Showing posts with label Poetic expression - Sinhala. Show all posts
Showing posts with label Poetic expression - Sinhala. Show all posts

Monday, 19 June 2023

පුනර්ජීවණය

 



අහිමිවූ දේ නිසා ඉකිබින්ඳ හැමදාම​ 

නැතිවුණේ එකක් හෝ දෙකන් නොව හැම දේම 

ගිහින් ගම රට ඇවිද දැක පුරුදු හුරුදේම​

ඇවිත් මාසෙට වැඩියි මම තවත් එහි තාම​

 

අප්‍රකාශිත එහෙත් දරන්නට බැරි බරක්

අරන් ආවා හිතේ සඟවාන මහමෙරක්

වැහිවළා දෙබෑ කර නැඟෙන තුරු ​ නව ඉරක්

සයුර මැද පොරබදමි දකින්නට ​ පරතෙරක්

 

මතකයේ හේඩෑව වැතිරිලා බිම්බරක්

ඇවිත් මා පසු පසින් සුසුම් වැළපුම් තෙරක්

පින්තාරු කරන ලද හිත් ලෙනේ මහ දුරක්

සුසානය කරා යන මළගමක පෙරැහැරක්

 

ඇසූ මුත් තොටු පොළෙන් පිටත්වී ගිය බවක්

නොරඳාම සනිටුහන් කරන එකකුදු රළක්

නෞකාව මඟ හැරී බොහෝදුර ආ බවක්

දැනී මියැදෙන හිතට දිය යුතුය නව පණක්!

 

මල්ලිකා එම් බණ්ඩාර

21. 07. 2017

Saturday, 4 December 2021

ළිං මැඩියාණ





​​සවණ සුවපත් කරන​ මියුරු මී තවරාණ

ඇවිත් ඉඳහිට දිනෙක ළිං කටේ ඇනබාන

නිබඳ මා හා දොඩන පිය​ කළණ මිතුරාන

කටුක කට මැත නුඹේ කිඳෙයි හිත තෙරපාන

 

සොඳුරු කෙත් වතු අතර​ නීල තණතිලි සැදුණු

මධුර පැන් තටාකයපස් පියුම් පිරි පොකුණු ​

ගැබ් භරිත අසෙණි වැහි වැටී මුවවිට​ බැඳුණු

සැබෑවක් දැයි හිතේ කුකුසක්   පිළිසිඳුණු

 

ගයන ගී මනලෝල මසිත බැමි බිඳ දාන​  

නුඹ බඳින​ ඉණිමගේ කෙලෙස එමි උරගාන

සෙයිලමේ ඉඳ ඇවිත් මගෙ හිතට තඩිබාන

මාය​ අඳ දෙනෙත බැඳ හිඳින ළිං මැඩියාණ

 

නව සුළං රැල්ලකින් නව පැතුම් දවටාන

නුඹ ඇවිත් සපත කළ​​ සොඳුරු ලොව මනරාම

ඇස්පනා පිට දකින්නට හිඳිමි ඉඳුරාම

එරෙහිවී දුටු කෙණෙහි මනෙත් අඳ කළ රෑන

 

ගලායන නදී තෙර වන ගහ සසලාන

අරා ගිරි බෙයද අණසක පතළ​ මිගිඳාණ,

ළිං ගැට්ට මත හිඳන් පද බඳින කවියාණ

කුමට ඉණිමං බඳිනු පනින උන් ගොඩ දාන​ ​

 

මඬ ගොහොරු ළිං පතුල දිගු කලක් හිටියාම

සඳුන් සුන්නෙහි සුවඳ හැඳින ගන්නද කෝම

දෙනෙත් අඳ වූ මටමදුගඳ ගැන කීවාම​ ​

නුඹත් නුහුගුණෙන් බව හැඟුණි මට ඉඳුරාම​​

 

මල්ලිකා එම් බණ්ඩාර​

25. 11. 2021

Image credit: https://www.flickr.com/photos/water_alternatives/27289850760