සුගලාගේ මතකයට උපාසකම්මා ගොඩ වදින්නේ ඇය වලව්වේ දැවැන්ත චරිතයක් ලෙස ඇයට හැඟුණ නිසා විය හැකිය. උපාසකම්මා යනු වළව්වේ මුළුතැන් ගෙය භාර තලත්තෑනි කාන්තාවයි. මේ මහා මන් දිරය තුළ ඇය ගේ කාර්යභාරය සීමාතික්රාන්තය. ඇය එහි පුළුල් විෂය පථයක් ආවරණය කරනු ලබයි. ඇගේ නම කුමක්දැයි කිසිවෙකු නොදනී. නමුත් හැමෝම ඈ ඇමතුවේ "උපාසකම්මා" යනුවෙනි.
සාමාන්‍ය ව්‍යවහාරයේ උපාසක අම්මා යනුවෙන් අමතන්නේ වියපත් ගැහැණුන්ටය. ඒ ඔවුන් සිල්වතුන් නිසාම නොවේ. සිංහල බෞද්ධ සමාජය තුළ එවැන්නියන් සිල් සමාදන් වන නිසා එසේ හඳුන්වනවා විය හැකිය. ලාංකික සංස්කෘතිය තුළ වයස අනුව එකිනෙකා ආමන්ත්‍රණය කිරීමට නෑකමක් භාවිතා කිරීම චාරිත්‍රයක් බැවින් විශේෂයෙන් වයස්ථයින් ඔවුන් ගේ නමින් ඇමතීම නුසුදුසුයයි පිළිගැනේ. එනිසා ප්‍රභූන් විසින් නමකින් ඇමතීමට අකැමැති, එහෙත් ඔවුන් ගේ ගෙවල්වල බැලමෙහෙ කරන මෙවැනි උපාසකම්මලා සහ උපාසකලා අනන්තවත් සිටින බව නම් නොරහසකි.
වළව්වේ ඇත්තන් ගේ "උපාසකම්මාද” එවැනි, වයස අනුව නමින් ඇමතීමට නොහැකි අවස්ථාවක කෙනෙකු ඇමතීමට පාවිච්චි කරන පාර්යාය නාමයකි,ආමන්ත්‍රණයකි. වලව්වේ ස්වාමීන්ට සුවච කීකරු මුළුතැන් ගෙයි සේවිකාවක් වූ ඇය පවුලේ සියලු ඕනෑඑපාකම් සොයා බලා තම යුතුකම් අකුරටම ඉටුකරන්නට සැදී පැහැදී සිටියාය.
එදාත් අම්මා වාඩිවී සිටි සුපුරුදු මිටි බංකු කෙලෙවරේ වාඩි වුණ සුගලා ඇයට මේ නුහුරු පරිසරයේ අලුත් අත්දැකීම් උකහා ගැනීමට මෙන් වට පිට බැලුවේ කුතුහලයෙනි. ඩිංගිරිහාමුදුරුවෝ එනතුරු උපාසකම්මා සහ සුගලාගේ අම්මා, ගජරාමෙට කතාවක පැටළීගෙනය.
බිමට ගඩොල් අතුරා ඇති මඩූවට යාබද තිබුණ විශාල වී අටු දෙකක් සුගලා ගේ දෑස ගැටුණි. පිදුරු හෙවිලිකර මනාව කපන ලද අග්ගිසි සහිත වහලය, අළුත පිපුණ යෝධ වැලි බිම්මල් දෙකක් වගේ යයි සුගලා හිතුවාය. ඒහිතිවිල්ලත් සමඟ, හේවායාකොටුවේ කුඹුරු වල ගොයම් කපන කාලයට, බැත කරත්තේ පිටුපස්සේ ඉඳගෙන, ඉඳලෝලු හා රත්කැවිල බිම්මල් පිපුණ පරණ අහස් යාත්‍රා පිට්ටනිය දිගේ ගෙදර ආව හැටි සුගලාගේ මතකයට ආවේය.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඉදි කරන ලද අහස් යානා පිට්ටනියේ ඓතිහාසික සුන්බුන් අතර කුණු පුළුස්සන්නට පාවිච්චි කළ උදුන් කීපය පසු කරගෙන එන විට සුගලාට දැනුණේ ශෝකාකූල හැඟීමකි. ඒ අත්තා මිහිදන් කළ සොහොන්කොත ඇගේ මතකයේ රැඳී ඇති නිසා විය හැකිය.
