Tuesday, 6 July 2021

මල්මද බිසව්

 

මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

මල්මද බිසව් හෙට සිට (7. 07. 2021 දින සිට) MAGPIE LOUNGE  එකට අළුතින් ගොඩවදින කිරිල්ලියක්. ඇය, වරින් වර පාන්කිරිත්තන් අතරට පියඹා එනු ඇත. ​බලාපොරොත්තු තියාගන්න​.

ඔබ මේ සවන් දෙන්නට යන්නේ මගේ කතාවටද, ඔබේ කතාවටද,​ මගේ කතාව ලෙස ලියූ ගමේ කතාවටද, නැත්නම් ප්‍රතිනිර්මාණය කරන ලද අපේ කතාවටද යන්න මට එකවිට කිවනොහැකිය​. කෙසේ වුවද මා මේ සමාජ පසුබිමේ බිහිවූ පුද්ගලයින් අතරින් එක් සාක්‍ෂිකරුවෙකු පමණකි. සාක්‍ෂිකරුවාට කිව හැකි වන්නේද​ ඇස දුටුදේ පමණි. ඉතින් මම​ද,  ගං ඉවුරක හිඳ ගලායන ගඟට සවන් දෙන්නෙකු වැනිය​. මගේ ඇස්මානයේ දකින දේ හැර ඉන් එහා මගේ දර්ශන පථයට හසු වෙන්නේ නැත​.මා වැනි නරඹන්නන් දකින්නේ අප ඇස්පනා පිට පෙනෙන දේ පමණි. මා ඇස ගැටුණ කොටස අන් අයෙකු දකින්නට නැතුවා විය හැකිය​. එවන් කෙනෙකුට සාක්‍ෂි දැරිය හැකි වන්නේ ඔහු/ඇය දුටු ගඟේ ගලායාම පමණි. 

පුංචි උල්පතක් දිය සීරාවක් ලෙස මතුවී ඇළක්, දොළක්, ගඟක් වී ගලායන විට; වියළි ගම් බිම් දොවා තැනිතළා කඳු හෙල් පසුකරගෙන යනවා මිස ආපහු හැරී බලන්නේද නැත.  ගඟට මඟ​ වැරැදුනහොත් දිය වලක්වී පිරී ඉතිරී යනතුරු නැවතී, ලද නව ධාරිතාවෙන් පණ පෙවී නැවතත් ගමන අරඹනවාමය​. ජීවිතයත් ඒ වගේය.

ඒත් කාලය, කඩ ඉමකින් මායිම් කර අතීත  වර්තමාන අනාගත වශයෙන් බෙදා වෙන්කර ලිය නොහැකිය​. එනම් කාලය කිසියම් නිශ්චිත රිද්මයකට අනුව ගමන් ගතවුණත් අපිට කාලය හා සමමිතිකව ගමන් කිරීම බෙහෙවින් අසීරුය​.  ඒ වේගය හඹායාම බෙහෙවින් උගහටය​. එහෙත් කාලයත් සමඟ බැඳුණු සිදුවීම් සන්තතියක් ලෙස අඛණ්ඩව ගලායන මිනිස් ක්‍රියාකාරකම් වල මතක තුළ අප බොහෝ විට හිරවී ගැළී හිඳී. ඉතින් ඒ බන්ධන වලින් අපට මිදිය හැකිද​?

​ඒ නිසාදෝ රළු යථාර්තයට​ වඩා ගිළිහුණ අතීතයත්, නූපන් අනාගතයත් සුන්දරයි කියලා අප හිතනවා. මානව සංහතියේ එදා සිට මෙදා දක්වා ජීවත්වූ මිනිසුන් බලාපොරොත්තුවූ ඒ අසිරිමත් අනාගතය කීයෙන් කීදෙනෙකුට නම් අත්විඳින්නට ඉඩ ලැබෙන්නට ඇද්ද​?   

"මල්මද බිසව්" මුණගැසී කතාකරමු.

මල්ලිකා එම් බණ්ඩාර

06. 07. 2021

No comments:

Post a Comment