Thursday, 5 August 2021

මල්මද බිසව් - 12 වන කොටස​

 

අද දවසේ හමුවීම​...

දැරියන් දෙදෙනා අල්ලපු ගෙදරට ඇරලවා එසඳී වලව්වත්ත හරහා දංගොල්ල කුඹුරු කට්ටිය බලා අඩි කැඩුවේ හිතේ තෙරපෙන දෙගිඩියාවෙනි. සරණාත් තමාත්; දිගක් පළලක් අගක් මුලක් නැතිව වල්මත්වී ඇති ගැටළුවට උත්‍තරයක් දියහැකි ජගතෙක් නැති වග එසඳී පසක්කර ගත්තාය​. ඒත් අවබෝධයේ තරමටම හිත හදාගන්නට, අපහසුබව ඇයට දැනුණි. දැරිය වලව්වට ලංසු නොතියා, වලව්වේ ඇත්තෝත් අමනාප නොකරගෙන, අඳ කුඹුරු කට්ටිය රැක ගැනීමට බැරිබව එසඳීට සක්සුදක්සේ පැහැදිළිවෙත්ම ඇයගේ හිත ශෝකාකූල වෙන්නටත් මහත් අසරණකමකින් හඬා වැටෙන්නටත් පටන් ගැනිණි. වැඩිමල් දැරියගෙන් වෙන්වීමට සිදුවීම එසඳීගේ හිතට පමණක් නොව කෙසඟ සිරුරටත් දරාගත නොහැකි තරම් බරක් යයි ඇයට සිතුණි. 

එසඳී, පොල්කොට පාළමෙන් ගොඩවී ඇළෙන් එගොඩවුණ ගමන්, තල්කොළ මල්ල කිහිළිගන්නාගෙන අනික් අතින් බුලත්මල්ලත් වප්පිහියත් පපුවට තුරුළුකරගෙන ගමන් කළේ බිමබලාහත් වනමය​. එම ඉරියව්වෙන්ම​ අඩිපාර කෙලවර දක්වාපැමිණ මොහොතක් නතරවී, මහාමේරුව සසළකරන්නට තරම් දීර්ඝ හුස්මක් පිටකළ ඇය​, ​ උළලේණියක මෙන් කෑමොරදෙන තම​ පපු කැණැත්ත වාරුකරගෙන ගුරුපාර දිගේ වලව්වට ගියාය​.

එසඳී වළව්වේ කුස්සිය පැත්තෙන් ගොස් මඩුවට ඇතුළු වෙනවා දුටු ගමන් උපාසකම්මා කුස්සියේ සිට මඩුවට ආවාය​.

"උදැනැක්කෙම උඹ වල් නෙළන්ට යනව එහෙනං!"

" අදනං මේ නෑවිත් බැරිකමට උපාසකම්මෙ "

ඒ මොකද...ඈ?”

ලොකු කෙල්ලට සහලල උණ​ ගැනිලා. ඊයේ අර අව් කාස්ටකේ දඹි ගහලා ගෙදර ගිහින් නෑව, ඉර මුදුන් වෙලාවෙ. හවස් වෙන කොට උණ​  ගත්තෙ නැතැයි".

ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බල, දුං අදින්ටත් දීල, පොඩි එකී එක්ක ඉන්ට ඇරැලා මේ ආවේ.

 ගොතා ගත් කතන්තරය එසඳී  විසින් උපාසකී ළඟ වැමෑරුවාය.​

"ඔහෙ පලයං! ඒකත් එහෙමද​?”

ඉස කසමින් කීප වරක් මඩුවේ එහා මෙහා ගිය උපාසකී ආපසු හැරුනාය​.

උඹ දන්නවද එසදීයේ, වළව්වහාමුදුරුවෝනං බලාගෙන හිටියෙ උඹ අද කෙල්ල ගෙනෙහුන් ඇරලවයි කියල​ ".  කීවාය​.

"එසඳී වෙලට යන ගමන් ද මේ?" බරාඳයේ සිට  ඩිංගිරි හාමුදුරුවෝ ඇසුවාය​.

"එහෙමයි හාන්ඳුරුවනේ'.