සැතපුම් තුනක් තරම් දිගට විහිදෙන ඒ මුඩු බිම සරුවට වැඩුන වරා, එරමියා, රණවරා ගස් වලින් වැසී තිබූ අතර හිස් පොළවෙහි ඉල්මහේ සිරි පොද වැස්සෙන් පසු ජීවය ලබන ඉඳලෝලු, රත් කැවිල සහ වැලි බිම්මල් පිපෙන තෝතැන්නක් බවට පත්වේ. කිරලුන්, වටු කුරුල්ලන්, කොරවක්කන් සහ මයිනන් ඇතුළු කුරුල්ලන් රංචු පිටින් ගැවසෙන මේ සුන්දර භූමිය කුරුළු පාරාදීසයක් වැනිය.
වරක්, පොල් අත්තෙන් වියන ලද ලොකු කූඩයක් පිරෙන්නට අත්තම්මා බිම්මල් ගෙනා වග දැරියගේ මතකයට නැඟුණි. සුගලාත් අක්කා සඳලතාත් නොතැලුණ බිම්මලක් ගෙන ඉසට උඩින් අල්ලා,
"මෙන්න මගේ පට කුඩේ"
යයි එකිනෙකාට පෙන්වාගත් හැටි සුගලාට සිහිපත් විය.
“උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක…”. සඳලතා තවත් බිම්මලක් ගෙන සුගලාට පෙන්වන අතර තාලයට ගැයුවාය.
සුගලාටත් එයම කරන්නට අවශ්‍ය විය. ඇය බිම්මල් කූඩය පහුරු ගෑවාය.
බිම්මල් මිරිකමින් එහාමෙහා පෙරලන විට අත්තම්මා කෝප වූවාය. අන්තිමේ අත්තම්මාගෙන් බැණුම් ඇහුවාය.
සුගලාගෙ මනෝලෝකයට බාදා කරන්නට මෙන් අම්මා කතා කළාය.
“පුතේ ඩිංගිරි හාමුදුරුවෝ ආහම නැගිටපන් ඕං " කීවාය.
සුගලා "හා"යි ඔළුව වැනුවාය.
“මේ මඩුව විතරක් අපේ ගෙදරටත් වඩා විසාලනේ".
සුගලා මඩුව පුරා දෑස් යවමින් සිතුවාය. එහෙත් කටක් ඇර වචනයක් පිට කරන්නට අපහසු බවක් දැනිණි. බියක්ද ලැජ්ජාවක්ද නැත්නම් ඒ දෙකේම මිශ්‍රණයක්ද යි කිව නොහැකි, කිසියම් අපහසු බවකින් මුළු ගතම අකර්මන්‍ය කර ඇති බව ඇයට දැනුණි.
කුස්සියේ වැඩ වලට අවශ්‍ය වට්ටි-පෙට්ටි, වංගෙඩි, මෝල්ගස් , කුළු, මලු මෙන්ම මාගල් ආණ වැනි දෛනික කටයුතු වලට යොදා ගන්නා ආම්පන්න පිළිවෙලකට මඩුවෙහි ස්ථානගත කර තිබිණි. ගරාදි වැට අයිනට වෙන්නට කොන්ක්‍රීට් වලින් නිම කළ දිග බංකුව-ක්ද, දිග බංකුවට සමාන්තරව එහෙත් මඳක් ඈතින් මිටි ලෑලි බංකුවක්ද තබා ඇත. තලතුනා ගැහැණිය හෙවත් උපාසකම්මා සුගලාගෙ අම්මාට,
" ඉඳ ගනින්" යයි කීවේ ඒ මිටි බංකුවේය.
අම්මා සුගලාගේ අතින් අල්ලා ගෙන ගොස් ඉන්ඳෙව්වේද ඒ මිටි බංකුවේය.
තවත් මොහොතකට පසු " අර බංකුවේ ඉඳ ගන්ට යන්ට එපා" යයි අම්මා අර කොන්ක්‍රීට් බංකුව පෙන්නුවාය.
අම්මාගේ රහස් හඬින් දුන් අවවාදයට නැවතත් හිස වනා එකඟවූ දැරිය තව ටිකක් අම්මා දිහාට ලංවී ඇඟට ඇලීගෙනම සිටියාය.
