අප්‍රේල් නිවාඩුව අවසන් වීමත් සමඟ නව පාසල් වාරය ආරම්භ වූයේ මහත් උද්‍යෝගයකිනි. සුගලාටත් වඩා සඳලතාට අළුත් පාසල් වාරය සුවිශේෂ වූවා සේය. සඳලතා කලින් දවසේ හිට ලක ලෑස්ති වූවාය. පුංචි අප්පෙගෙන් ලැබුණ ඇඳුම් මිටියෙන් පසු දිනට සුදුසු ගවුම තේරීම සඳලතාට බෙහෙවින් අසීරු කාර්යයක් විය. සමහර ඒවා ඉස්කෝලෙට හොඳ වැඩිය. තවත් ඒවා මඟුල් ගෙදරකට අඳින තරමට බෙහෙවින් ඉස්තරම් ඒවාය. පුංචි මල් වැටුන චීත්ත රෙදි වලින් මහපු ගවුම් මිස ඉස්කෝලේ කවුරුවත්ම සිල්ක් රෙදි වලින් මහපු ගවුම් ඇන්දේ නැත. ප්‍රමාණයට වඩා වටිනා ඇඳුම් ඇඳීමෙන් ළමයින් ගේ විහිළු තහළු වලට පවා ලක් විය හැකි බැවින් ගවුමක් තේරීම දුෂ්කර බව සඳලතාට වැටැහින.
"අම්මා කොයි ගවුමද මං හෙට අඳින්නේ?
බැරිම තැන ඇය අම්මාගේ උපදෙස් පැතුවාය.
"උඹට ඔච්චර ඇඳුම් තොගේකින් එකක් තෝරා ගන්ට බෑ?
“මේ… ඒ සිල්ක් ගවුම් හොඳ වැඩියි නේද?”
“එව්ව තියපං. ඔය චීත්ත ගවුං ඇඳපන් ඉස්කෝලෙට. ගමනකට බිමනකට අඳින්ට පුළුවන් හොඳ එව්වා තියාපන් ලෑලි පෙට්ටියෙන්”.
අම්මා ඇඳුම තීන්දු කළාය.
“කොහෙ යන ගමන්ද අපිට? අවුරුද්දට එක සැරයක් වෙසක් තොරන් බලන්ට යනව. එච්චරයි!”
අම්මාගේ තීන්දුවට එරෙහිව සඳලතා උපහාසාත්මකව උත්තර දුන්නාය.
අන්තිමට තෝරලා තෝරලා සඳලතා රතුරෝස මල් ඉහිරුනු ළා රෝස පාට ගවුමක් ඇඳ ගත්තාය. ඒකේ හැඩ බලන්ටවත් ගෙදර හරියේ කණ්නාඩියක් නැති එකේ කොහොම හැඩ බලන්නද?
අපුච්චා ඉඳ හිට රැවුල බෑවේ මිදුලේ අඹ ගහේ ගහපු ඇණයක රැඳවූ දෙතුන් පොලකින් ඉරි තැලුන කණ්නාඩියකිනි. ඒක ගන්ටවත් විදියක් නෑ. ඇණේ ළඟට අත පොවන්ට උස මදිනෙ.
"නමුත් වෙනදාට වඩා මේ ගවුමට මං ලස්සනයි" සඳලතාට හිතෙන්නට ඇත. සඳලතා තමන්ටම එහෙම කියාගන්නට ඇත.
“මේ ගවුම ලස්සනයි නේද?” යි සඳලතා අම්මා ගෙන් ඇසුවාය.
ඒ “අම්මා මම අද හුඟක් ලස්සනයි නේද” යන ප්‍රශ්නය වෙනුවට විය හැකිය.
අක්කා ඇඳුම් මිටියක් අතරින් සුදුසු එකක් තෝරන හැටි කුඩා දැරිය බලා සිටිනු දැක අම්මා මැදිහත් වෙන්නට අදහස් කළාය.
“පොඩි එකීට හරියන එකක් නැද්ද සඳෝ?”
අම්මා සුගලාගේ හිත නොරිදෙන්නට පිළියමක් ලෙස ඇසුවාය.
"මෙව්වා එයාට ලොකුයි. ඇන්ඳහම බාච්චු වගේ. ළමයි හිනාවෙයි ඒවා ඇඳගෙන ගියොත්..."
සඳලතා කපටි හිනාවකින් අම්මා නිහඬ කළාය.
