අම්මා අඬගහන තුරුම දැරියට අම්මාගේත් ඩීංගිරි හාමුදුරුවන්ගේත් කසු කුසුව ගැන නිනව්වක් තිබුණේම නැති තරම් ය.
ගෙදර යායුතු කාලය ඇවිත් බව ඈ තේරුම් ගත්තාය. ඇය තණ බිස්සෙන් නැඟිට ගුරු පාරට පිය මැන්නාය. එසඳී ඉස්සර වූවාය. දැරිය ඇය පසුපස වැටුණාය.
මඳ දුරක් ගුරු පාරදිගේ ඇවිද ගෙන ආ එසඳී, බිම වැටී තිබුණ ලොකු පුවක් අත්තක් අහුලාගෙන එහි කොළපත කපා, ගොටුවක් සේ සකසා ගත්තාය. කොළපත් ගොටුවට තවත් ජම්ඹු ටිකක්, අඹරැල්ල ගෙඩී කීපයක් හා ලොවි, මසන් වැනි වළව් වත්තේ ගස් යට ඉදී වැටුනු පලතුරු වර්ග කීපයක්ද අහුලා ගත්තාය.
කොළපත පුරවන්නට අම්මාට උදව් කරන අතර සුගලා ඇගේ ඔඩොක්කුවේ ප්‍රමාණය අඩු නොවී තියා ගන්නටද සැලකිලිමත් වූවාය. ඇය යන ගමන් මඟ දිගටද ඔඩොක්කුවට අත පොවමින් අතට අහුවෙන පලතුරක් කෑවාය.
පොල් ගස් රුප්පාව දිගේ පීත්ත පටියක් ඇද්දා වගේ ක්‍රමවත්ව දිගෑදුන ගුරුපාර, ඇලට යාබද කොහිල වලවල් පසුකරන්නට ඔන්න මෙන්න තිබියදී ඇලකණ් ඩිය දක්වා වැටුණ අඩි පාරට හැරෙන තැනට පැමිණ එසඳී ආපසු හැරුණාය.
ඇඹුල් කරගත් මුහුණින් යුතුව ලොවි ගෙඩි කටේ පුරවාගත් දැරිය දුටු එසඳී ඇය දෙස නෝක්කාඩු බැල්මක් හෙලුවාය.
“ඇයි අක්කට තියාගන්නෙ නැද්ද”?
අනතුරුව ඇසුවාය.
“ඇයි අම්මා ළඟ තියෙන්නෙ”.
"අනෙ මගෙ කට. ඇයි උඹ දෙන්නෙ නැද්ද අක්කට?
දැරිය ආපහු හැරී අම්මා දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවාය.
“බෙදා හදාගෙන කන්ට ඉගෙන ගනිල්ලා. පොඩි කාලේ හුරුවුනෙ නැත්තං ඕව්වා පුරුද්දට යනවා".
"තමන් නරක දැරියක්ද" යන හැඟීම සුගලා තුළ දඟ කරන්නට වුයෙන් හෙමින් හෙමින් අම්මා පිටිපස්සෙන් නිහඬව ගමන් කළාය.
ඇගේ ගමන බාල විය. ඔඩොක්කුවට අත පෙවීමද මදකට නතර විය. පලමුවෙන් දෙවුරත් ඉන්පසු ගෙල මුලත් සෙමෙන් පහතට බර වෙනු ඇයට දැනිණ. තමන් කෑදර කෙල්ලක් යයි අම්මාට සිතෙන්නට ඇත.
ලැජ්ජාවක්, මදි පුංචි කමක් විනැයි දැරිය ගේ හිතට තෝන්තුවා ගතියක් දැනුණි.
"ඒ පාරනං කටට නිවාඩු දීල තියෙන්නෙ".
ආපහු හැරී බලන ගමන් අම්මා කීවාය.
"ඇයි අම්මාමනෙ කීවෙ අක්කටත් එක්ක තියාගන්ට කියලා".
