Thursday, 29 July 2021

මල්මද බිසව් - 8 වන කොටස​

අද එතැන් සිට​...


අපුච්චා හරක් මේච්චල් කරන්නට යන්නේ වළව් වත්තටය​. ඔහු දවසට තුන් වරක් හරක් දිගේලි කර දමා හරකුන්ට​ තණ කන්නට සලස්වයි. ඉන් පසු හරක් බානට වතුර දී හවස ගෙදර එන තෙක් ඔහුට කරන්නට බොහෝ දේ ඇත​. සෑම දවසකම වළව් වත්තේ වැටෙන පොල් අතු, හනසු, බූ මටුළු ආදිය එකතු කොට පොල් ගස් මුලට දැමීමට වත්තේ මුරකාරයාට උදව් කළ යුතුය. ඒ හැරුනු විට වළව්වේ කුඹුරු වැඩ කාලයට හරක් බානත් සමඟ හී හාන්ටත්, පෝරුගාන්ටත්, වී වපුරන්නටත්​ නොවරදවාම සහබාගිවිය යුතුය​. ඒ  අතරම වළව්වට අයත් අඳකුඹුරු කට්ටියේ වැඩද කළ යුතුය​. අඳ කුඹුරු හරියට පැහුණෙ නැත්නම් අඳය කඩා වෙන ගොයියෙකුට බාර දෙන්නට බණ්ඩාර හාමුදුරුවෝ දෙවරක් හිතන්නේ නැත.

අම්මාත් අපුච්චාත් වළව්වේ දේවල් කතා කරන අතර​ ඒ කතා බහට සවන් දීමට සුගලාත් සඳලතාත් පුරුද්දක් වශයෙන් නොපැමිණීමුත් මඩුවේ කෙලවර අපුච්චාගේ ඇඳ ළඟ පැදුරක් එලාගෙන ළමාවියට ආවේණික කතා කියන්ටත් විහිලු තහලු කරගන්නටත්  පුරුදුව සිටියහ. සෑම හවසකම මේ එකාකාරී සංවාද වලට සවන් දී පුරුදු දැරියන්ට ඒ සංවාද වල විශේෂත්වයක් නොතිබුණි. නිකං ඇහෙනවාට අහගෙන සිටියා පමණි.

 පපු කැවුතු නැති මිනිස්සු”. වරෙක​ බණ්ඩාර හාමුදුරුවෝ ගැන අපුච්චා සඳහන් කරනු ඇසුනු කෙනෙහිම සුගලා අක්කා වෙත ගියාය​.

අක්කෙ, දන්නවද​, වළව්වේ ඉන්නේ පපු කැවුතු නැති මිනිස්සු යි කීවාය​.

ම්ඈමේ කවුද නංගිට​ එහෙම කීවෙ?

මට කීවෙනෑ කවුරුවත්. අපුච්චා අම්මා එක්ක කියනව ඇහුනා. සුගී කීවාය​.

සඳලතා එය අම්මාට රපෝර්තු කළාය​.

"මොනවද සුගී උඹ වැඩිහිටියන් ගේ කතා වලට  ඇහුම්කං දෙන්නෙ? කට තළනව ආයෙ එහෙම ඔය කතාව කාඑක්ක හරි කීවොත්". අම්මා අනතුරු ඇඟවූවාය​.

"තුන්සිය හැට පස් දවසෙම අමුඩේ කඩන්නැතුව වැඩ කෙරුවත් ඉවරයක් නෑ බොලව්!

පිලේ එලන ලද පන් පැදුරේ ඉඳගෙන දෑතින් කෙන්ඩා පිරිමදින ගමන් අපුච්චා අම්මාට කියන්නේය​.

"පෙර පිං කරපු ඇත්තෝ රජ සැප විඳිනව​. ඒ මිනිස්සු පලිද අපේ පූරුවෙ කරුම වලට​"

ඒ අම්මාගේ බුද්ධාගමය​. ඇය සාධාරණීකරණය කරන හේතු ඵල වාදයේ කිසියම් වැරැද්දක් ඇතැයි සුගලා පසු කාලයේ සිතන්නට පෙළඹුනාය​.