සුගලාගෙ හිත සැබැවින්ම රිදී තිබිණි.
"අනුන් ගෙන් ලැබුණා වුණත් අක්කට ඇඳුම් ගොඩයි."
ඇගේ යටිහිත කන් කෙඳිරි ගෑවාය.
"මගෙඅම්මා අර අවුරුද්දට මහපු ගවුම ඇඳ ගෙන පලයන්"
අම්මා සුගලාගේ හිත සනසන්නට කීවාය.
සුගලා දිව ගොස් කළුවර ලෑලි පෙට්ටියේ තිබූ ගවුම ගෙන අඳින්නට වූවාය.
සිංහල අවුරුද්දෙන් පස්සෙ ඉස්කෝලෙ පටන් ගත්ත පළමුවෙනි දවස නිසා හැම ළමයෙක්ම අළුත් ඇඳුමකින් සැරැසී ඇවිත් සිටියහ. තම තමන්ට ලැබුණ අලුත් ඇඳුම අනික් අයට පෙන්නන්ට හැමෝටම ඉවසුම් නැත. සුපුරුදු වැරැහැලි වලින් මිදී අලුත් ඇඳුමකට හිමිකම් ලැබීමම ගමේ දරුවන්ට උජාරුවට හේතුවක් නොවේද?
අම්මා විසින් වියන ලද අපූරු පන් මලු දෙකක් සහෝදරියන් දෙදෙනාටම තිබුණි. රතු සහ කොළ කුකුල් සායම් පොවන ලද තෙලහිරියා පන් වලින් අම්මා විසින් වියන ලද මලු ඉතා ලස්සනය. මැදට කණ පියුම් මල් දමා මෝවිට දිගටම සමදරා මල් ය. දැරියන් දෙදෙනාටම ඉස්කෝල පොත්පත් සහ එනමල් කෝප්‍පය දමා ගැනීමට ඉඩ කඩ ඇතුව මෙවර අම්මා ඒවා වියා තිබිණි. ඉස්කෝලෙන් කෑම හම්බවෙනව. බනිස් එකයි කිරි කෝප්පයයි. ගමේ ඉස්කෝලෙට යන හැම ළමයෙක්ම පන් වලින් වියන ලද මල්ලක් කරේ දාගෙන යනවා. විශේෂයෙන් ගැහැණූ ළමයි. තමන්ට අයත් පොත් පත්, ගල්ලෑලි, ගල් කූරු, පැන්සල් පෑන් ඔක්කොම පන් මල්ල ඇතුළෙ දාගෙන ඉස්කෝලෙ යනවා.
ගෙවත්ත පැන ගම්සබා පාරට එන සඳලතාටත් සුගලාටත් ඔවුන් ගේ වයස් වල දරු දැරියන් මුණ ගැසෙන්නේ ගම්සබා පාරේදීය. ගම්සබා පාර කෙලවර වෙන තැනින් ගල් ඒදණ්ඩ පැන මහ වෙලේ මහ නියරට වැටෙන විට පුංචි කොලු කුරුට්ටන් ගණන පුංචි පෙරහැරකට තරම් ප්‍රමාණවත් ය. හැම ගෙදරකින්ම ළමයි හතර පස්දෙනා බැගින් එකතු වෙනව. සමාන වයස් වල අය වෙන වෙනම කාණ්ඩ හැදෙනව. පුංචිම උන් වැඩිමල් අයියලා අක්කලාගෙ අතේ එල්ලිලා සීරු මාරුවෙන් නියර දිගේ ගාටනව. සමහර ගෙවල් වල ළමයි හත් අටදෙනත් ඉන්නව. අවුරුද්දක හමාරක වයස් පරතරයක් විතරයි තියෙන්නෙ. පඩි පෙළ වගේ.
ඇල නියර දිගේ මේ පුංචි පෙරහැර කුඹුරු යාය හරහා ගිහින් කෙටි නියරකින් පමණක් අනික් ගම්මැද්දට යාවුණ දූපතක් වැනි බිම්කඩට යනවා. මේ ගොඩැල්ලේ තමයි ඉස්කෝලේ තියෙන්නෙ. ගොඩැල්ල දෙපැත්තේම කමත් දෙකක් තියෙනව. කුඹුරු වල ගොයම් කපන කාලෙට කමත වටේටම වට මලු හත අටක් වරදින්නෙ නෑ. ඊට අමතරව දවසපතා හරක් හතර පස් දෙනෙක් ඈඳලා කොළ පාගනව. ගමේ ගැහැණු කීප දෙනෙක් එකතු වෙලා ඊළඟට බැත හදනවා. කමත පුරාම කාටු ඉහිරෙනව. ඒ මදිවට ඉස්කෝලේ පිට්ටනිය පුරාමත් පිදුරු කාටු පියාඹනව. ඒ දවස් වලට පිට්ටනියේ සෙල්ලම් කරන්ට ළමයින්ට අවසර නෑ.