සුගලා තමා නිර්දෝශී බවට කරුණු ඉදිරිපත් කළාය.
" මෙහෙ වරෙන් පඩත්තලකම නැතුව"
අඩිපාර පාර කෙලවර නතරවූ අම්මා සුගලා ගාට ගාටා එනු දැක මදක් නතරවී බලා සිටියාය. සුගලා අඩි ඉක්මන් කරමින් වැට අද්දරටවී අම්මා වැටෙන් පනින්නට උදව් කරන තෙක් ඔඩොක්කුවේ ඇති ඉදුණු පලතුරු පරිස්සමෙන් තියාගත්තාය.
මෙවර අම්මා, දැරිය එකින් එක පොල් කොට නඟින තෙක් අතින් අල්ලා ගෙන, ජම්ඹු පොදිය කටු කම්බියේ පැටලේයයි පරිස්සම් වූවාය.
ඉන්පසු අම්මා කම්බි පොටට උඩින් සීරුවෙන් ඇළ කන්ඩීයට බැස්සාය. පොල්කොට ඒදන්ඩ දිගේ නියරට ගොඩවූ සුගලා නියර දිගේ දිව ගියාය. සුගලාගෙ අක්කා සඳලතා මිදුලේ සිට නංගී සහ අම්මා එන මඟ බලා සිටියාය. අම්මාට ඉදිරියෙන් මිදුල දක්වා ගිය සුගලා තම ඔඩොක්කුව දිග හැර අක්කාට පෙන්නුවාය.
"අන්-නේ මටාත්”.
සඳලතා, නැඟැණිය පෙර මඟට දිව අවාය.
"අන්න අම්මා ලඟ ඇතිතරම් තියෙනව".
සුගලා ඉවතට දිවයමින් අම්මා එන දෙසට අත දිගු කළාය.
සඳලතා මඳක් කනස්සල්ලෙන් පසුබා අම්මා එන දෙසට හෙමින් හෙමින් ඇදුනාය .
"නංගී දුන්නෙ නැද්ද උඹට?
"නෑ අම්මා"
“පොඩි එකී, ඔය විනාඩියට උඹට අමතක වුණා මං කීදේ නේද?
"ඇයි ඔය කොළපොතක්ම තියෙන්නෙ අක්කට".
"උඹට හොඳයි ලොකු එකියේ, තනියම කන්ට පුළුවන් මේ ඔක්කොම"
අම්මා ඇහැක් ඉඟි කරමින්ම පුවක් කොළපත සඳලතා දෙසට පෑවාය.
අම්මගෙ ඉඟිය තේරුම්ගත් සඳලතා සිනාසෙමින් කොළපත දෝතින් බදා ගෙන කුස්සිය පැත්තෙන් ගෙට පිවිසියාය. සුගලාත් අක්කා පසුපසින් කාන්දමකට, ඇදී යන්නාක් මෙන් ඇදී ගියාය.
එදා හවස වැස්සී ගාල් කර කුස්සිය පැත්තෙන් අපුච්චා ගෙට ගොඩ වෙන තෙක් අක්කාත් සුගලාත් මඟ බලා සිටියහ.
"පුතේ අපුච්චට තේ කහට ටිකක්වත් රත්කරල නැද්ද?
"තේ එක දාල තමයි මම මිදුලට ගියේ. අපුච්චා හරකුන්ට වතුර දීල ඉවරද කියල බලන්ට’”.
ආංහ්! එහෙනං ගෙනා වරෙන් පුතේ මෙහාට. මං හකුරු කෑල්ලක් ගේනකං"
සුගීට ඒ සැන්දෑව අද මෙන් සිහිපත් කිරීමට පුළුවන. අපුච්චා අම්මාගෙන් වළව්වට ගිය කාරණය ඇසුවේය.
