අද එතැන් සිට...
" මටත් වළව්ව ඇතුළට යන්ට ඇත්තං”.
සුගලාට සිතෙන්නට ඇතුවාට සැක නැත.
තමන් නොවැදගත් දැරියක් යයිද, අනික් අය අතර සැලකිල්ලක් නැති කෙනෙක් යයිද සුගලාට සිතෙන්නට ඇත. අක්කට ලැබූණ විශේෂත්වය තමන්ට නැතයි සුගලා ගේ සිතට පුංචි දුකක් දැනුනි.
ඒ වුණාට අක්කා තරම් ලොකු වුණාම පුංචි අප්පෙ එක්ක ළඟ ඇසුරක් ලැබෙනු ඇතැයි සිතන්නට ඈ උත්සාහ කළාය.
සඳලතා ඇතුළු ගබට යනවිට පුංචි අප්පෙ ගේ කාමරයේ දොරකඩ ළඟ පුංචි අප්පෙත් ඩිංගිරි හාමුදුරුවෝත් සිහින් හඬින් යමක් කතා කරමින් සිටියහ.
සඳලතා එනු දැක හැරී බැලූ පුංචි කුමාරිහාමී සඳලතා සමඟ හිනා වුනාය.
"පුංචි අප්පෙ හරි ලස්සනයි".
ආයෙත් වතාවක් සඳලතා තමාටම කියාගත්තාය.
"මේං තනි රැක්කට පුංචි අප්පෙ උඹට තෑග්ගක් දෙන්ට යනව. අරගනිං".
ඩිංගිරිඋන්නාන්සෙ කීවාය.
" මේක මගේ කලින් කරාබු කුට්ටමක්. තියාගන්ට. මගෙන් සඳලතාට තෑග්ගක්!
“මේ අයියා තෑගි දුන්න කරාබු ජෝඩුව. විභාගේ ළඟ නිසා එයාට එන්ට විදියක් නෑලු. ඒ නිසා නැන්දා අතේ එවලා තිබුණා”.
පුංචි අප්පෙ ඇගේ සහෝදරයා දුන් තෑග්ග මහත් ආඩම්බරයෙන් වර්ණනා කළාය.
"ලොකු අප්පෙ එවලා තිබුණ කරාබු ජෝඩුව තමයි නැකතට කණේ දැම්මෙ".
ඩිංගිරිහාමුදුරුවෝ තම එකම පුතා සිහිපත් කළේ ආඩම්බරයෙනි.
වළව්වේ ලොකුඅප්පෙ, ඒ කියන්නෙ වළව්වේ වැඩිමල් දරුවා සහ එකම පුතා මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේය. ඔහු ගෙදර ආවේ ඉඳහිටය. සඳා සහ සුගලා ලොකු අප්පේ ගැන අහලා මිස අඩුතරමින් ඇහැට දැකලාවත් තිබුණේ නැත.
පුංචි අප්පෙ සුදු රෙදිකඩක දවටන ලද සුදු පැහැති ගලක් ඔබ්බවන ලද රත්තරං කරාබු ජෝඩුව සඳලතා දෙසට පෑවාය.
සඳලතාගේ දෑස් එලියට පනින්නට තරම් ලොකු විය.
ඇය ගම්දෝ නොගම්දෝයි මොහොතක් දෙගිඩියාවක හිරවී සිටියාය.
"ගනිං ඕක".
ඩිංගිරි හාමුදුරුවෝ කීවාය.
සුදුරෙදි කඩ දිගහැර කරාබු ජෝඩුව අතට ගත් සඳලතා මහත් ආසාවෙන් එදෙස බලා සිටියාය. සඳලතාගේ කන්පෙති මත බොහෝ කාලයක සිට වියළි කරපිංචා නැටි දෙකක් රැඳී සිටියේ කන්පෙත්තේ සිදුරු මැකෙනවාටය. කලින් ඇගේ කණේ තිබුණ දිප්සි ජෝඩුවෙන් එකක් හැලී ගිය නිසා අම්මා ඉතිරි එකද ගලවා කන් පෙති දෙකටම කරපිංචා නැටි දෙකක් දැම්මාය.
" ඕක ගුරා ළඟට ගෙනිහින් දීලා උඹට මං පුංචි අරුංගල් දෙකක් හදවල දෙන්නං"
අම්මා කරපිංචා නැටි කන් සිදුරේ රන්දන ගමන්ද, ඊට පසු කීපවරක්මද කී බව සඳලතාට සිහිපත් විය.
“ඒත් පුංචි කරාබු ජෝඩුවක් කණේ පළඳින්නට ඇත්නම්"යන ප්‍රාර්ථනය ඉටුවී නැති බව ඈ නොයෙකුත් වර සිතුවාය.