“ඩිංගිරිහාමුදුරුවෝ එනකං විටක් කාපං" උපාසකම්මා ඉලත්තට්ටූවක් අතැතිව මඩුවට පිවිසියාය.
ඈ මොහොතක් සුගලා දෙස බලා සිට,
"ඉඳා" කියමින් ඉලත්තට්ටූව අම්මා අතට දුන්නාය.
"මේ දෙවෙනි කෙල්ල වෙන්ට ඇති".
ඈ සුගලා දෙසට නිකට දික්කර කීවාය.
ඔව්! මගෙ පුංචි එකී උපාසකම්මේ".
අම්මා පිළිතුරු දෙන ගමන් දැරියගේ හිස හෙමෙන් පිරිමැන්දාය.
"ලොකු කෙල්ලට වඩා හුඟක් බාල පාට...?"
"ලොකු කෙල්ලට කිරි වරලා සෑහෙන කාලෙකට පස්සෙ නෙව පොඩිඑකී කුසට ආවේ. මයේ හිතේ අවුරුදු හතක් විතරම බාලයි".
"ඔහෙ පලයන්...අවුරුදු හතකට පස්සෙ උඹ දෙවෙනි පොලේ වැදුවෙත් කෙල්ලක්!
"ඒ ඉතිං ලැබෙන විදියනෙ උපාසකම්මා".
අම්මා දැරියගේ හිසත් උරහිසත් සෙමෙන් පිරිමදිමින් කීවාය.
“මේ ගැහැණිය අනවශ්‍ය ප්‍රශ්න අහන හැටි!” සුගලා හිතයටින් උපාසකම්මාට දොස් පවරන්නට ඇත.
“මොකක්ද මේ කෙල්ලගෙ නම?”
හදිසියේ මතක්වූ කලක මෙන් උපාසකම්මා යළි ඇසුවාය.
“සු...ග්...ග...ලා”
අම්මා නම උච්චරණය කළේ තරමක් ඇද පැදය.
ඒ උපාසකම්මා කිසියම් අනුචිත යමක් කියනු ඇතැයි අම්මා තුළ තැතිගැන්මක් තිබූණ නිසායයි සුගලාට සිතෙන්නට ඇත. අම්මාගේ හඬෙහි කිසියම් නෝන්ජල් කමකට සමාන බයාදු ගතියක් ගැබ්ව තිබුණි. ඒක හරියට, ඒක හරියට පිරිසක් රැස්ව සිටින තැනක නොහොබිනා දෙයක් කියවුණ විටක වැනි, නොසන්සුන්කමක් මිශ්‍රිත හඬක් හා සමාන විය. එහෙමත් නැත්නම් රහසක් හෙළිවූ කල, කෙනෙකු තුළ ඇතිවෙන අන්දමේ බයාදු ස්වරයෙන් පිටවූ හඬ වැනි වූයේ ඇයිදැයි සුගලාට වුව සිතෙන්නට ඇත.
" පුහ්! සු...ග්..ග...ලා...” නම නං හොඳටම බර වැඩී බොලං කෙල්ලට”.
උපාසකම්මාගේ හඩේ කුරිරු නොසතුටක් ඇත’යි අම්මා වගේම සුගලාටද තේරුම් ගත හැකි විය.
“කෙල්ලගෙ උපන් වෙලාපත්කඩේ හදලා, ලොකු හාමුදුරුවෝමයි ඔය නම තියන්ට කියලා තියෙන්නෙ. උංගෙ අප්පුච්චට කිව්වලු බොහොම වාසනාවන්ත දරුවෙක් කියලත්”.
අම්මා තම දියණියගේ නම ලැබුණේ සාධාරණ හේතූන් මතයයි තහවුරු කරන්නට මෙන් පසුබිම් කතාවේ පූර්වාපර සන්ධි ගලපන්නට වෑයම් කළාය.
“බලාපං ඒකෙත් හැටි ඈ...”
මදක් නිසොල්මනේ සිටි උපාසකම්මා නැවතත් නිහඬතාවය බින්දාය.
" එසඳියේ, හැබෑටම…උඹ දන්නවද…ඔය සුගලා කියලා රජබිසවක් ඉඳලා තියෙනවානෙ ඉස්සරකාලෙ”.
