය වැඩිහිටි ගැහැණු නෑදෑයෝ දිළිසෙන බෝඩර සහිත ඔසරි වලින් සැරැසී ඇටමාල පොටවල්,  රතු සුදු ගල් ඇල්ලූ මාල, පදක්කම්, දිමිති ජෝඩු, රත්තරං වළලු හා රිදී හවඩි පැළැඳ සිටියහ. ඔවුන් ගේ ආයිත්තම් බලන්ට ලස්සනේ බැරිය. 

“ඒ ඇත්තො හරියට රජ කතා වල ඉන්න බිසෝවරු, කුමරිකාවො වගේනෙ”. 

සඳලතාට වගේම සුගලටත් හිතුණා.

සාලයෙ අනික් පස බිත්තියට යාව දිග මේසය මත වයිවාරන පාටින් දිළිසෙන සරුව පිත්තල කොළ වල ඔතා සමනල ගැටේ හිටින්ට පීත්ත පටි වලින් ගැට ගැසූ තෑගිබෝගය. ලොකු කුඩා ප්‍රමාණයේ, විවිධ හැඩැයේ තෑගි පාර්සල් සෙල්ලම් බඩු කඩේක විසිතුරු බඩු ගොඩක් වගේ යයි යන්තං සාලයට කරපොවා බැලූ සඳලතාට සිතුණි. ඇය වහා කුස්සිය පැත්තට දිව ගියාය. 

“මොකද බං උඹ ගාල කඩාගෙන දුවන්නැහේ?

බුලත් තුරුළු කීපයක් බන්දේසියක තියාගෙන, ඇතුළු දොරකින් කොරිඩෝවට පිවිසෙන දොරක් අසල රැඳී සිටි උපාසකම්මා ඇසුවාය.

සඳලතා ඉතා අපහසුවෙන් ගමන් වේගය බාල කර උපාසකම්මා දෙස යටහත් පහත් බැල්මක් හෙලුවාය.

නෑදෑයෝ මේසය ඉඳුල් කර තෑගි බෝග දී ඉවර වුණාට පස්සෙ  කුස්සියේ වැඩ කරන අයටත් දැරියන් දෙදෙනාටත් කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කරන්නට යෙදුනි. 

තල පට්ටා වලින් වියන ලද ලොකු වට්ටියක කෙසෙල් කොළ මත ඇසුරූ කැවිලි වලින් සඳලතාටත්, සුගලාටත් අම්මාටත් සිරිමලී විසින් සංග්‍රහ කළාය. කොණ්ඩ කැවුම් සමග කිරිබත් ඉතා ප්‍රණීතය. ඒකටම ආනමාලු කෙසෙල් ගෙඩි එකතු වුණාම තවත් රහය.

" සඳලතා පුංචි අප්පෙට තනි රැක්කට මං ගානෙත් එකක් කන්ට" 

සිරිමලී ලොකු ආනමාලු ගෙඩියකුයි නාරං කැවුමකුයි සඳලතා අත තැබුවාය.  

"ඇතී. මට ඇතී" කියද්දිත් සිරිමලී පෙරැත්ත කළාය.

තේ පානයෙන් පසු කුස්සියේ සිටි ගැහැණුන් දවල් කෑම මේසය පිළියෙල කරන්නට කඩිනම් වන දෙස සුගලත් සඳලතාත් බලා සිටින්නට වූහ. 

මේ අතර ඩිංගිරි හාමුදුරුවෝ සඳලතාට කතා කර වළව්ව ඇතුළු ගැබට එනලෙස පණිවුඩයක් එව්වාය. එවැන්නක් කොයියම් මොහොතක හෝ සිදුවනු ඇතැයි අපේක්‍ෂාවෙන් සිටි සඳලතා, කැඳවීම ලැබුණ නිසා බෙහෙවින් සතුටට පත් වූවාය.

සුගලාට හිටි තැනම ඉන්න ලෙස හිසින් සන් කළ සඳලතා කොරිඩෝව දිගේ වළව්වේ ඈතට නොපෙනි යනතෙක් සුගලා බලා සිටියාය. 


අදට ඇති. ආයෙත් “MAGPIE LOUNGE” එකේදි හමුවෙමු!

මල්ලිකා එම් බණ්ඩාර

20. 07. 2021


No comments:

Post a Comment