පාවහන් රහිත පා පොඩි යුහුව තබමින් යන පුංචි එවුන් උදේට කුඹුරු යාය හරහා යන මේ ගමන වැහි කාලෙට වුණත් හරිම සුන්දරයි. චිරි චිරි මඬේ එරි එරී නියරවල් දිගේ යන කොට ටිකක් හිරිකිතයි. හැම නියරකදිම කකුල් වල බොලට දක්වා මඬ ගෑවෙනව. ඒ වගේම නියරවල් වල තියෙන හැම වක්කඩකින්ම එකිනෙකා පෝලිමට කකුල් සෝදනව. ආයෙත් මඬ වුණ නියර දිගේ තව වක්කඩක් ළඟට යනව. එහෙම ගිහිල්ලා අන්තිමේදි ඉස්කෝලෙ වත්තට සමාන්තරව ගලාගෙන යන පුංචි ඇලෙන් හැමෝම එකතුවෙලා කකුල් වල මඬ සෝදා ගන්නව.ස්වයම්පෝෂිත, එහෙත් සරල ආර්ථික පසුබිමේ ගොඩනැඟුණ සමාජ නිර්මිතිය තුළ ගැමිදරුවන් සමාජගත වුණේ ඒ ආකාරයටය.
නැතිබැරිකමත් අඟහිඟකමත් ජීවිතයේ දෛනික අංගය ලෙසත්, කුසගිනි ඉවසීම හෝ ලද දෙයින් තෘප්තිමත් වීම නිසඟයෙන් පිහිටා ඇති ගුණාංගයක් ලෙසත් දකින්නට දරු දැරියන්ට මනා හික්මීමක් තිබෙන්නට ඇත. ඒ අහිංසකත්වය තුළ හැදී වැඩෙන දරුවන් ගෙන්, පරිසරය විසින් තමන් වටා බැඳ ඇති ඉණිමංකඩවල් බිඳින්නට එඩිතරවූයේ ඉතාමත් සුළු වශයෙනි.
“මඩ සෝදාගත් කළ ගොවියෝ රජ වරු වෙනවා නම්! අපේ ගමේ ඉස්කෝලෙ පුංචි රාජධානියක් වගේවෙයි. අපි ඒ රාජධානියේ පුංචි කුමාර කුමාරියො වගේ”. සුගලාට එහෙම හිතුණ. වලව්වේ ශ්‍රී විභූතිය දුටුදා සිට සුගලාගේ හිතේ පුංචි අත්හැඳි යුගලක් මෝදුවෙන්නට පටන් ගෙන තිබුණි. අළුතින් ඇස ගැටෙන දේ සමඟ සංසන්දනාත්මකව බලන්නට ඇයට අත්පොත් තැබුවේ ඒ පරිසරය විය හැකිය.
කුඩාවුන් හැමෝම වගේ අවුරුද්දට අළුතින් හම්බවුණ තෑගි බෝග ගැන කතා කළා. ඉස්කෝලෙ පටන් ගත්ත දවසෙ සඳලතාට යාලුවොත් එක්ක කියන්න අනන්තවත් දේ තිබුණ. ඒ අතර වළව්ව ගැනත්, පුංචිකුමාරිහාමිගෙ කොටහලු මඟුල් උත්සවය ගැනත්, ආපු නෑදෑයො ගැනත් තොරතොන්චියක් නැතුව ඇය කියෙව්වා. යෙහෙළියන් ඇය වටා රොක්වී සුරංගනා කතා අහන තරම් ඇල්මෙන් සවන් දීගෙන හිටියා, ඒ අය කවදාකවත් වළව්වට පය ගහල තිබුණෙ නැති නිසා. ඒකත් හරියට, හරියට අරාබි නිශොල්ලාශයේ කතා වලට ඇහුම්කන් දෙනව වගේ.