ඇස් කෙවෙණි තුළින් ඇස් ගෙඩි එළියට පනින තරමට විවෘතකර “බොලං ඔය…මට නම නං මතක නෑ, ඔය ආදි කාලෙ හිටිය රජ්ජුරු කෙනෙකුට හිටියලු... …බිසොවුන්නාන්සෙ කෙනෙක්. උපාසකම්මා, සුගලාගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ක්‍ෂ්ණික බැල්මක් හෙලනු දුටු අම්මා "ඊළඟට මොනවා කියයිද මන්දා” යි සිතන්නට ඇතයි සුගලා අනුමාන කළාය.
දැරිය උපාසකම්මාගේ දෑස් වල රැඳුණු තියුණු බැල්ම මඟ හරින්නට මෙන් ඒ මේ අත බලා ගවුමේ කර කටේ රුවාගෙන දත් අතර තබා හෙමින් හෙමින් හැපුවාය.
"සිරිමලී...ඊ...ඊ" යි උපාසකම්මා උස්හඬින් කාටදෝ අමතනු ඇසී සුගලා හිස ඔසවා බැලුවාය.
"එනවා උපාසකම්මා"
එකෙනෙහිම, ඇඳ සිටි චීත්තයේ නෙරි පොටින් අත පිසදමමින්, කුස්සියේ දොර ලඟ පෙනීසිටි තරුණියක් සුගලා දුටුවාය. කීප විටක් අම්මාත් සුගලාත් දෙස මාරුවෙන් මාරුවට බැලූ ඇගේ මුහුණේ මඳ සිනාවක සේයාවක් යන්තම් සටහන්ව තිබුණි. ඇයට සිනා වියයුතුද නැද්දැයි සිතා ගත නොහැකිව සුගලා බලා සිටියාය.
“ඇයි උපාසකම්මේ?”
කුස්සියේ දොරකඩින් මෑත්ව මඩුව දෙසට එනගමන් තරුණිය ඇසුවාය.
“ඔය කේතලේට ගින්දර ටිකක් දාපන්කො. මං ගිහින් ඩිංගිරිහාමුදුරුවන්ට කියලා එනකං…මේ…එසඳී ඇවිත් කියලා එනකං”.
උපාසකම්මා වළව්වේ ඇතුළු ගැබ දෙසටත්, සිරිමලී කුස්සියේ වවුල් දොරෙන් ඇතුලටත් ඇදුන පසු සුගලාට කිසියම් පහසුවක් වැනි දෙයක් දැනෙන්නට ඇති. බරාඳය දිගේ නොපනී ගිය උපාසකම්මා තවත් සෑහෙන වේලාවකට පසු කා සමඟ දෝ කතාකරන හඬ යන්තම් ඇසෙන්නටවිය.
“ඒ වළව්වේ ඇතුළු ගැබේ සිටින ඩිංගිරිහාමුදුරුවෝ සමඟ වන්නට ඇති “.
සුගලා අනුමාන කළාය.
සුගලාගෙ අනුමානය හරිය.ගරාදි ගසන ලද ඉස්තෝප්පුව දිගේ එන කට හඩ ඇසෙත්ම සුගලා හිතා මතා බංකුවෙන් නැඟී සිටියාද, නැඟිට්ට වුණාද තේරුනේ නැත. කෙසේ හෝ අම්මාට මුවාවී හිටගෙන නෙරිපොටේ කොණක් අල්ලාගත්තාට පසු යම් කිසි විධියක ආරක්‍ෂිත බවක් සිතට දැනෙන්නට විය.
බැලූ බැල්මටම ඩිංගිරිහාමුදුරුවෝ තේජවන්ත පෙනුමයි. ඩිංගිරි හාමුදුරුවෝ, සුදු පසු බිමේ පුංචි රෝස මල් විසුරුන වොයිල් රෙද්දකින් ඔසරියක් ඇඳ සිටියාය. ළා රෝස පාට දුහුල් රෙද්දකින් මැසූ බෝරිච්චි හැට්ටය ඇගේ රන්වන් පැහැ හමේ වර්ණයට බෙහෙවින් ගැලපුණි. රෝස පාට කොරල් ඇට පොටක් හා එවැනිම වර්ගයේ කරාබු ජෝඩුවක් ඇය පැළැඳ සිටියාය. ඕ උසට සරිලන මහතය. නිරෝගී පෙනුම ය. ඒ ඇඳුම නිසා ඈ වඩාත් සුන්දරය. දකින ඕනෑම කෙනෙක් ඇය සුන්දරයයි කියනු ඇත. තරමක් විශාල නිල් පාට ඇස් දෙක පිරිසිදු දියත්තක් මෙන් පැහැදිළිය. පෙණුමට නම් කරුණාවන්තය.
