ජීවිතය සුන්දරද මෙතරම්
සිතුන හැම මොහොතක්ම පාසා
එහි අඳුරු රළු රුදුරු හැඩතල
වසා සිත් ලෙන ඇඳෙයි සිතුවම්
කඳුළු තොටමුණ ඉවුරු අවුරා
ඉකිබිඳුම් මාරුතය වලකා
හූල්ලන හිත අගුළු ලාගෙන
වඩින තුරු හෙට දිනේ නවහිරු
බලා සිටියෙමි කප් සකක් කල්
ඒත් නුඹ ගැබ පාළුවී ඇත
දුලා පැතුමක නුදුරු නිමෙසක
සොඳුරු ආගමනය පතාගෙන
අසංකෙය්‍යක් සිහින ගොනු කර
පැතුම් ඔලොගුව කර තියා ගෙන
මහා ගිරි හෙල් වගුරු පසු කර
දුරු කතර එකහිත දරාගෙන
ගමන් කළ මුත් නොවැටහෙයි
කුමක් ලුහුබැන්දාද යන වග
දෙවුර කකියන තුරා ආමුත්
ඔලොගුවේ සුන්බුන් දරාගෙන
ගෙනා හැමදේ පලක් නැති බව
මඟ නිමාවන තුරුම නොදැනිණි.
දුකම උපයා දුකම වළඳා
එයම ලුහුබැඳ හඹා ගිය වග
පසක් විණි මොහොතකදි විනිවිද
පළිඟු දිය උල්පතක්වී සිත
වළාහක සළු පිළි ඉරාගෙන
වෙළුණ මායා දැලින් මිහිමත
ජීවිතය යනු අකුණු සැණකින්
අඳුරු රැයකදි දුටුව අබටෙක
මල්ලිකා එම් බණ්ඩාර
07. 08. 2016 4.49am
No comments:
Post a Comment