Monday, 26 December 2016

සාමයේ දූතයා





අවිදු අඳුරේ ගැලී
දුකින් තැවෙනා දනා
බියෙන් වෙලෙනා තැනා
අපකෙරෙන් අත හැරුන​ ​
දෙවිඳුන් ගෙ පිළිබිඹුව​ 
මුණට මුණ යළි දකින​
නිමල​ ප්‍රේමයේ කැඩපත ඔබයි

අවදි කරවන පිණිස දෙවිදුන්
වැඩ හිඳින අප තුළම නිරතුරු
අඳ නුවන් යුග විවර කරනා
සත්‍යයේ පහනින්  

පෙරම්ඹරයේ උදාවී දිලෙනා
තාරකාවයි ලොව පහන් කරනා
ගොපළු ලෙන් දොර සුවඳවත් කර​
වඩින අප​ හද බෙත්ලෙහෙම් පුර 

දිවි කතර​ මැද අතරමංවූ
දුබල මනුසත් සිත් සතන් තුළ
නිවා සනහා අඳුර දුරු කර​
සාමයේ සුබ අස්න ගෙන ආ
ජේසුනේමා ස්වාමිනී;

ඇලී තැවරී රැඳුන පව් මළ
දොවා පිවිතුරු කරනු වස්
මිනිස් වග​ වෙත​ වහින මල් වැස්ස 
ඔබ​යි මා ස්වාමි ජේසුනී


මල්ලිකා එම්. බණ්ඩාර​

25. 12. 2016


Monday, 19 December 2016

ලෙන හැර ගිය කුවෙන්ණීයේ


තරු මල් නෙලා සිහින​ වියනක් බඳින්නම්
සඳ කැන් රටාවෙන් පැදුරක් වියන්නම්
දුහුලැල් වළා සේද සළුවක් සදන්නම්
කුරවී කොවුල් ගීත අහුරක් ඉහින්නම්


පිණි බිඳු මිදී නටන හිරු කැන් පොදින්
නෙළුමක් වෙලා මහද පිපෙනා ලෙදින්
හස රැළි සළාවැටුම මුවවිට බිඳින්
නුඹ මා ළඟින් සොඳුර නොසැලී හිඳින්


බිඳී පෙම් පුරාණේ පිටු ගිළිහිලා
මට හිමි නොවී නුඹව අන් සතු වෙලා
හද සිඳු ගැබේ පතුල මුතුවක් වෙලා
මගෙ සිත් ලෙනේ සුවඳ පිනිදිය උලා
ඉඳ හිට ඇවිත් යන්න පවනක් වෙලා

නදී තීරයේ තනිව සුසුමන් හෙලන්නී
වැදී ඉවුරු දෑලේ දෙරණත දොවන්නී
සැඳෑ අහස රත්පෑ  සිතුවම් අඳින්නී
මැකී ගියෙද දේදුන්න සේ  මා කුවෙන්ණී

මගේ විජිතයේ රැජින​ දුරු රට බලා
පියාසර කරන්නී එක හිත් වෙලා
ගිළිහී ගියෙන් කිරුළ පින් මදි වෙලා
මගෙ ලොව බිඳුන පළිගු බඳුනක් කළා

ළසෝ ගිනි ලවා දැත දෙපයත් වෙළා
දිවා රෑ පවා  නොදැක අඳුරක හොවා 
තනි මංසලේ හිඳින මා අමතලා  
කොඳුරන්නෙ කව්දෝ යළිත් මුමුණලා

මල්ලිකා එම්. බණ්ඩාර

19. 12. 2016


Wednesday, 14 December 2016

සංඝමිත්තා උපහාර ගී

මේ 1992 වර්ෂයේ සමස්ත ලංකා පාසල් භක්ති ගීත තරඟයෙන් දෙවන ස්ථානය හිමිකරගත් මහනුවර උසස්  බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් ගැයූ සංඝමිත්තා උපහාර ගී  - 

සත්කුළු සත් සමුදුරු පසු කරලා
අටළොස් කුළ සිප් සත ගොණුකරලා
තිළිණ කළා ඔබ ලොවම දිනන්නට
උදාර හෙළ වනිතා පරපුරකට
සඟමිත් මෑණියෙනී//