අප්‍රේල් මාසෙ ඉවර වෙලා උදේට ගිනි සැරට අව්ව පායලා හවස් වෙන කොට අකුණු ගගහ වහින බක් මහ වැහි නතරවෙලා ගියා. ගම පුරාම අමුතුම නැවුම් බවක් දැනෙනව. ගමේ මිනිස්සු තුළත් ඒ ප්‍රබෝධය පැතිරෙනව. ගහ කොළ මල් වලින් පිරිල, ගෙඩි ඉදිල, කුඹුරු වල අස්වැන්න ගත්ත අළුත නිසා අටු කොටු පිරිල. ගමේ මිනිස්සු ඊළඟ කන්නෙට කුඹුරු වැඩ කරන්ට බලාගෙන ඉන්නෙ. හැම කෙනෙක්ගෙම හිතේ අලුත් බලාපොරොත්තුවක්.
මැයි මාසෙ වෙනකොට ආයෙත් වැස්ස පටන් ගන්නවා. ඒ වෙනකොට ආයෙත් අතු ඉති කරටි වල මල් පූදින කාලෙ. බක් මී මල්, දොඹ, කරඳ , සපු, දුනුකේ මල් පිපිලා ඇල නියර දිගේ. ඉස්කෝලෙ යන කොට මඟ දිගට සුවඳයි. ඒක හරි අපූරු සුවඳක්. හැම මල් සුවඳක් ම එකතුවෙලා හැදුන, ඉවසන්ට බැරිතරම් සුවඳක්. සඳලතාත් සුගලාත් මඟ දිගට පිපිච්ච මල් ටිකක් කඩාගෙන උදේට ඉස්කෝලෙ අරන් යනවා.
හිරිපොද වැස්සට තෙමී තෙමී ඉස්කෝලේ යන්නට වීම ගමේ දරු දැරියන්ට එතරම් දෙයක් ද නොවේ. වැහිදාට ඉස්කෝලෙ යන්ට සුගී බෙහෙවින් කැමතිය. මඟ දිගට මඩ කඩිති වල බැසීම නිසා පෙඟුන ගවුමේ වාටිය මිරිකා හැර තෙතබරිත ඇඳුම පිටින්ම ඇය පන්තියට ගියාය. බංකුවේ වාඩිවූ පසු ඉබේ වේලෙන තුරු ඉවසා සිටියා මිස ඒ ගැන කරදර වීමට ඇයට අවශ්‍ය නොවිණි.
සමහරදාට අපුච්චා හරක් මේච්චලේ ගිය විට අම්මා කෙසෙල් අතු දෙකක් කපා ගෙනවිත් සඳලතාටත් සුගලාටත් දුන්නාය. උදේට තල් අතු, කෙසෙල් අතු සහ හබරල අතු ඉහලාගෙන පොද වැස්සේ ඉස්කෝලෙට යන පොඩිවුන් ගමේ සුලභ දර්ශනයකි.
ගොඩැල්ලේ ඉස්කෝලේටම කුඩයක් තිබුනේ එකම ගැහැණු ළමයෙකුට පමණි. ඇගේ නම පද්මා ය. ඇයගේ කුඩය අතපත ගෑම පවා අන් දැරියන්ට මහත් ආශ්වාදයක් විය. ඇය ගමේ දැරියක් නොවේ. ගමේ පදිංචි නෑදෑයෙකුගේ ගෙදර නතරවී ඇය ඉස්කෝලෙට ආවාය. වැහිදාට කුඩය ඉහලාගෙන එන පද්මා ඉදිරියට ගොස් ඇගේ කුඩය හකුලා පරිස්සමින් කොට බිත්තිය අයිනේ තියන්ට සමහර දැරියන් පොර කන්න පටන් ගන්නව.
"වැස්ස වැඩිවුණොත් මම මහ ඇල ලඟට එන්නං පුතේ".
තලාතු නැත්නම් කෙසෙල් අතු ඉහලාගෙන දැරියන් දෙදෙනා මිදුලට බහිනවිට අම්මා කියන්නීය. ඒත් අම්මා මඟට නොඑනවානම් මැනැවැයි සුගලා සිතන්නීය.
අදත් පොල්කිච්චියන් අතරට ආවාට ස්තුතියි!
නැවත මුලිච්චිවෙමු.
මල්ලිකා එම් බණ්ඩාර
22.07. 2021
No comments:
Post a Comment