Monday, 19 July 2021

මල්මද බිසව් - 4 වන කොටස​

 ඒ දශක ගණනාවකට පමණ පෙර කාලයක තමා ප්‍රථම වතාවට  අම්මාත් සමඟ උඩහ වළව්වට ගිය ආකාරය අතිශය සොඳුරු මතකයක්ව  සිත තුළ චිත්‍රණයවී ඇති ආකාරයයි.  එදා ඒ සුගලා නම් පුංචි දැරිය ඇඳ සිටි ගවුමේ පැහැය පවා මතක යේ රැඳී තියෙන්නට තරම් ඒ ගමන විසින් ඇති කළ වෙනස කෙතරම් වැදැගත් වන්නට ඇද්දැයි සුගලාට සිතුණි. පසු කාලයේදී ඇගේ ජීවිතය ප්‍රතීනිර්මාණය කිරීමේදී ඒ මුල් දවස හා බැඳුන බොහෝ සිද්ධීන් මෙන්ම ඈ තුළ පිළිසිඳගත් සිතිවිලිද බෙහෙවින් වැදගත් වන්නට ඇතැයි ඇය සිතුවාය.

අනෙක් අතට අක්කා ගේ මෙන්ම අපුච්චාගේත් ඉරණම තීරණය කරන්නටත් තමා ගේ ජීවිතය විශාල අවකාශයකට විවර කරන්නටත් බලපෑ එකම තීරණාත්මක සාධකය උඩහ වළව්ව වූයේ කෙසේදැයි යන්න අදද සුගලාට සිතා ගත නොහැකි තරම්වූ උභතෝකෝටිකයකි. 

සුගලාගෙ පුංචි ලෝකය පුළුල් වීම ඇරඹුනේ ඒ සතිය පාදක කරගෙන යයි ජීවිතය දෙස ආපසු හැරී බලන හැම මොහොතකම ඇයට සිතුණ බව මතකය.  පුංචි සිත තුළ කළලයක් මෙන් වැඩී; බොහෝ සිදුවීම් ඇගේ චින්තන රටාවේ මහත්වූ වෙනසක් සිදුකරන ලදී. එදා තම සිත තුළ පිළිසිඳ ගත් චිත්ත සමුදායයන් අක්මුල් විදා ප්‍රසාරණය වෙන්නට පටන් ගත්තේ ඇදැහිය නොහැකි අයුරිනි. අවුරුදු පහක් වැනි වයසකදී සුගලා නම්වූ කුඩා දැරිය තුළ මේසා විශාල ලෝකයේ තමන් ඉතා කුඩා අණුවක් බව සිතන්නට තුඩුදුන් මූල බීජය රෝපණය වන්නට ඇතැයි සුගලාට අවබෝධ වූයේ පසු කාලයේදීය.

කෙසේ නමුදු ඒ සතිය තුළ අම්මා කීපවරක් වළව්වට ගියාය. ඒ හැම විටම සුගීටද එහි යන්නට හැකිවිය.  පුංචි අප්පෙගේ තනිනොතනියට සඳලතා සිටියේ වළව්ව ඇතුල් ගැබේ බැවින් ඒ සතිය තුළ සුගීට අක්කා මුණගැහුණේ කීප වරක් පමණි.  මුළු වළව්වම අමුතු කලබලයකය. කුස්සියේ ඉවුම් පිහුම් වල සුවඳ සුගීගේ නැහැපුඩූ තෙරපා හරින ලදී. සුගී බොහෝවිට කළේ ගස් යට වැටී ඇති පලතුරු වර්ග කීපයක් එක විට අහුලාගෙන මිටි බංකුව මත හිඳ කෑමය. 

බදාදා උදේ වරුවම පොඟවන ලද කැකුළු හාල් වංගෙඩියේ දමා කෙටුවේ අම්මාය. උපාසකම්මා පිටි හැලුවාය. ඉන්පසු වරක් අතිරස සඳහාද, තව වරක් කොන්ඩ කැවුම් සඳහාද, කොකිස් සඳහාද, වැලිතලප සඳහාද හාල් කොටා පිටි සකස් කරන්නට අම්මාට සිදුවිය. දාඩිය පෙරාගෙන මෝල් ගහෙන් දෑතින්ම බදාගෙන වංගෙඩියේ දමා හාල් පිටි කළාය. ලතාවකට මෝල් ගහ ඉහළ පහල හෙලන අම්මා දෙස බලා සිටි සුගීට අම්ම කෙරෙහි දුකක් ඇතිවිය. 

ඩිංගිරි හාමුදුරුවෝ සිමෙන්ති බංකුව මත වාඩිවී හිඳින ගමන් සියළු වැඩකටයුතු අධීක්‍ෂණය කළාය. ඇය දුන් උපදෙස්වලට අනුව අම්මාත්, උපාසකම්මා හා සිරිමලීත් කඩිරසරව එහා මෙහා යමින් නිමක් නැති වැඩපල වල යෙදුනෝය.

