ගමයි මමයි
මේ ආගන්තුක සිතුවිලි පරම්පරාව මේ දවස් වල මගේ සිතේ පිළිසිඳෙන්නේ ඇයිදැයි මම නොදනිමි. ගමේ ගොස් ආවාට පසු මගේ ළමා වියේ සිට මේ දක්වා මතක නැවතත් නව මුහුණුවරින් පණ පෙවෙන්නට පටන් ගෙන තිබේ. එමෙන්ම මා ඒ ලෝකයටත් මේ ලෝකයටත් නැති හුදකලා ජීවියෙක් බව මට හැඟෙන්නටද පටන් ගෙන තිබේ. මගේ ඇතුලාන්තයේ සිට මතුවූ සංවේදණීය ගීතයක් මෙන් අම්මාගේත් තාත්තාගේත් නොවියැකී ගිය හඬ මාතුළ නිබඳ නිනඳ දෙයි.
තාත්තාගේ මරණයෙන් පසු මා තුළ ඇතිවූ තනිකම අසරණකම, අනාරක්ෂිත බව වගේම හිස් පාලු බව මා ජීවිතයේ කිසිදාක කිසිවෙකු නිසා අත්විඳ නැත. තාත්තා මිහිදන් කළ සති අන්තයෙන් පසු ඇතැම් විට මම මහා භීතියකින් හිරිවැටී තැති ගත්තෙමි. මට දැනුණේ මිනිස් පුළුටක් නැති, කිසිම සජීවිසත්වයෙකු ගෙන් තොර හිස් පෘතුවිය තුළ මා පමණක් තනිව ඇති බවකි. නන්නාදුනන මහ මූකලානක මඟ තොටක් ඇස ගැටෙන මානයකවත් නැති හවස් යාමෙක මා මංමුලාවී ඇති විටක දැනෙන අන්දමේ සැක සංකාවන් ගෙන් මා සළිත විය. මේ මානසික ඇදවැටීමත් සමඟ මා අතෙහි දැඩිව සිරකරගත් ස්වර්ණමය අසිපතක් මාතින් ගිළිහී ගිය බවක් මට දැනුණි. යුධ බිමක තනිවූ සෙබළියක මෙන් මගේ උරහිස් පහතට කඩා වැටුණි. මාහැඟි මිණි කිරුළ අහිමිවූ කුමරියක මෙන් මා බෙළහීන වෙන්නටත්, අවමාණ පරිහාස වල ගොදුරක් වීමේ ඉඩකඩ ඇති වියහැකි බැවින් මහත් පරාජිත බවකින් මගේ හිත පිරී යන්නට විය.
පුරා අවුරුදු තුනක් හදවතේ කකියන වේදනාව පපු කුහරය තුළම සඟවා ගෙන දිවා කාලය තුළ පුපුරු ගසන ගිනිපුළිඟු ගිනි කන්ද තුළම සඟවා ගෙන නිහඬ රාත්රි කාලයේ හුදකලාවම මුදා හැරියෙමි.
පසු කාලයේ වෙනත් ග්රහ ලෝකවල හුදකලාවුණ හෝ සිරගතවුණ මිනිසුන් ගේ අසරණ භාවය අළලා නිර්මාණය වුණ බටහිර සිනමා පට නරඹන විට මට දැනුනේ ඒ නළු නිළියන් ගේ රඟපෑම් අතාත්වික බවය. මනසින් හෝ එවැනි ලෝක වල තනිනොවූවන්ට රංගනය මිස තනිවීම පිළිබඳ සැබෑ අදහසක් අත්දැකීමක් ඇත්දැයි මම විශ්වාස නොකරමි. වැඩුණු ගැහැණියක ලෙස පවා තාත්තා නැති ලෝකයේ සජීවී මිනිසුන් අතර මට දැනුන අසරණකම පාළුව, අර විදියේ චරිත නිරූපණයේදී තනිකමේ උච්චස්ථානයට ස්පර්ශ කළ නොහැකි බව දන්නා බැවින් එවැනි මිත්යා නිර්මාණයන්වූ සිනමා පට කොයිතරම් අස්වාභාවිකදැයි මට සිතුණි.
සාමාන්යයෙන්, මහ රැයක ඝණ අඳුරක පියෙවි ලොවේදී මට තනිකමක් දැනෙන්නේම නැත. ඒ මා බිය නොහඳුනන බැවිනි. හුදකලා මඟක තනිවම යාමට තැති ගැන්මක් මා තුළ ඇති නොවේ. එමෙන්ම මා පමණක්, හුදකලාව ගෙදර සිටි අවස්ථා හෝ රාත්රීන් අනන්තය. මිණීපිට්ටනි පසුකොට වැහිබර සැන්දෑ කාලවල අඳුරු වැටුණාටත් පසු, සැතැපුමක් හෝ දෙකක් දුර, බස් එක වැරැදුන විට හෝ බසය කැඩුණු හෝ පාර කැඩී බිඳී යාම නිසා ඇවිද ගිය වාර තිබේ. ගමේ ජීවත්වී මියගිය පසු සමාදානයේ සැතපීමට නියමිතව තිබූ කනත්ත අද්දර තිබූ කොට්ට පුළුන් ගස් වල මල් පිපෙන කාලයේ, සිය ගණන් වවුලන් ගේ අප්රසන්න හඬ අසමින්, කුඹුරු යාය කෙලවරක තිබූ ගමේ සොහොන් පිට්ටනිය පසුකර යන්නට සිදුවූ විටක, ළමා කාලයේ කියවූ ඩීමන් ආනන්දගේ කතා පොත් මගේ හිතට නැඟුණත්, වවුලන් ගේ කරච්චලයෙන් මිදීමට මිස, පය ඉක්මන් කර ගියේ බිය නිසා නොවේ. ඉතින් මා තුළ තනිය හෝ බය කිඳා බැස්සේ තීරණාත්මක තනි ජීවන අත්දැකීමක් නිසාම පමණි.
