Monday, 27 December 2021

වනක්කම් සෙල්වම්


කැඩුණු සිංහලෙන් වුව

හදේ පිළිසිඳුන පෙම

කියන්නට තතනාපු සෙල්වම්

මෝදුවෙන පෙම් හැඟුම්

සුවඳ හද වෙළෙද්දී

මගෙ හිතට දැනුනේම නල්ලම්

ඒත් බැරිවුණා නෙව

“නාම් උන්නෙයි කදිලික්කඩෙයි”

මුමුණන්න ​ දෙමළෙන්


තුන් බසක් එකතු කොට

තල් අරණ ගැන කියූ

කතා වලටත් වඩා

නුඹෙ දෑස කී කතා 

ආනන්ද ජනක විණි සෙල්වම් 


ඉහුණ පිණි  අහුරු මත

සිනා මල් පිපුණ වත​

තල් අරණ ගිනි අරන්

අසෙනි වැහි වහිනදා

ගෙන්දගම් ගඳ මුසුව

උණු භෂ්ම වැටිණිදැයි

විදුලි කෙටුවා රැයේ තුන්යම්

 

මඟ තොටේ මුණ ගැහී

දෑස් පැටලුනා මිස​

සමුදීමකින් තොරව​

නික්ම යනදා තෙක්ම​

ගොළුවුණේ ඇයිද අපි සෙල්වම්?

 

යාල්පානම් ගිහින් 

නුඹ නැවත එන සැණින්

නෙරළු තුරු නමාගෙන 

කරටි බිඳ හෙළාගෙන

තල් අරණ අළු දූලි වනතුරා

කුණාටුව​ හමා ගොස්

​කැඩී සඥාපුවරු කොළ එළිය නොවැටීම​

යාල්දේවීත් පීළි පැන ගිහින් 


අපිව මුණ නොගැහෙන්න​

අපිව වෙන්කරවන්න​

ජාති ආගම් පවුර​

සවිමත්ව ඉදිවෙලා

 බැඳි බැම්ම දෙපස හිඳ ​

ආයුබෝවන්! කියමි 

වණක්කම්! කියන් මට සෙල්වම්


මල්ලිකා එම් බණ්ඩාර​

20. 12. 2021

 


No comments:

Post a Comment