සුගීට කරන්නට දෙයක් නොතිබුණි. ඇයට වළව්ව ඇතුළු ගැබට යාමේ දැඩි උවමනාවක් දැනුණත් ඒ සඳහා ඉඩක් ලැබුනේම නැත. ගස් යට කැරැකී එකතු කරගෙන එන පලතුරු පොදිය ඉවර කර නැවත නැවතත් යන්නට සිදුවිය. ඒ කරන්නට  වැඩක් නැතිකමටය.

“උඹ දඩුලේනී වගේ ගහෙන් ගහට ගිහින් පේර කාලා බඩේකැක්කුම කියන්ට එපා සුගියේ ඔන්න” 

වරක් අම්මා අනතුරු ඇඟෙව්වාය.

යටි ඇන්දේ ඉදිරිපස  කිරි දත වැටුණ පසු ඇතිවූ හිඩැස පෙනෙනසේ හිනා වුණ සුගි බැලූ තෙක් මානයේ විහිද ඇති වළව් වත්ත සිසාරා වරින් වර දෑස් දිවෙව්වාය. රූස්ස තල්වැටියේ දැවැන්ත අතුපතර විනිවිද ගලන හිරු එළිය ළපටි තණ පත් මත මනස්කාන්ත හෙවැනැළි රටා ඇඳ ඇත. වත්තේ හැම ගහ කොළක් ම ඒවාට සුදුසු තැන් වල සිටුවා තිබුණි. සුදු පැහැති ලොකු  මල් පිරුණු අරලිය වැටිය දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී මේ උයන සුවඳවත් කරමින් තවත් චිරාත් කාලයක් හිඳිනු ඇත. ගමේ කොතනකවත් නැති තරම් අපූරු තැනක් ලෙස වලව්ව සුගලාගේ සිතේ ගැඹුරුම තැනක සනිටුහන් විය.​

"වළව්ව මහ පුදුම තැනක්නෙ. හරියට අක්කාගේ පාඩම් පොතෙන් අසා දැනගත් යෝධයාගෙ උයන වගෙයි". 

අන්තිමේදී සුගි තමන්ට ඇසෙන සේ හෙමින් කියාගත්තාය. 

"දැන් ඇති උලා කකා හිටිය. මූණ කට හෝදාගන්ට වරෙන් පුතේ"

අම්මා සුගීගේ නොනගත කාලය නිමා කළ යුතුබව දැන්නුවාය. කුස්සිය පැත්ත මහ යුද්දයකට ලෑස්ති වෙනවා වගේය. හැම කෙනෙක්ම කඩිමුඩියේ එහෙමෙහෙ දිවයමින් කළමනා ගෙනෙන්නටත් ඒවා අහුරන්නටත් යුහුසුළු වන බැවින් මුළු කුස්සියම සද්ද බද්ද වලින් පිරුණ කලබලකාරී තැනක් බවට පත්ව තිබිණ.

අම්මා ඉවුම් පිහුම් වලට උදව් කළ යුතු බැවින් මුළු රාත්‍රි කාලයම නොනිදා වැඩ කරනු ඇත. පසුවදාට වළව්වට එන නුවර හා මාතලේ වළව් වල නෑදෑයින්ට දිය යුතු ඉස්තරම් කෑම බීම කල් ඇතුවම පිළියෙල කළයුතුව තිබිණ.  ඒ නිසා බදදා රැය සුගීට අම්මත් සමඟ වළව්වේ නතර වන්නට සිදුවිය. රාත්‍රි කෑමෙන් පසු අම්මා කුස්සියට යාබද මඩුවේ මුල්ලක එලන ලද පැදුරක සුගීට නිදන්නට සැලැස්සුවාය.

ගමනට අඳින දෙපට කම්බායෙන් සුගීගේ හිසත් දෙපයත් හොඳින් වැසෙන පරිදි පෙරවූ අම්මා,

 "නිදාගනින් මගෙ පුතේ"යි කීවාය. 

පැදුරේ වැටී මොහොතක් ගතවන්නටත් පෙර නිදිමත ඇහෙන් කඩා වැටෙන බවත් මුළු සිරුරම අප්‍රාණිකව පැදුර මත කිඳා බසින බවත් දැනෙන්නට විය​. සුව නින්දක ආශ්වාදය​ කොතරම් මිහිරිද යත් සුගී ලතාවකට ආශ්වාස ප්‍රශ්වාස කරන්නට පටන් ගත්තාය.


ආයෙත් හමුවෙමු!


මල්ලිකා එම් බණ්ඩාර​

19. 07. 2021



No comments:

Post a Comment