අනේක දුක් ගිනි විඳ භව කතරේ
 නිමවා මොහඳුර සදහම් ගැඹරේ
සමහන් සුවයෙන්  සුවය ලබන්නට
මඟ ඵල සපුරාලූ
සඟමිත්  මෑණියෙනී //

රොන්සුණු මල් මුවරදයෙන් ලංකෘත,​
ගඳ දුම් පහනින් දෙව් බඹ වන්දිත,​
කසා වතින් මුළු දෙවා දහම් ගැබ
සදා වඳිම් හෙළ දීපය පොබ කළ
සඟමිත්  මෑණියෙනී //

-----
පද රචනය : මල්ලිකා එම්බණ්ඩාර 
12. 12 .1992



 සංගමිත්තා උපහාර ගී - 2 

බුදුබණ පදයක සිහිලස වින්දන
බව දුක් ගඟුලෙන් එතෙරට කැන්දන
කප් සුවහස් කල් දම් රස රන්දන
අවිදු අඳුර බිඳ මොක් මඟ බන්දන

හෙළ දිව වනිතා සරදාකාසේ
පුරා සඳයි ඔබ සඟමිත් මෑණී

මොක් මඟ අවුරණ තිත් මහ ගනඳුර
විදාරණය කළ සිත් තුළ පින්බර
 ළහිරු පොදක්වී  දැයම පහන් කළ
උදාර සඟමිත් මව්නි දයාබර

උදා ළහිරු ඔබ ලක් අඹරෝරේ
උදානයයි ඔබ  දෑ ගති අතරේ
හෙටත් අපට නව සඳ කිරණක්වී
යළිත් වඩිනු මැන බණ පදයක්වී


පද රචනය : මල්ලිකා එම්බණ්ඩාර
12. 12. 1992



සංගමිත්තා උපහාර ගී - 3

දඹදිව් තලයම දොවා දොවා ලන
සවණක් ගන රැස් පැතිරෙන්නේ
ජයසිරි මහ බෝ දකුණත් ශාඛා
ගව් සිය ගව් දුර ගෙන එන්නේ

දස දිග පූජිත දහම් විජය ලද
දම්සෝ රජ දෝණී
අන්න බලන් සඳ සේම වඩිනවා
අරහත්වූ සඟමිත් මෑණී

 උඳුවප් පුර පෝදා සුදු බුදු රැස්
තුරු හිස් පීරා වැතිරෙන්නේ
මහ මෙව්නා වන උයන් තීරයේ
මහ බෝ සමිඳුන් හිඳුවන්නේ

අනුරාපුරයේ කැත් කුළ කත් හද
නව පලු පල්ලෙන් සදමින්නේ
හත්ථාළක වෙහෙරේ වත් පුරනා
සිල් සුවඳයි  පැතිරෙන්නේ
----

පද රචනය​: මල්ලිකා එම්බණ්ඩාර

12. 12. 1992




Monday, 12 December 2016

 I would like to invite my MAGPIELOUNGE visitors to join with “UNLEASH YOUR GREATNESS” Book launch by  best-selling author Rachel Hale..
You can go LIVE on Amazon.com 
On Thursday 13 – 17 Dec.

Thanks!

Enjoy the event!
Mallika

// RSVP & Order on Amazon //
DEC13
Dec 13 - Dec 17Online Event
10 people interested · 8 people going

Love
Comment

Thursday, 8 December 2016

පාපොච්චාරණය​

වැස්සකටවත් ඇවිත්
ගොඩවුණේ නැති නිසා 
මහ මොකද්දෝ වගෙත් මගෙ හිතට.​
ඔබේ උතුරු ගුණ මහිම
දකිමිහඳුනමිදනිමි 
 බුදු සමිඳ​
ඒ වුණත් දෙපෝයටවත් වරක්
ගොඩ වෙන්ට හිතක් නෑ පන්සලට