අම්මා තලකොළ වලින් වියන ලද මලුපිටක් ගෙන හතරට නවා පිල්කඩ අයිනේ තියා ඒ මත​ ඉඳ ගන්නීය​. අම්මාත් අපුච්චාත් දෛනික වැඩ සමාලෝචනය කරන්නේ එසේ තේ කහට බොන ගමන්‍.​ අම්මා තේ කහට අපුච්චාගේ කුසලානට දමා සක්කර හකුරු කෑල්ලකුත් සමඟ අපුච්චා අතට දෙන්නීය. ​අම්මා ඇතුළත​ පිටත හොඳින් සුද්ද කළ පොල් කටුවක් තේ කහට බීමට කුසලානක් ලෙස පාවිච්චි කළාය​. අපුච්චාගේ හකුරු කෑල්ලෙන් කොටසක් ලැබෙන බැවින් සඳලතාත් සුගලාත් හොරගල් අහුලමින් සිටින බව අපුච්චාත් අම්මාත් දනී. තේ කහට ටික "බ්‍-රූස්...බ්-රූස්" හඬින් දෙතුන් සැරේකට ඇද දමන අපුච්චා හකුරු කෑල්ල දෙකට කඩා දැරියන්ට දෙයි.

 "ඕං බලාපල්ලකො අර ලෝදිය තලිය උගුරට දෙකට බැස්සුව හැටි මේ මනුස්සයා".

 අම්මා කියා ගන්නේ තමන්ටමය​.

අපුච්චා දුන් හකුරු කෑල්ල තම අතට ගන්නා ගමන් සුගලා අක්කාගේ හකුරු කෑල්ල තම පංගුවට වඩා ලොකුදැයි හොරැහින් බලන්නට අමතක නොකරයි .

"මොනවද බලන්නෙ? මගෙ හකුරු කෑල්ල ලොකුද කියලා ඔය බැලුවෙ" සඳලතා නෝක්කඩු කියන්නීය​.

"මං බැලුවෙනෑ අක්කගෙ හකුරු කෑල්ල දිහා”.

සුගලා නිවැරැදි වීමට උත්සාහ කළත් සැබවින්ම තමන් හොරැහින් අක්කාගේ හකුරු කෑල්ල මැන බලන්නට උනන්දුවූ බව සඟවන්නට කරුණු කීවාය​.

"මේ නෑනලා දෙන්නගෙ හබේ බේරන්ටනේ බැරි මට​. දෙන්ට එපා මීට පස්සෙ එකෙකුටවත්".

අම්මා අපුච්චා දෙස නියෝගයක් දෙන බැල්මකින් කියන්නීය​.

මෙය හැමදාමත් පුරුද්දක් ලෙස ඇසෙන නියෝගයකි. මොහොතකින් දැරියන්ට සියල්ල අමතකවී කෙළිදෙලෙන් එකතුව සිනාසෙන්නට පටන් ගනු ලබයි.

සුගලාගේ මනෝ ලෝකය දිග හැරෙන්නේ සියළු සිදුවීම් විස්තර සහිතවය​. බාල ළමාවිය පිළිබඳ මතක අනුපිළිවෙලින් ඇගේ උඩු සිතට ගලා එන්නේ උල්පතකින් කාන්දු වෙන දිය සීරාවක් පරිද්දෙනි. සුගලාගෙ සිත ඒහා බැඳෙත්ම සිහින් සිනා රැලක් ඇගේ මුව මත විසිරෙන්නට පටන් ගනියි.

අනේ ඒ කාලය මොන තරම් සුන්දරද​? ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ  සඳලතාටත්, සුගලාටත්  කරන්නට එතරම් වැඩක් නැති තරම්‍. බොහෝ විට සඳලතාත්, සුගලාත් තරඟයට මෙන් පද්‍යා වලියේ සහ පද්‍ය රසයේ කවි හඬ නඟා ගැයූහ​. අම්මා රාත්‍රි ආහාරය පිළියෙල කරන තුරු දැරියන් දෙන්නා  මිදුලේ ගල් පොත්ත මත වාඩිවී අඳුරු වැටෙන තුරු කවි කීහ​. ඒ කවි පවා තමන් ජීවත්වූ පරිසරය සමඟ​ සමායෝජනය වූවා නොවේදැයි ඇයට සිතෙයි.

"හැන්දෑවට රතුකහ සුදු හෙන්දිරික්ක මල පිපුණම​

ඒළඟ ගල පොත්තක් උඩ වාඩි කරන්නම්..."

පුංචි කාලෙ මිදුලේ ගල් පොත්ත උඩ අක්කත් එක්ක වාඩිවෙලා කවි කීව හැටි ඇගේ මනසේ ඇඳීයයි. කෝපි ලන්ද​ ළඟට යනකම්ම ඒ කාලෙ අපේ මිදුලේ හෙන්දිරික්කා ගස් වල පාට පාට​ මල් පිපිලා තිබුණා. මුළු මිඳුලම මල් සුවඳයි. අද ඒ සුවඳත්, ලස්සනත් හොරු අරන් ගිහිල්ලා වගෙ” ඇයට සිතෙයි.  