එනමල් කෝප්පය පිල්කඩ මත තැබූ අම්මා, කැපූ හකුරුකෑලි දැමූ පුංචි බෝතලය අපුච්චා අතට දෙමින්ම පිලමත පැදුර දිගහැරියාය. පැදුර මත වාඩිවූ අපුච්චා හකුරු කෑල්ලක් බෝතලයෙන් ගෙන දත් අග්ගිස්සේ තියා හපමින් තේ කෝප්පය අතට ගත්තේය.
“අහවල් දේටද ඩිංගිරි හාමුදුරුවො එන්ට කීවෙ?”
" ඕං පුංචි කුමරිහාමි ගෙට වෙලා... "
දැරියන් දෙස මාරුවෙන් මාරුවට බැලූ අම්මා අපුච්චා එක්ක ඇහෙන නෑහෙන හඬින් කියා දැරියන් දෙස හැරී බැලුවාය.
සුගලාට කෙසේ වෙතත් සඳලතාට නම් අම්මා කීදේ ඉවෙන් මෙන් තේරුම් ගත හැකිවිය.
" සඳා ඔය සුගිත් එක්ක ගිහින් උඹලගෙ වැඩක් බලාගනිල්ලා " අම්මා දැරියන්ට කීවාය.
සඳලතා උරහිස් අකුලා ගෙන පිල දිගේ මඩුව කෙලවර දක්වා ගාටන්නට වූවාය. සුගලාද අක්කා පසුපසින් ඇදුනාය.
"ඕං ඩිංගිරි උන්නාන්සේ කීවා, කොටහලු මංගල්ලේ ඉවර වෙනකං අපෙ සඳලතා වළව්වට ගෙනත් ඇරලන්ට කියලා... පුංචි අප්පෙගෙ තනි නොතනියට".
“අඃහා! උඹලා මොකද කීවෙ?
"මොනව කියන්ටද... මං ඉතින් “හා” කීවා. ලබන බුරහස්පතින්දා තමයිලු නාවන නැකැත තියන්නෙ. උඹලා හෙට උදේ හරක් මේච්චලේට යනකොට කෙල්ල එක්ක ගිහින් වලව්වට ඇරලාපල්ලා". අම්මා තීන්දු කළාය.
අම්මා කියපු හැම දේම තේරුණේ නැතත් අක්කාට හෙට වලව්ව්ට යන්නට සිදුවන බව සුගලා දැන ගත්තාය. සඳලතා නම් යමක් තේරුම් ගත්තාය. සෑම දැරියකගේම කිසියම් වයසකදී නොවැරදීම පසුකර යායුතු කඩ ඉමකට පුංචිකුමාරිහාමී අවතීර්ණවී ඇතිබව සඳලතා පසක් කළාය. ගැහණූ ළමයෙකුට අත් දකින්නතට සිදුවන ඒ අවස්තාව ඇය තුළ ලජ්ජාව මුසු කුහුලක් දනවන සුළු විය. ඒත් වළව්වේ දින කීපයක් ගත කරන්නට ලැබීම මහත් භාග්‍යයක් නොවේදැයි ඈ සිතුවාය.
සුගලා තුළ අක්කා කෙරෙහි සියුම් ඉරිසියා සහගත හැඟීමක් ඇතිවූ අතර අක්කා සමඟ වලව්වට යන්නට ඇත්නම් යයි ඇයටත් සිතුණි. උදේ ඇය හැබහින් දුටු වලව්වේ ඉදුණු පලතුරු පිරුන ගස් ඇගේ සිතේ ඒ මේ අත වැනෙන්නට විය.
අද මේ වන විට වළව්ව කෙතරම් වෙනස්ව ඇද්දැයි සුගලා පියෙවි සිතින් විමසුවාය.
ගොඩවැදුනට ස්තුතියි! ඊළඟ කොටස නුදුරේදීම බලාපොරොත්තු වෙන්න
මල්ලිකා එම් බණ්ඩාර
17. 07. 2021
No comments:
Post a Comment