පිං කැටේ පිරෙන්නට වැටෙන හැම සල්ලියට​
නිවන් පුර දොර අරින ඒජන්ත කල්ලියට​
සංසාර සාගරෙන් අපි එතෙර කරන්නට
නොහැකි බව දත් හෙයින් 
නොආවෙමි පන්සලට.
 .....
ගීතිකා හා මුසුව​ ඔරසොමට මිමිණෙනා 
දෙව්මැදුර​ සීනු හඬ ප්‍රේමයෙන් අමතනා
සබත්දාකුසීතව​ ගුදිරියට ගුලිවෙලා  
හිඳින එක යහපතැයි හිතෙනවා 
අයිලයේ කොනක හිඳ නිදිකිරනවට වඩා ​

රොටී කා වයින් බී, ගෝලයෝ පිරිවරා 
ගලීලයෙ මිනිසුන්ට  ඔබ දෙසූ සුබ අස්න​ ​ 
 "hard sayings"  වෙලා වියතුන්ට! 

ධර්මාසනේ අසල ඉදිරිපෙළ අසුනෙ හිඳ​
 සුවාමිගෙ මුවින්  ගිළිහෙන හෑම පදයටම​
ආමේන්… ආමේන්එසේම වේවා!” කියපු
ඔරසොං අත්තාගෙ මිණිබිරී වුණත් මම,​
එන්ට හිත දෙන්නෙ නෑ
ඔබ නොමැති පල්ලියට
මගේ හිත් කුටිය තුළ වැඩ හිඳින​ 
ජේසු ස්වාමි දරුව​නේ
කමා කළ මැනව මට!

දෙව් මැදුර අඳුරු අයිලය පසෙක​
දණ නමා සිටින බැතිමතුන් තුළ
උත්ථාන නොවූ ඔබවහන්සේ
මිත්‍යාව විනිවිදින 
සත්‍යයේ එළිය දකින්නට
විවර කළ මැනව උන්ගේ ණැනස
ජේසුනේ ස්වාමිනේ!

මල්ලිකා එම් බණ්ඩාර​

03. 12. 2016

Saturday, 26 November 2016

ජීවිතය සුන්දරද?


ජීවිතය සුන්දරද මෙතරම්
සිතුන හැම මොහොතක්ම පාසා
එහි අඳුරු රළු රුදුරු හැඩතල
වසා සිත් ලෙන​ ඇඳෙයි සිතුවම්  

කඳුළු තොටමුණ ඉවුරු අවුරා
ඉකිබිඳුම් මාරුතය​ වලකා
හූල්ලන හිත අගුළු ලාගෙන​  
වඩින තුරු හෙට දිනේ නවහිරු
බලා සිටියෙමි කප් සකක් කල්
ඒත් නුඹ ගැබ පාළුවී ඇත​

දුලා පැතුමක නුදුරු නිමෙසක
සොඳුරු ආගමනය පතාගෙන
අසංකෙය්‍යක් සිහින ගොනු කර 
පැතුම් ඔලොගුව කර  තියා ගෙන​
මහා ගිරි හෙල් වගුරු පසු කර
දුරු ක​තර එකහිත දරාගෙන​
ගමන් කළ මුත් නොවැටහෙයි
කුමක් ලුහුබැන්දාද යන වග​ ​

දෙවුර කකියන තුරා ආමුත්
ඔලොගුවේ සුන්බුන් දරාගෙන
ගෙනා හැමදේ පලක් නැති බව​
මඟ නිමාවන තුරුම නොදැනිණි.

දුකම උපයා දුකම වළඳා
එයම ලුහුබැඳ හඹා ගිය වග
පසක් විණි මොහොතක​දි විනිවිද
පළිඟු දිය උල්පතක්වී සිත

වළාහක සළු පිළි ඉරාගෙන​​  
වෙළුණ​​ මායා දැලින් මිහිමත​
ජීවිතය යනු අකුණු සැණකින්
අඳුරු රැයකදි දුටුව අබටෙක