තේජවන්ත කාන්තාව බරාඳය හරහා විත් මඩුවට ඇතුළුවත්ම අම්මා මිටි බංකුවෙන් නැඟිට කරේ තිබුණ තුවාය අතට ගත්තාය.දෑතින්ම තුවාය මිරිකාගත් අම්මා, ගරුසරු ඇතිව මඳක් කොන්ද නමා "අපෙ හාමුදුරුවනේ" කීවාය.
උපාසකම්මා සුදු තුවායකින් බංකුව පිසදමා පිරිසිදු කළාය.
"උඹ ඉඳගනින්" කියමින්ම ඩිංගිරි හාමුදුරුවෝ කොන්ක්‍රීට් බංකුව දෙසට ගියාය.
“ඩිංගිරිහාමුදුරුවෝ හරි තේජස් පෙනුමයි. ඒ වුණාට උපාසකම්මා වගේ නෙවෙයි හරි නිවුණ පාටයි".
සුගලා සිතුවාය.
"මං උඹට එන්ට කියලා පණිවිඩේ යැව්වේ බොහොම වැදගත් කාරණේකට එසඳියේ”.
ඩිංගිරි හාමුදුරුවෝ කතාවට මුල පිරුවාය.
"එහෙමයි හාඳුරුවනේ...."
අම්මා කතා කරන්නේ මහ අමුතු විදියකට යයි සුගලාට සිතුණා.
“අර ජම්ඹු ගහ යට ජම්ඹු වැටිලා ඇති. උඹ ගිහින් ඇහිඳ ගනින් ඕනෑ තරම් "
ඩිංගිරි උන්නාන්සේ දැරිය දෙස බලා කීවාය. ඈ සිනාසුනේ නැත.
“ඒ වැදගත්, උසස් පවුල් වල හැටි වෙන්ට ඇති. අපේ ඉස්කෝලේ හෝඩියේ පන්තියේ නෝනමහත්තයත් හිනා වෙන්නේ නෑ” .
දැරියට සිතෙන්නට ඇත.
දැරිය අම්මා දෙස බැලුවාය.
"පලයන් පුතේ". අම්මා කීවාය.
අම්මාත් ඩිංගිරිහාමුදුරුවෝත් කතා කරමින් සිටින අතරතුරේ සුගලා ඇති පදම් ජම්ඹු අහුලාගෙන කෑවාය. ඇඳ සිටී ගවුමේ වාටීය ඉදිරි පසින් අල්ලා උඩු අතට ඔසවා ගොටුවක් ලෙස සකස් කරගත් සුගලා ජම්ඹු පොදියක්ම අහුලා ගත්තාය.
"හැමදාම මෙහෙම එන්ට ඇත්තං"
සුගලා සිතුවාය.
තණ කොළ බිස්සේ වාඩිවූ දැරිය වරින් වර වළව්වේ කුස්සිය දෙස හැරී අම්මා පමා වී එනවානං හොඳ යයි සිතුවාය. සුගලාට නම් ඉස්පාසුවක් නැත . ජම්ඹු පොදිය ඉවර නොකර තියා ගන්නට ඇයට ඕනෑ වුණත් මේ තරම් ලොකු ඉදුනු පිනිජම්ඹු වෙන කොහේදිවත් ඇයට නොලැබෙන බව නම් ඈ දැන සිටියාය.
ජම්බු පොදිය අවසන් කර පිළිවෙලින් ලොවි ගහ යටටත්, නමිනන් ගහ යටටත්, මසන් ගහ යටටත් ගිය සුගලා හැම ගහක් යටදීම ඔඩොක්කුවේ අඩු තැන් පුරවා ගන්නට අමතක නොකළාය.
මල්ලිකා එම් බණ්ඩාර
10. 07.
2021
No comments:
Post a Comment