අනික් අතට, ළමා කාලයේ හෝ තරුණ කාලයේ, මා සමඟ පෙර පසු ගමන් යන මුරකාරයෙකු හිටියේම නැත. කොළු කෙලි භේදයකින් තොරව ඕනැම දෙයක් කිරීමේ නිදහස තුබූ අතර ඒ නිදහස අයථා ලෙස පරිහරණය නො කරන්නට මා වග බලා ගත්තා සේම පවුලේ අය තුළද මා කෙරෙහි විශ්වාසයක් තිබුණා වන්නට ඇත. ගස් නඟිනවාට, මහවෙල මැද්දේ කුඹුරු වල ගොයම් කැපූ කාලෙට, එල්ලේ වොලිබෝල් චක්ගුඩු වැනි ක්රීඩා වල යෙදීමේ අවකාශය මෙන්ම අසල්වැසි කෙල්ලන් සහ කොල්ලන් දහ පහළොස් දෙනෙකුගෙන් සැදුන රංචුවක් සමඟ මහ ඇල හරහා වේල්ලක් බැඳ පැය ගණානාවක් පිහිනීමට කාගෙන්වත් බාදාවක් නොවුණි.
උපන් ගමට ගිය රාත්රිය මට දැනවූයේ අමුතුම ආහ්ලාදයකි. මා උපන් ගමේ නැවතත් පය ගසන්නට ලැබීම අතිමහත් භාග්යයක් යයි මට සිතුණි. මා නිදා සිටි කාමරයේ ජනේලය තුළින් යාන්තම් මීදුම් තැවරුණ ගමේ කන්ද මම දුටුවෙමි. පසු දින කලින්ම අවදිව, නැවතී සිටි නිවැසින් වෙල් එළියට ගොස් කන්ද දෙස බලා සිටීමේ නොතිත් ආසාව මැඩ ගත නොහැකි වූයෙන් කාටත් නොදන්වාම, මම දිනපතා ඇවිද ගිය හුරුපුරුදු මඟ දිගේ වෙල් එළියට ගියෙමි.
ගමට ආගන්තුකයෙකු ආබව හැඳින ගත්තේ මුළු රැය පුරා නොනගතේ කරක් ගසා රැලේවැටී සිට උදැනැක්කේ තම තමන් ගේ ගෙවල් දොරවල් බලා එන බල්ලන් තිදෙනෙකු පමණි. උන් වරක් දෙකක් බිරූ මුත් උන් ගේ ඇස් මඟ හැර මම ඉදිරියටම ගියෙමි. බල්ලන් නිහඬව පාර දිගේ යන්නට විය. ඒ හැර කිසිම මිනිසෙකු හමුවූයේ නැත. තාත්තාට අයත්ව තිබූ කඩය තෙක් ඇල නියර දිගේ මම ඇවිද ගියෙමි. අසකෙය්යක් මතක මගේ සිතට ගොඩ වැදුනේ සුනාමියක වේගවත් රළපතරක් මෙනි.
කඩේ ඉදිරිපිට අඹ ගහ තවමත් තිබේ. ඒ දිනවලත් දැවැන්තයෙකුවූ අඹ ගහ එක අඟලක්වත් වැඩී තිබුණේ නැත. ඒ දැවැන්ත අඹ සෙවනෙහි මම තනිවම වැලිබත් පිසුවෙමි. එදා අඹ ගහේ පහල අත්තක බැඳ තිබුණ ඔන්චිල්ලාව කෙදිනක හෝ දිරා යන්නට ඇත. අඹ ගස කේඩෑරි වී ගොසිනි. ඉන් එහා තිබුණ කුඹුක් ගසද මන්ද පෝෂිත ජීවියෙක් සිහිපත් කළේය. මගේ සෙල්ලම් ගෙය ඉදිවූ විශාල කුඹුක් මුල් අතර වැටකේ පඳුරු කීපයක් වැවී තිබුණි. මම බොහෝ වේලාවක් අඹ ගස් හෙවනේ නතරව එදෙස බලා සිටියෙමි. මොහොතින් මගෙ මුළු පවුලම මතකයේ රොද බැඳ ගනු මට දැනුණි. අම්මාත් තාත්තාත් හැරුන විට මියගිය සහෝදරයින් ගේද සිනා මුහුණු මා තුළ ඇඳී මැකී ගියේය. මගෙ හිනාවට කඳුළට උල්පත්වූ ලොකු කඩා සිදුවීම් දිය සීරාවක් මෙන් හිත ඉස්මත්තට කාන්දු වෙන්නට විය. අළුතින් ඇල හරහා බැඳ ඇති දිය කඩනයයේ දිය සුළියට හසුවූ කුඹුක් ගෙඩියක් මෙන් මගේ හිත ඒ මේ අත තෙරපෙන සෙයක් මට දැනුනි.