මල්ලිකා එම් බණ්ඩාර
07. 08. 2016 4.49am




Friday, 18 November 2016

මාල ගිරවී - 2 වන කොටස​



මුළු රාත්‍රිය පුරා නිදි නොලැබ පැදුරේ ඒමේ අත පෙරලෙමින් මම අක්මුල් නොපෙනෙන සිතුවිලි රළපතර  කිමිද ඇත්තෙමි. රුවල බිඳී ගිය නැවක තනිවූ එකම ජීවියා මෙන් ජීවිතය පතා බලාපොරොත්තු සහගත වීමිගොඩබිමක් ඇසගැටෙන මානයක ඇද්දැයි විමසිසිල්ලෙන් යුතුව​ ජීවිතයෙහි එල්ලී සිටියෙමිඅනික් අතට,​ සාගර​  තටයෙහි අතරමංව ගොඩබිමක ඡායාවක්වත් නොදැක පොරබදන්නට නම් අපට උරුමව ඇති යොවුන් විය කුමටදැයි සිතා ඇත්තෙමි. මගේ ළමා වියත් හිරිමල් යව්වනයත් වයසට තරම් නොවන කටුක වූත් තික්තවූත් පාරිසරික හේතූන් විසින් තළා පෙළා දමනු ලැබිණ​. 


මේ තරම් බියකරුවූත්ශෝකජනකවූත් පරිසරයෙන් මිදෙන්නේ කොහොමද​යි එවැනි අවස්ථා වලදී මම සිතා ඇත්තෙමි.


ඇද්ද​ඔන්න ජාතක කතා පොත පෙරලන්ට පටන් ගත්තා"

අක්කා කියන්නේ අම්මාට ඇනුම් පදයක් ලෙසය​.

බොහෝවිට​ පවුලේ ප්‍රවෘත්ති වලට අමතරව තාත්තා පරණ නාඩගම් ගීත පටන් ගනියි.

එකකින් පසු තව එකක් වශයෙන්මතකයට එන ගීත වල පදයක් දෙකක් ගයන අතරඅමතකවූ පද මතක් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේද අම්මාගෙනි. එවන් විට අම්මා,

 " මගෙන් මොකොවත් අහගන්ට එපා"යි කියා දත්මිටි කමින් නිහඬවන්නීය​.

සිංදු වල බාග වුවද තාත්තා ඉතා හොඳින්​ ගයයි. සැබවින්ම නාඩගම් ගීත ගායනයෙහි අපූර්ව හැකියාවක් තාත්තාට ඇතැයි එවන් විට මම සිතුවෙමි.

හස්තීසෛල​ පුර නම් දරනා

පුරයේහි අග රාජ වෙමිය මෙමා//

බුවනෙක -බා යන - නාමෙන් පසිඳුව​..."//


තාත්තා විසින් බොහෝ දින වල මෙවන් ගීත ගයනු ලැබුවේය​. ඒ ළයාන්විත හඬ අද ඊයේ ඇසුනාක් මෙන් තවමත් මගේ මතකයේ ප්‍රතිරාව දෙන්නාක් මෙන් දැනේ.


මගේ සිත මොහොතකට නතරවෙයි. ඇතුලාන්තයෙන් මිමිණෙන හඬට සවන්දී මොහොතක් නිහඬවෙමි. තාත්තා පිළිබඳව කැකෑරෙන අනුපමේය සෙනෙහසකින් මගේ සිත පිරීයනු දැනෙයි. දෑස් කොණ ගොනුවෙන කඳුළක් ඉබේ රූරා ගලාවිත් කම්මුල් පථයෙහි සිට මගේ ළය මත පතිත වෙන විට මම පියෙවි ලෝකයට පිවිසෙමි. මගේ ළමා මනස තුළ සිතුවම් වූ චිත්‍ර අතරින් ධ්වනිතවූ රාවයන්මිහිරි හෝ අමිහිරි බවකින් තොරව​ සවන් දී සිටීමසංවේදනාත්මක වින්දනයකින් සිත පුරවන්නට සමත්‍ ය​. 'ජීවිතය යනු පංච රසයෙන් යුක්ත නෙල්ලි ගෙඩියක් වගේ" යයි අප කුඩා වියේදී අපේ ගෙදරට නිතර ආගිය අමිතක්කා නිතර කියනු මා අසා ඇත්තෙමි. ඇත්තටම ජීවිතය කියන්නෙ හැමදේම එකතුවක්! මමත් එහෙම සිතන්නට පසු කාලයේදී හිත හදාගතිමි. 


