මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය.
මල්මද බිසව් හෙට සිට (7. 07. 2021 දින සිට) MAGPIE LOUNGE එකට
අළුතින් ගොඩවදින කිරිල්ලියක්. ඇය, වරින් වර පාන්කිරිත්තන් අතරට පියඹා එනු ඇත. බලාපොරොත්තු
තියාගන්න.
ඔබ මේ සවන් දෙන්නට යන්නේ මගේ කතාවටද, ඔබේ කතාවටද, මගේ කතාව ලෙස ලියූ ගමේ කතාවටද, නැත්නම් ප්‍රතිනිර්මාණය කරන ලද අපේ කතාවටද යන්න මට එකවිට කිවනොහැකිය. කෙසේ වුවද මා මේ සමාජ පසුබිමේ බිහිවූ පුද්ගලයින් අතරින් එක් සාක්‍ෂිකරුවෙකු පමණකි. සාක්‍ෂිකරුවාට කිව හැකි වන්නේද ඇස දුටුදේ පමණි. ඉතින් මමද, ගං ඉවුරක හිඳ ගලායන ගඟට සවන් දෙන්නෙකු වැනිය. මගේ ඇස්මානයේ දකින දේ හැර ඉන් එහා මගේ දර්ශන පථයට හසු වෙන්නේ නැත.මා වැනි නරඹන්නන් දකින්නේ අප ඇස්පනා පිට පෙනෙන දේ පමණි. මා ඇස ගැටුණ කොටස අන් අයෙකු දකින්නට නැතුවා විය හැකිය. එවන් කෙනෙකුට සාක්‍ෂි දැරිය හැකි වන්නේ ඔහු/ඇය දුටු ගඟේ ගලායාම පමණි.
පුංචි උල්පතක් දිය සීරාවක් ලෙස මතුවී ඇළක්, දොළක්, ගඟක් වී ගලායන විට; වියළි ගම් බිම් දොවා තැනිතළා කඳු හෙල් පසුකරගෙන යනවා මිස ආපහු හැරී බලන්නේද නැත. ගඟට මඟ වැරැදුනහොත් දිය වලක්වී පිරී ඉතිරී යනතුරු නැවතී, ලද නව ධාරිතාවෙන් පණ පෙවී නැවතත් ගමන අරඹනවාමය. ජීවිතයත් ඒ වගේය.
ඒත් කාලය, කඩ ඉමකින් මායිම් කර අතීත වර්තමාන අනාගත වශයෙන් බෙදා වෙන්කර ලිය
නොහැකිය. එනම් කාලය කිසියම් නිශ්චිත රිද්මයකට අනුව ගමන් ගතවුණත් අපිට කාලය හා සමමිතිකව ගමන් කිරීම බෙහෙවින් අසීරුය.
ඒ වේගය හඹායාම බෙහෙවින් උගහටය. එහෙත් කාලයත් සමඟ බැඳුණු සිදුවීම් සන්තතියක්
ලෙස අඛණ්ඩව ගලායන මිනිස් ක්‍රියාකාරකම් වල මතක තුළ අප බොහෝ විට හිරවී ගැළී හිඳී. ඉතින් ඒ බන්ධන වලින් අපට මිදිය හැකිද?
ඒ නිසාදෝ රළු යථාර්තයට වඩා
ගිළිහුණ අතීතයත්, නූපන් අනාගතයත් සුන්දරයි කියලා අප හිතනවා. මානව සංහතියේ එදා සිට මෙදා දක්වා ජීවත්වූ
මිනිසුන් බලාපොරොත්තුවූ ඒ අසිරිමත් අනාගතය කීයෙන් කීදෙනෙකුට නම් අත්විඳින්නට ඉඩ
ලැබෙන්නට ඇද්ද?
"මල්මද බිසව්" මුණගැසී කතාකරමු.
මල්ලිකා එම් බණ්ඩාර
06. 07. 2021
No comments:
Post a Comment