Wednesday, 28 July 2021

යාඥාව​

 


ලොම් කපන්නන් අතර බැටළු පැටවෙකු වෙලා

නෙතු වසා මුව පියා හඬක් නොනැඟෙන නියා

යටහතුන් අතර යටහතෙකු වී සිටින්නට 

දෙවි සුවාමිනි  සවිය දුන මැනවි මා සිතට

 

මුළු ලොවම එක හඬින් එකම අරමුණක් වී

සුබ අස්න බිඳින්නට එකම පෙරමුණක් වී

කෙල ගසා කස පහර ලබා අඩ නිරුවතින්

යන වෙලේ ලද සවිය දෙනු මැනව මට ඉතින්

 

තැළෙන මිරිකෙන මිනිස් වග කෙරේ සෙනෙහසින්

කටු සැමිටි පහර කෑ    රුහිරු බේරෙන ගතින්

කුරුස ගහ හොවා බර දරා ගෙන​  කර  මතින්

ගොල්ගොතා ගියේ අප උදෙසාය ඉත සිතින්

 

කාසි පොදි නීති පොත මත වැටී වීසි වෙන

වාසි පිලටම එහෙයි!  කියා පිණිදිය ඉසින 

පාසි බැඳිලා දැහැමි මං පෙතේ ලිහිසි වෙන​

කලියුගෙන් අප මුදන දෙවිසමිඳ​  වඩිනු මැන

 

මල්ලිකා එම් බණ්ඩාර​

28. 07. 2021

No comments:

Post a Comment