අපේ තාත්තා මෙන්මඅනෙකුත් ගැමියෝද දරිද්‍රතාවයෙන් පරිපීඩිතව​නූගත්කම නිසා පාලනය කරගත නොහැකි මනෝභාවයන් නිදහස් කරනු වස් බොහෝවිට මත් පැන්වලට අබ්බැහි වූහ​. දරු පවුලක් නඩත්තු කරගත නොහැකිව දෛනික ජීවන ගැටළු සමග පොරබදන අනෙක් බොහෝ ගැමි පවුල් මෙන්ම අපේ පවුලේද එතරම් වෙනසක් නොවීය​. අතීතය මිහිරි නොවුනද ඒ අමිහිරිවූ බොහෝ දේවල පවා සිත් බඳිනා සුළු සුන්දරත්වයක් ඇතැයි අද මම අනුමාන​ කරමි. හදිසියේම අම්මාත් තාත්තාත් නැති බව හැඟෙන විට සිහින් වේදනාවකින් මගේ සිත ඇදුම් දෙන්නට විය​.


බොහෝ හැන්දෑවල දුරතියා ඇහෙන තාත්තාගේ ගී හඬ යන්තම් ඇහෙන විට අම්මා මිදුලටවී ස්වල්ප මොහොතක් වෙල ඉස්මත්ත දෙස බලා හිඳන්නීය​. එවන් බොහෝ අවස්ථා වල අම්මා මිමුණුවේ එකම වචන මාලාවකි.


 "ඕං අදත් නරිජ්ජ ටික කටේ වක්කරගෙන​ එනවද කොහෙද" .

අම්මාගේ ඇඳ සිටින චීත්තයේ කොනක එල්ලීගෙන මමද ඇල නියර දෙස බලා සිටියෙමි.

මේ මනුස්සයා කවදා හැදෙයිද දෙවිහාමුදුරුවනේ?"

අම්මා සෙමෙන් මුමුණන්නීය​. අම්මාගේ හඬ බෙහෙවින් දුක්බරය​.

අම්මාට පමණක් නොව අපටද මේ චරියාව දැරිය නොහැකි තරම් කටුක බව දැනෙන්නට විය​.

ඊයේ ඔයාලගෙ තාත්තා වෙලේ වැටිලා හිටියා" 

ඊයේ අපෙ ගෙදර ළඟ දෙවැටේ ඔයාලගෙ තාත්තා වැටිලා හිටියා" 

පන්තියේ ළමුන් නොයෙක් වර මා ඉදිරියේදී කියා තිබිණි.

එවැන්නක් ඉස්කෝලේදි අහන්නට ලැබීම මොන තරම් ලැජ්ජා වීමට කාරණයක් වීද​?. 

බීමත් පියා මහ මඟ වැටී සිටීම මොන තරම් නිඟාවක්ද​?


තාත්තා බීමත්ව මහපාරේ වැටී සිටි දවසට  පහුවදාටලොකු අක්කා ඉස්කෝලේ ගියේ නැත​. ගුරුවරුන්ටත් ළමයින්ටත් මුහුණදීම අපහසු නිසා ඇය බෙහෙවින් කනගාටු වූවාය​. මේ දෛනික චර්‍යාවෙන් තාත්තා මුදවාගන්නේ කොහොමදැයි විවෘතව කතා කරන්නට තවත් කාලයක අපි උත්සාහ කළෙමු.

ඇතම් දිනක තාත්තා සිංදු කීවේ අම්මාටය​. එකල ජනප්‍රිය ගීත නවීකරණය කර ගායනා කරමින් පාර පුරා වීසිවෙමින් තාත්තා හවසට ගෙදර එන්නේය​.


මහ වෙල් යායේ මහ නියරදිගේ තාත්තා එන හඬ අපට ඇහෙන්ට පටන් ගනියි.

තාත්තාගෙ ප්‍රියතම ගීතයක්වූ "ආලෙ බැන්ද මාගෙ පනේ සෝමාවතී" යන්න

ආලෙ බැන්ද මාගෙ පණේ කමලාවතී....මගෙ කමලාවතී.....