එහාගොඩට ආසන්නව කුඹුරු යායේ කෙලවර මගේ පළමු පාසල පිහිටා ඇති ගොඩල්ල මා නෙත ගැටුණි. තව දුරටත් ඒ සුන්දර භූමි භාගය පාසලක් නොවේ. කිරිඅප්පුගෙ වළං පට්ටලයේ සක පෝරුව මත තැළී මැඩී සුමටව පදම්වූ මැටි පිඩකින් ඉදිවෙන මල් බඳුනක් මෙන් මා නමැති ජීවියා නිර්මාණය වූයේ ඒ ශුද්ධ භූමිය තුළය. ඒක හරියට දළඹුවෙකුට සමනළයෙකු වෙන්නට ඉඩකඩ සැලසූ දළඹු කෝෂයක් වැනි අසිරිමත් තැනක් විය. එහි මා සමඟ සිටි සමකාලීනයින් මගේ මතකයේ පොරබදමින් පෙළ ගැසුනි.
මහනියර දිගේ තරමක් ඈතින් එන මිනිසෙකු දුටු හෙයින් මම මහ නියරෙන් වෙල් යායට බැස නියරක් දිගේ ඇවිද ගියෙමි. ඒ මං ගමේ කණිෂ්ඨ ඉස්කෝලෙට යන කාලේ ඇවිද ගිය නියරය. කවුරුන් හෝ වේවා ඒ මඟියාගෙන්, මගේ බොඳවුණ ඇස් වසන් කරගන්නට පිනි ඉහිරුන නිදිකුම්බා මල් දෙස මම බලා සිටියෙමි. මඟියා, මා මහ නියරට ගොඩ වෙන තුරු බලා සිටින වග මට තේරුණි. මම පිටුපස හරවා සිටි වනම සිටියෙමි.
"මොනවද බලන්නේ".
“පැල ගොයම් දිහා...” මම උදාසීනව උත්තර දුනිමි.
“මං කමල්, කවද්ද ආවේ?” නිශ්චිතවම ඔහු මා හැඳින ගෙන තිබුණි. ඔහු හිස පැළඳි හිස්වැස්ම ඉවත් කළේය. ඔහුගේ නම මගේ මතකයේ නොතිබිණි. මා ගමෙන් පිටවෙන කාලයේ එදා "බට්ටියා" නමින් හැඳින්වූ කොළු ගැටයා ගේ මුහුණුවර මට මතක් විය.
“ඊයේ..." මම හිනාවකින් පිළිතුරු දුනිමි.
"පරිස්සමෙන් එන්ට නියර දිගේ. මේ දවස් වල දිගටම මහ වැහි වැස්සා මෙහාට”. මහ නියරේ සිට ඔහු මට කතා කළේ ඉතා ප්රසන්න අයුරින් ය.
මහ නියරට ගොඩවීම මට තරමක් අසීරු විය. "අපි දැන් වයසයි නේ. පොඩ්ඩක් අත දෙනවද දරුවෝ" මම කීවෙමි.
“ඉන්ට ඉන්ට... ලිස්සයි”. ඔහු මට නියරට ඒමට උදව් කළේය.
" බබාල ආවෙ නැද්ද?
"අපි දෙන්නා විතරයි ආවෙ. දැන් එක්ක එන්ට බබලා නෑනෙ" මම කීවෙමි.
"ඒ අය ලොකු ඇති"
" ඔව්! කමල් මාව අඳුන ගත්තට මට අඳුන ගන්ට බැරිවුණා. ඒ කාලේ පොඩි කොල්ලනෙ" මම කීවෙමි.
“නෝනා අමතක වෙන්නේ කොහොමද මේ ගමට. මේ පැත්තෙන් මුලින්ම විශ්ව විද්යාලෙට ගිය අයනෙ”.
“නෝනා කියනවට වඩා නෑකමක් කීවනං කොච්චර හොඳද” මම සිතුවෙමි.
පැය භාගයක් තරම් වූ කෙටි කාලයකින්, වෙල් එළියේ මහ නියරේ සිට ගමේ තොරතුරු සම්භාරයක් සංනිවේදනය කිරීමට මේ පරණ පුංචි මිතුරා සමත් විය.
"මගේ ගම. මම අයිති ගමට. ගමේදි මම තනි නෑ. උපන් ගම කියන්නෙ කොයිතරම් අසිරිමත් තැනක්ද? අප්රමාණ සතුටකින් මම ගෙදර බලා ආපසු ආවෙමි.
මල්ලිකා එම් බණ්ඩාර
25. 11. 2023