සමහර හවසක අක්කා කාගෙන් හෝ ඉල්ලා ගෙන එන ලද කතා පොතක් කියවීම​ පුරුදක් කර ගත් අතර සුගී කටපාඩම් කරගත් පද්‍ය රසයේ කවි හඩ නඟා කීවේ මිදුලේ පුංචි අඹ ගහ උඩ නැඟගෙනය​. අඩු තරමින් කෝපි ගහකටවත් නැගගෙනය.

දිනක් සඳලතා කාගෙන්දෝ අරාබි නිශොල්ලාසය ඉල්ලාගෙන ඇවිත් කියවන්නට පටන් ගත්තාය​. සඳලතා  කියවන හැම කතන්දරයම සුගීටද කියා දුන්නාය​.

"අක්කේ අර පොතෙන් කතාවක් කියල දෙනවද මට​?"

සුගී මහත් උන්නදුවෙන් අසන්නීය​.

"අනේ මටනං බෑ. නංගිත් කියවන්ට පුරුදු වෙන්ට​. අනුන් දිහා බලාගෙන ඉන්නෙ නැතුව".

"කියෙව්වට මට තේරෙන්නෙ නෑනෙ අක්කේ"

"කියවන්ටකෝ... එහෙම කියවන කොට තේරෙයි."

සුගලා යන්තං හෝඩියේ පන්තියට යන විට සඳලතා හිටියේ හයේ පන්තියේ ය. ඒනිසා සුගලාට වචන ගැලැපීම අසීරු විය​. කවිපොත් බලාගෙන කවි කීවත් ඒ පද ගලපා ගෙන නොව කට පාඩමෙනි. පොත පෙරලාගෙන හිටියට ඇය ගැයුවේ වෙනත් පිටුවක තිබෙන කවකි.

සුගලා තුළ පැවති කියවීමේ ලැදියාව නිසා සඳලතාත් සුගීත් අතර පිංසෙන්ඩුවීම්, හෙට්ටුකිරීම් කෙලවරක් නැත​.

 " අලුත් කතාවක් කියල දෙනව මට වතුර කෝපයක් ගෙනත් දුන්නොත්"

සුගී කතාව ඇසීමෙ අශාවෙන් මඩනා ලදුව සඳලතාගේ ආවතේව කරන්නට නොපැකිලුනාය​.

"උඹ බොහොම නාකයි සඳලතා. පුංචි එකීට ඔහොම කරන එක හරිද​?

දිනක් දැරියන් දෙන්නාගේ සංවාදය කණ වැකුණු අම්මා සඳලතාට නෝක්කඩු කීවාය​.

"පොඩි එකී උඹ ඉක්මනින් අකුරු ඉගෙන ගනීං. එතකොට ඔය ආඩම්‍බරකං බලන්ට වෙන්නෙ නෑ උඹට​."

ඉන්ටකෝ මං ලොකුවුණාම ලොකූ පොත් කියවනව​. සුගී එහෙම වෙලාවට කියන්නීය​.

සඳලතා අරාබි නිසොල්ලාසය පමණක් නොව සිරියලතා, දෙයියන්නෙ රටේ, කැළෑහඳ වැනි පොත් ඉස්කෝලේ පුස්තකාලෙන් ගෙනාවාය​. පොතක් අතට අහුවුණ කල ඇය මුළු රාත්‍රිය පුරාම කියවන්නීය​. ඉස්කෝලේ වැඩනම් ඒතරම් උනන්දුවෙන් කළේ නැත​. ඉස්කෝලේ උගන්වනදේ මතකයේ තියා ගැනීමේ හැකියාවක් ඇයට තිබුණද වාරාවසාන විභාග වලදී ඈ එතරම් සැලකියයුතු අන්දමේ සාධනීය මට්ටමක නොසිටියාය​. කතන්දර පොත් කියවීමට සඳලතාට තිබූ මහත් අභිරුචිය විෂය කරුණු සම්බන්දයෙන් මතුවූයේම නැත​.


පොල්කිච්චි අඩවියට ගොඩවැදුනාට ස්තුතියි!

හමුවෙමු ආයෙත්... 

මල්ලිකා එම් බණ්ඩාර​

28.07. 2021

 

 

No comments:

Post a Comment