වැව් බැන්දා දිය බැන්දා කමලාවතී”.

යනුවෙන් ඔහු ගැයුවේ ගමටම ඇසෙන්නටය​. 
අම්මාගේ නම කමලාවතීය​. ඒ වගේ වෙලාවටඅම්මාගේ ප්‍රලය වීම එක අතකින් සාධාරණයයි මට සිතේ.

තවත් දවසක ඔහු ගැයුවේය​.

කමලො මම ආයෙ ගෙදර එනවා...මට හරි කේන්ති යනවා...

තාත්තාගේ සමහර ගීත අසල්වැසියන්ට විනෝදය සැපයූවා වන්නට ඇතඑහෙත් අපේ පවුලේඅප හතර දෙනා බෙහෙවින් ලජ්ජාවට පත්වන බැවින් අම්මාද හැපින්නක ලෙස කිපුණාය​.

"කෙල්ලොම හතරදෙනෙක් ඉන්න ගෙදරක අප්පා හවසට ​ගෙදර එනහැටි තමයි ඔය​"


අම්මා දත් කූරු කමින් කටට එන තොරතෝන්චියක් නැති වචන පාවිච්චි කළ අතර බැරිම තැනකඩප්ප්පුලි පුත්තු හැදීමේ වරදට අපේ අත්තම්මට​තාත්තාගේ අම්මාටපවා බැන වැදුණාය​.


එවැනි අවස්ථාවලදී අපි බහෙවින් කනස්සල්ලටත් අපහසුතාවටත් පත්වීමු. අප අත්විඳි එවන් අතදැකීම් නිසා ඇතිවු අසරණ භාවය​ චිත්ත​ ස්වභාවය ආත්ම භංගත්වය යයි මම නම් කරමි.


මෙවැනි පවුල් පසුබිමක් තුළ​ අපේ පවුලේ එකිනෙකා කටයුතු කළේ තම තමන්ගේ අභිමතයට අනුකූලව මිස නිශ්චිත ඉලක්කයකට අනුව නොවේ. අපට මඟ පෙන්වීමට තරම් මව හෝ පියා නිරවුල් මනස් වලින් යුතු නොවිණි. ඒ නිසාම ලොකු අක්කා  විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා අනන්ත කැපවීමකින් හා වෙහෙසකින් ඉගෙණීමේ යෙදෙන්නට සනිටුහන් කර ගන්නට ඇත. තුන්වන වර විභාගයට පෙනී සිටි ලොකු අක්කාඇය​ තුළ ඇති තිත්තකම ප්‍රකාශ කෙරෙන දේවල් නොයෙක්වර කී බව මගේ මතකයට නැගෙයි.


"ඇත්තමයි මට මේ ගෙදරින් තුරන්වෙලා ටික කාලෙකටවත් ඉන්ටමේ සැරේවත් පාස් වුනොත්එහෙනම් මම​ පේරාදෙණිය  විශ්ව විද්‍යාලෙට යන්නෙ නෑ. ගෙදරට ළඟ වැඩියිබලෙන් හරි කොළඹ විශ්ව විද්‍යාලෙට රිංගා ගන්ටයි මට ඕන” ලොකු අක්කා වරක් කීවාය.

​ “එතකොට අපි?”

ඒ පොඩි අක්කාගේ නෝක්කඩුවය​.

"ඉතින් තමුසෙලත් පාඩම් කරල ගොඩ යන්ට බලනව​. කාලා… කාලාපිඹුරො වගේ නිදන්නෙ නැතුව​. විභාගෙ හරියට කරගත්තොත් මේ අපායෙන් නිදහස් වෙන්ට පුළුවන්"

දරීද්‍රතාව​විරැකියාව​අඬදබර වලින් මිදීමට ඇති එකම විසදුම ගෙදරින් පිටවීම බවත්ගෙදරින් පිටවීමට ඇති ප්‍රශස්ත මාර්ගය ඉගෙනීම සාර්ථකව සම්පූර්ණ කිරීමත් බවත්ලොකු අක්කාගේ ප්‍රකාශනයේ අන්තර්ගතය ලෙස​ හඳුනා ගතිමි.


(මතු සම්බන්ධයි).