සිතිවිලි දැහනෙන් මිදී හදිසියේම පියවි ලොවට පිවිසි සඳලතා,
“හොඳද? උඹට යස අගේට හිටියි!”.
ඩිංගිරි හාමුදුරුවෝ දැරිය උනන්දු කළාය.
" හරි ලස්සනයි. පුංචි කුමරිහාමිට පිං සිද්ද වෙනවා"යි සඳලතා වචන ගලපා ගත්තාය.
සඳලතාගේ හඬ හරියට ඇඬුම් එන්නට ආසන්න කෙනෙකුගේ මෙනි.
"හ්ම්... ඕක පරිසං කර ගනිං".
දැරියන් බරාඳයේ සිටියදී ඩිංගිරි හාමුදුරුවෝ සාලය දෙසට ගියාය.
එදා හවස අම්මාත් සුගලාත් ආපහු ගෙදර යන විට ගෙනියන්ට වළව්වෙන් දෙන ලද කෑම පිරැවූ ලොකු වේවැල් පෙට්ටියක්ම ලැබිණි. අම්මා කරේ දමාගන්නා තුවායෙන් හදාගත් හුම්මය ඉස් මුදුනේ රඳවා ඒ මත වේවැල් පෙට්ටිය තියා ගත්තාය. පතුරු ඇර වේලන ලද පුවක් කොළේක සුරුහමට එතූ මාළු පිනි සහිත බත් මුලක්ද ගෙදර ගෙනයාමට දෙන ලදී.
හවස හරක් දිගේලිකර අවසන්ව අපුච්චා ගෙදර ආවේ තවත් කැවිලි මල්ලක්ද සමගය. කේක්, ඉස්පංචි, පැටිස් වැනි දුර්ලබ ගනයේ කෑමත් කෙසෙල් ඇවරි දෙකකුත් ඒ අතර තිබුණි. අක්කා පුංචි කුමාරිහාමිගේ තනි නොතනියට තවත් සුමානයක් විතර නතර කර ගන්නට ඕනෑ බව ඩිංගිරි හාමුදුරුවෝ අම්මට කියා තිබිණි. ඒ නිසා අක්කා වළව්වේ තවදුරටත් නතරවූ අතර ගෙදර තනිවූ සුගලාට එක් අතකින් අසීමිතව පාලුවක් දැනුණ මුත්, අනික් අතින් තනිව හිඳින අතර නිදහස බුක්ති විඳීමේ අප්‍රමාණ ඉඩකඩක්ද සැලසින'යි ඇයට සිතුණි.
පහුවෙනිදාත් අම්මා වළව්වට ගිය අතර, පෙර දින ඉවුම් පිහුම් වලට පාවිච්චි කළ, හැළි වළං සෝදා පිරිසිදු කිරීමේ කටයුතු වලට උපාසකම්මාට උදව් කළාය. ඒ අතර වාරයේ සුගලාටද වළව්වේ ඇත්තන් සමඟ ගැවසීමේ අවස්ථාව ලැබුණි. අම්මා සමඟ වෙනදාට වඩා කුළුපඟව සෑහෙන වේලාවක් ඩිංගිරි හාමුදුරුවෝ කතා කරමින් සිටියාය. අතරින් පතර ඔවුන් ගේ කතා බහ සුගලාට ඇහුන මුත් ඒ තරම් අවධානයකින් ඇය සවන් දුන්නේ නැති තරම්.
"ලබන සුමානෙ හිට පුංචි කුමාරිහාමි ඉස්කෝලේ යන්නේ ගෙදර ඉඳලා...බෝඩිමේ නතර කරන්නෙ නෑ ආයේ."
ඩිංගිරිහාමුදුරුවෝ අම්මා සමඟ කියනු සුගලාට ඇසිනි.
"ඒක අළුත් ආරංචියක්! මටත් යන්න ඇත්නම් බෝඩින් ඉස්කෝලෙකට. සුගලාට සිතුණි." සුගලාට සිතුනි.
ඉන් පසු හදිසියේ ඇසුන මේ සංවාදයට සුගලා උවමනාවෙන් ඇහුම් කන් දුන්නාය.
"එසඳියේ... මං මේ හිත හිතා හිටියෙ උඹට කියන්ට. උඹලගෙ ලොකු කෙල්ල එවපල්ලකො මෙහෙ... පුංචි අප්පෙට තනි නොතනියටත් එක්ක".