වම් උරහිසේ දමාගෙන සිටි තුවාය අතට ගනිමින් එසදී කීවාය.

“ඊයෙ මං සරණට කීවා කාරණයක් ඒක උඹට කියන්ට නැතැයි?".

ඩිංගිරි හාමුදුරුවෝ එසදීගේ මුණ දිහා ඍජුවම බලාගෙන ඇසුවාය​.

“එහෙමයි හාමුදුරුවනේ. කෙල්ලටනං අපි ඒ වගක් කීවෙ නෑ. ඊයෙ රාත්තිරියෙ ඒකිට හොඳටම උණ​​. පැයක් හමාරක් විතර තෙලහිරියා ටිකක් ඇදල යන්ට හිතාගෙන මේ ආවෙත්."

මොකද හදිසියෙම කෙල්ලා අසනීප වුණේ?”

ඊයේ කුඹුර මුළුවක්කං අර අව්වේ දැඟලුවා දෙන්නම​. උංගෙ අපුච්චා පැළ මද වැලක් ගෙනත් දුන්න . ඒකත් කෑවා දෙන්නම එකතුවෙලා. ඒ ගිහින් නෑවා ගිනි මද්දහනේ. හවහ වෙද්දි සහලලා උණ​ ඒකිට".

එසදී දෙවන වරටත් එකම කතාව කීවාය​.

"උඹ කැමැතිනෙ මං කීව කාරණේට​?

එහෙමයි හාමුදුරුවනේ".

එසදිගෙ කටහඬ වෙවුලුවා ඇයටම දැනුනි.

" එහෙනං උන බැස්සම තව සුමානෙකින් හමාරකින් විතර​ කෙල්ල මෙහෙ ගෙනත් ඇරලවාපං".

මෙහෙ මහ වැඩක් නෑ කරන්ට​. පුංචි අප්පෙ එක්ක තනිනොතනියටත් එක්ක​ කවුරුහරි ඉන්ට එපාය. දැං බෝඩිමෙත් නෙවෙයිනෙ ඉන්නෙ"

එහෙමයි හාන්ඳුරුවනේ”. එසඳී කීවාය.

බෝඩිමෙන් ආවට පස්සෙ පුංචි අප්පෙ කාන්සියෙන් ඉන්නෙ. ඒකයි මං කල්පනා කළේ ලොකු කෙල්ලව මෙහෙ ගෙන්නවා ගන්ට. ​කතා බහ කරන්ටවත් කෙනෙක් ඉන්ට එපායැ. පුංචිකුමාරිත් කෙල්ලට කැමතියි... අනික් එක දැන් කෙල්ලට වලව්ව නුපුරුදු තැනකුත් නෙවෙයිනෙ", කී ඩිංගිරි හාමුදුරුවෝ බරාදයෙන් නික්ම නොපෙනී ගියාය .

ඒ වෙනුවට තමන් කිවයුතුව තිබුණේ,

"කෙල්ල එව්වම මගෙ පොඩි එකී ගෙදර තනි වෙනව "​. කියල නේදැයි එසඳි සිතුවාය​.

එහෙම කියන්ට දහිරියක් කොහෙන් නං තියෙන්ටද​?

සිටි ඉරියව්වෙන්ම නැඟිට ගත නොහැකි අයුරින් බරාදය දෙස බලාසිටි එසඳී පන්මල්ල අතට ගෙන නැඟිට්ටාය​.

"උඹ යන්ටද​?

ඔව් උපාසකම්මෙ. පැයක් හමාරක් විතර කනටියක තෙලහිරියා ටිකක් ඇදලා දාලා යනව ගෙදර​" කීවාය.

"සඳලතා" කියලා කටපුරා කියන්ට නමක් තියෙද්දී, අනේ මගෙ උණහපුළු පැටික්කිට "කෙල්ල" කියලමයි ඒ ඇත්තෝ කියන්නෙ. 

එසඳීගේ හිත විස්සෝප වෙන්නට ඇත.​


හෙට දවසේත් හමුවීමට බලාපොරොත්තු වෙමු...

මල්ලිකා එම් බණ්ඩාර​

5. 08. 2021

No comments:

Post a Comment