සවණ සුවපත් කරන මියුරු මී තවරාණ
ඇවිත් ඉඳහිට දිනෙක ළිං කටේ ඇනබාන
නිබඳ මා හා දොඩන පිය කළණ මිතුරාන
කටුක කට මැත නුඹේ කිඳෙයි හිත තෙරපාන
සොඳුරු කෙත් වතු අතර නීල තණතිලි සැදුණු
මධුර පැන් තටාකය, පස් පියුම් පිරි පොකුණු
ගැබ් භරිත අසෙණි වැහි වැටී මුවවිට බැඳුණු
සැබෑවක් දැයි හිතේ කුකුසක් ය පිළිසිඳුණු
ගයන ගී මනලෝල මසිත බැමි බිඳ දාන
නුඹ බඳින ඉණිමගේ කෙලෙස එමි උරගාන
සෙයිලමේ ඉඳ ඇවිත් මගෙ හිතට තඩිබාන
මාය අඳ දෙනෙත බැඳ හිඳින ළිං මැඩියාණ
නව සුළං රැල්ලකින් නව පැතුම් දවටාන
නුඹ ඇවිත් සපත කළ සොඳුරු ලොව මනරාම
ඇස්පනා පිට දකින්නට හිඳිමි ඉඳුරාම
එරෙහිවී දුටු කෙණෙහි මනෙත් අඳ කළ රෑන
ගලායන නදී තෙර වන ගහන සසලාන
අරා ගිරි බෙයද අණසක පතළ මිගිඳාණ,
ළිං ගැට්ට මත හිඳන් පද බඳින කවියාණ
කුමට ඉණිමං බඳිනු පනින උන් ගොඩ දාන
මඬ ගොහොරු ළිං පතුල දිගු කලක් හිටියාම
සඳුන් සුන්නෙහි සුවඳ හැඳින ගන්නද කෝම
දෙනෙත් අඳ වූ මටම දුගඳ ගැන කීවාම
නුඹත් නුහුගුණෙන් බව හැඟුණි මට ඉඳුරාම
මල්ලිකා එම් බණ්ඩාර
25. 11. 2021
Image credit: https://www.flickr.com/photos/water_alternatives/27289850760
No comments:
Post a Comment