ඒක නම් අම්මාට තරමක් බැරෑරුම් ප්‍රශ්නයක් වනු ඇතයි සුගලා සිතුවාය. එනිසා වඩාත් උනන්දුවෙන් වැඩිහිටියන් ගේ සංවාදයට සවන් දෙන්නට ඇයට අවශ්‍ය විය.
එකෙනෙහිම අම්මා කුමන පිළිතුරක් දෙනු ඇද්ද'යි සිතන්නට අපෝසත්ව ඈ මඳක් තැති ගත්තාය.
එසඳි එකවර යමක් දෙඩුවේ නැත. ඒ වෙනුවට ඉලත්තට්ටූව අතට ගෙන බුලත් විටක් ඒදන්නට පටන් ගත්තාය.
එසඳි මහපටඟිල්ලෙන් ඉස් මුදුන දෙතුන් වරක් කැසුවාය. ඉන් පසු ගිරයට පුවක් ගෙඩිය තියා හඬ නැගෙන සේ දෙබෑ කළාය.
" ඒකිත් දැන් අවුරුදු දොළහ කම්මුතුයි ලබන පොහොන් මහට. අද හෙට ගෙට වෙන්ට ඉන්න එකීනෙ හාංදුරුවනේ”.
අම්මා හිස නූස්සාම පිළිතුරු දුන්නාය.
“පුංචි කුමාරිහාමිට අවුරුදු දාහතරත් පහුවුණා නොව ගෙට වෙන්ට. තව කොහෙද උඹේ කෙල්ලට.”
“ඔව්වා මේතැන්වල කරන්ට පුළුවන්දේය, හාන්ඳුරුවනේ.
අම්මා කන්කෙඳිරි ගෑවාය.
“කෙල්ලට පුරුදුයිනෙ දැන් මෙහෙ ඉඳලත්". අනිත් එක මොකෝ අපිට දැන් කොටහළු මඟුල් අරුමයක් යෑ."
අම්මා කිසිත් නොකීවාය.
පුවක් කෑල්ලක් දත් අතරේ තියා "කටස්" හඬ පිටවන ලෙස හපන ගමන් බුලත් කොළයක් අතට ගෙන අගත් මුලත් නිය'ගින් කඩා දැමුවාය. ඉන් පසු බුලත් කොළය අනික් පැත්ත හරවා දකුණතේ දබර ගිල්ලෙන් හුණු ටිකක් ඒ මත තැවරුවාය.
තවත් නිහඬ මොහොතක් ගෙවී ගිය පසු ඩිංගිරිහාමුදුරුවෝ හුන් තැනින් නැඟිට කොරිඩෝව දිගේ නොපෙනී ගියාය.
අම්මා හුණු තැවරූ බුලත් කොළය දෙකට තුනට නවා කටේ දමාගෙන බර... බර හඬින් හැපුවාය.
සුගලා දෙසට හිස හරවා මදක් බලා සිටි අම්මා
"යමන් යන්ට" කීවේ ඉතා හිමින් ය.
"එහෙනං මං ගිහින් එන්නං උපාසකම්මේ".
මිටි බංකුවෙන් නැඟිටින ගමන් කුස්සිය දිහාට කර පොවා බැලූ අම්මා කීවාය.
"හොඳා"
උපාසකම්මා ඕනෑවට එපාවට මෙන් පිළිතුරු දුන්නාය.
ගෙදර කිට්ටුවට යන තුරුම අම්මා වැඩිමනත් කතා කළේ නැත. අම්මා වළව්වෙන් පිටවුණේ තොන්තුවා ගතියකින්දැයි සුගලා සිතුවාය. සුගලා හෙමින් ගමන් කරන විටක ආපසු හැරී බලා අම්මා මදක් නතර වී සිටියාය.
"ටිකක් පය ඉක්මන් කරපන් පොඩිඑකී".
වෙනදා නැති අන්දමේ බිඳුන ගතියක් අම්මාගේ හඬෙහි පැවැතිනැයි දැරියට ඉවකින් මෙන් දැනිණි.
අම්මාගේ ස්වරය නොරිස්සුම් සහගත හෝ නොඉවසිලිමත් එකක් යයි සුගලා සිතුවේ හේතු යුක්ති සහිතවය. ඇගේ හඬ පමණක් නොව ගමන් විලාසයේ පවා වෙනදාට වඩා ඔතෑනි ගතියක් දුටුවාය. අම්මාගේ ඉරියව් කියවීමට තරම් ඉවක් සුගලා සතුව තිබිණි. එහෙත් ඒ ගැන හාරා ඇවිස්සීම නොහොබීයයි ඇගේ යටිහිත කෙඳිරුවාය.
හමුවුණාට ස්තුතියි!
ආයෙත් දවසක මුණගැහෙමු!
No comments:
Post a Comment