Saturday, 4 December 2021

ළිං මැඩියාණ





​​සවණ සුවපත් කරන​ මියුරු මී තවරාණ

ඇවිත් ඉඳහිට දිනෙක ළිං කටේ ඇනබාන​

නිබඳ මා හා දොඩන පිය​ කළණ මිතුරාන​

කටුක කට මැත නුඹේ කිඳෙයි හිත තෙරපාන

 

සොඳුරු කෙත් වතු අතර​ නීල තණතිලි සැදුණු

මධුර පැන් තටාකය, පස් පියුම් පිරි පොකුණු ​

ගැබ් භරිත අසෙණි වැහි වැටී මුවවිට​ බැඳුණු

සැබෑවක් දැයි හිතේ කුකුසක් ය  පිළිසිඳුණු

 

ගයන ගී මනලෝල මසිත බැමි බිඳ දාන​  

නුඹ බඳින​ ඉණිමගේ කෙලෙස එමි උරගාන​

සෙයිලමේ ඉඳ ඇවිත් මගෙ හිතට තඩිබාන

මාය​ අඳ දෙනෙත බැඳ හිඳින ළිං මැඩියාණ

 

නව සුළං රැල්ලකින් නව පැතුම් දවටාන​

නුඹ ඇවිත් සපත කළ​​ සොඳුරු ලොව මනරාම​

ඇස්පනා පිට දකින්නට හිඳිමි ඉඳුරාම​

එරෙහිවී දුටු කෙණෙහි මනෙත් අඳ කළ රෑන​

 

ගලායන නදී තෙර වන ගහ​න සසලාන

අරා ගිරි බෙයද අණසක පතළ​ මිගිඳාණ,

ළිං ගැට්ට මත හිඳන් පද බඳින කවියාණ

කුමට ඉණිමං බඳිනු පනින උන් ගොඩ දාන​ ​

 

මඬ ගොහොරු ළිං පතුල දිගු කලක් හිටියාම​

සඳුන් සුන්නෙහි සුවඳ හැඳින ගන්නද කෝම

දෙනෙත් අඳ වූ මටම​ දුගඳ ගැන කීවාම​ ​

නුඹත් නුහුගුණෙන් බව හැඟුණි මට ඉඳුරාම​​

 

මල්ලිකා එම් බණ්ඩාර​

25. 11. 2021

Image credit: https://www.flickr.com/photos/water_alternatives/27289850760

No comments:

Post a Comment